වාහනයක් මිල දී ගන්න කලින් පොත ගැනත් සැලකිලිමත් වෙන්න

දෙසැම්බර් 12, 2022

 

නව අයිතිකරු විසින් මෙසේ ලබා ගෙන නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාර දී ඊට අදාළ සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගත යුතුය.

මේ දිනවල වාහන මිල අඩු වන බවට කසුකුසුවක් යන නිසා ඔබත් වාහනයක් මිලට ගන්න සූදානමින් ඉන්නවා වෙන්න පුළුවන්. සල්ලි දීලා වාහනයක් මිල දී ගන්න එකත් ඒ තරම් පහසු ක්‍රියාවලියක් නෙවෙයි. ඒකටත් පියවර ගණනාවක් අනුගමනය කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි වාහනයක් මිලට ගැනීමෙන් පසු එහි අයිතිය තමන් සතු කර ගන්න නම් වාහනයේ පොත හෙවත් ලියාපදිංචි සහතිකයත් තමන්ගේ නමට හරවා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට මේ ලිපිය වැදගත් වේවි.

 

මේ සඳහා ඔබට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ ඕනෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්, දිසාපති කාර්යාලයකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නොමිලයේ ආකෘති පත්‍ර කට්ටලයක් ලබා ගත හැකිය. එම ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘතිවලින් සමන්විත වේ. එම්.ටී.ඒ 6 අකෘති පත්‍රය පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් නම් කර ඇත. එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්ත වන අතර, ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර තිබේ. මෙම එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු සම්පූර්ණ කළ යුතුය. ඔහු විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා සන්තකයේ තබා ගනිමින් එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාර දිය යුතුය.

නව අයිතිකරු විසින් මෙසේ ලබා ගෙන නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාර දී ඊට අදාළ සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගත යුතුය. මෙහිදී එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා සන්තකයේ තබා ගැනීමට නව හිමිකරු කටයුතු කළ යුතු වේ. තවද නව හිමිකරු නිසි ලෙස සම්පූර්ණ කළ මෙම එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ පහත සඳහන් කරන අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාර දී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගැනීමට ද පියවර ගත යුතු වේ. මීට අමතරව ඔහු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත ද තමා ළඟ තබා ගත යුතුය.

 

සාමාන්‍ය සේවාවන් යටතේ නම්,

 

ඔබ මෝටර් රථයේ ලියාපදිංචි හිමිකම් හෙවත් පොත පැවරීමත්, පොත අලුතින් සාදා ගැනීමත් සිදු කරන්නේ සාමාන්‍ය සේවාව යටතේ නම් ඔබ කළ යුත්තේ, අදාළ ලියකියවිලි සියල්ල රැගෙන පෙරවරු 9.00ත් පස්වරු 2.00ත් අතර කාලයේදී කොළඹ 05, නාරාහේන්පිට ලිපිනයේ පිහිටා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට බාර දිමය.

 

එක් දින සේවාව යටතේ නම්,

 

ඔබට මෙම සේවාව එක් දිනකදී කර ගැනීමට අවශ්‍ය නම් පැවරුම්ලාභියා හෙවත් නව හිමිකරු අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. මෙහි පහසුව වන්නේ ඔන්ලයින් හරහා දිනය සහ වේලාව වෙන් කර ගෙත පැමිණීමෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීමයි. එහිදී ඔහු සතුව අනිවාර්යයෙන්ම පැවරුම්කරු විසින් වාහනය පැවරීමට කැමැත්ත දක්වා සාමදාන විනිශ්චයකරුවකු ඉදිරියේ අත්සන් කළ ලිපියක් හා පැවරුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් තිබිය යුතුය. එමෙන්ම පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ඔබ දැනට පදිංචි ස්ථිර ලිපිනයට වඩා වෙනස් නම් දැනට පදිංචි ලිපිනය සනාථ කරන ග්‍රාම සේවා සහතිකයක් හෝ විදුලිය හෝ ජල බිල්පතක් රැගෙන යෑමෙන් කාර්යය පහසු කර ගත හැකිය.

මෙසේ ලියකියවිලි රැගෙන අදාළ ලියකියවිලි පෙරවරු 9.00ත් මධ්‍යහ්න 12.00ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුව වෙත භාර දිය යුතුය. මෙම ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත් වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයකුට වුවද පැමිණ සේවාව ලබා ගත හැකිය. ඔබ මෙසේ වාහනය පවරා ගන්නේ එක් දින සේවාව යටතේ නම් යළි මාස 6ක් ගත වනතුරු එම වාහනය නැවත පැවරිය නොහැක. එසේ මාස 6ක් ඇතුළත පැවරීමට අවශ්‍ය නම් පරණ අයිතිකරුවනුත් ගෙන්වා විරෝධතා නොමැති බවට තහවුරු කර ගනිමින් පිළිගත හැකි ලියවිලි ඉදිරිපත් කර පැවරුම කර ගත හැකිය. මෙහිදී ලියාපදිංචි සහතිකයේ තත්ත්වය මුල් පිටපත (Original CR) විය යුතු වීම ද අනිවාර්ය වේ. මේ අතර අයිතිකරු තමාගේ වාහනයේ ලියාපදිංචි සහිකය අස්ථානගත වීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලූ අවස්ථාවක ඉදිරිපත් කරන තොරතුරු සෑහීමකට පත් විය හැකි ඒවා නම් එක් දින සේවාව යටතේ එය ලබා ගත හැකිය. මෙහිදී එදිනම පැවරුම්කරු වෙත ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දීම විශේෂත්වයකි.

 

එක්දින සේවාවෙන් ලැබෙන්නේ මේ සේවාවන් පමණයි.

 

වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචිංය, ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම, ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම, ශාඛාවේ සහකාර කොමසාරිස් සෑහීමකට පත් වන්නේ නම් බර සහතිකයක් හෝ අනන්‍යතා සහතිකයක් මත කරන එන්ජින් අංකයක් සංශෝධනය කිරීම සහ නීත්‍යනුකූල ආකාරයට සිදු කරන නම හෝ ලිපිනය සංශෝධනය ආදී සේවාවන් පමණි.

 

මේ දේවල් සූදානම් කරගෙන යන්න

 

එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය), එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත), පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර. (ඒවා තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.), පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්, පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඉහත ව්‍යාපාර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, අයදුම් කරන දිනට මාස 6ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (සහතික කරන ලද), පැවරුම්ලාභියාගේ සහතික කළ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපතක්,

පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්, වාහනයේ ලියාපදිංචි සහතිකය, උකසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට වන පවරන්නාගේ ලිඛිත ප්‍රකාශය, වර්තමාන ලියාපදිංචි හිමිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (සහතික කළ), ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කළ MTA 6 හි "A" පිටපත, සුඛෝපබෝගී බදු ඇත්නම් ඒවා ගෙවූ රිසිට්පත්වල මුල් පිටපත් සහ ඒවායේ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතු වේ.

ඊට අමතරව, පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

 

වත්මන් ලියාපදිංචි හිමිකරු මියගොස් ඇත්නම්,

 

එම්.ටී.ඒ. 5 සහ එම්.ටී.ඒ. 7 ආකෘති, වාහනයේ ලියාපදිංචි සහතිකය, වාහනයේ හැඳුනුම්පත (නව ඉංග්‍රීසි අක්ෂර සහිත වාහන සඳහා 2010 මැයි 03 වැනිදා දක්වා නිකුත් කර ඇත), පැවරුම්ලාභියාගේ ඡායාරූප 2ක් (අයදුම් කරන දිනට මාස 6ක් ඇතුළත ලබා ගත් අඟල් 2.0x2.5 ප්‍රමාණයේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරූප දෙකක් විය යුතුය. ඉන් එක් ඡායාරූපයක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියකු විසින් සහතික කරනු ලැබිය යුතුය. සාමදාන විනිශ්චයකාරවරයකු සහතික කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි අංකය මුද්‍රාවේ සටහන්ව තිබිය යුතුය.) එමෙන්ම පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක් තිබීම ද අවශ්‍ය වේ.

මෙහිදී ඔබට එක් දින සේවා පහසුකම් යටතේ වාහනයක් පැවරීම සිදු කළ නොහැක. මේ සියල්ල සඳහාම අදාළ ගාස්තුව ගෙවිය යුතු අතර, වාහනයක් පැවරීමේදී සාමාන්‍ය පැවරුම් ගාස්තුව අය කරයි.

මෙම කරුණු පිළිබඳව දැනුම්වත්ව අදාළ ලියවිලි නිසි පරිදි රැගෙන යන්නේ නම් ඔබට මෝටර් රථයේ පොත ඔබේ නමට හරවා ගැනීමේ ක්‍රියාවලිය එතරම් අපහසු නොවනු ඇත.