රස වෙනසකට මෙහෙම හදමු කොස්

ජුනි 6, 2022

 

අප අද මුහුණ පා හිඳින තත්ත්වය කවුරුත් හොඳින් ම වටහා ගෙන ඇත. ඒ නිසාම අපේ ආහාර රටාව වුවද කාලයේ තාලයට ගැළපෙන ලෙස වෙනස් කර ගත යුතුයි. අපේ දරුවන් වෙනුවෙන් අප සකසුරුවම් විය යුතුයි. අඩු වියදමකින් ආහාර වේල සකසා ගැනීමට දැනුවත් විය යුතුයි.

කොස් ගස යනු ලාංකේය අපේ බත් ගසයි. ඒත් අද හුඟදෙනෙක් කොස් කෑමෙන් ඈත් වී හිඳිති. ඒ කොස් ශුද්ධ කිරීමට ඇති මැළිකම නිසාවෙනි. ඒ මැළිකම පසෙක ලා අපි කොස් කන්න පුරුදු වෙමු. පැසුණු කොස් තම්බා, මළවා හෝ මාළුවට පිස කන ඔබට තවත් ක්‍රම කීපයකි මේ. ඒ අතරට කොස් කොළ කන විදිහක් ද එක්වී ඇත. බලන්න, ඔබේ බත්පතට මේ වෙනස ගෙන දෙන්න. සකසුරුවම අරඹන්න.

 

උපදෙස් හා ඡායාරූප

සූපවේදිනී

තිලානි විතානගේ

 

 

 

කොස් කොළ පපඩම්

 

ළපටි කොස් දලු

කිහිපයක් (ළා කොළ

පැහැති ඒවා ගන්න)

 

 

 

පාන් පිටි මේස හැඳි 2ක්

රුලං මේස හැන්දක්

(රුලං අවශ්‍යම නෑ. බැටර් එකට රුලං එකතු කළ විට ක්‍රිස්පි ගතිය වැඩියි)

ලුණු

ගම්මිරිස් කුඩු

බිත්තරයක්

බැදීමට තෙල්

පාන් කුඩු

 

 

කොස් කොළ ටික ලුණු වතුරෙන් සෝදා වතුර බේරා ගන්න. පාන් පිටි, රුලං, ලුණු හා බිත්තරය එකතු කර පිටි බැටර් එක ගොඩක් ඝනකම නැතුව හදා ගන්න. දැන් පරිස්සමෙන් එක කොස් කොළය බැගින් අරන් පාන් පිටි බැටර් එකේ දමා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් අඩු ගින්දරේ බැද ගන්න.

උණුවෙන් රස විඳින්න. බත් එක්ක කන්න නියමයි.

 

අලුත් රසයකට නයි මිරිස් මිශ්‍ර කිරි කොස් ව්‍යංජනය

 

ශුද්ධ කර දික් අතට කපාගත් කොස් මදුලු

කොස් ඇට

තළාගත් සුදුලූනු

ලියාගත් රතු ලූනු

නයි මිරිස් කරල් 2ක්

රම්පේ හා කරපිංචා

අබ ස්වල්පයක් හා

කුරුඳු

පොත්තක්

උළුහාල් ඇට කිහිපයක්

පදමට ලුණු

කුඩාවට කපාගත් වියළි

මිරිස් කරල් 2ක්

කහ සහ අමු තුනපහ කුඩු

ස්වල්පය බැගින්

දිය කිරි සහ මිටි කිරි

අවශ්‍ය පමණට

 

 

මුලින්ම කොස් කැබලි ටික වැහෙන ප්‍රමාණයට දිය කිරි දමා එයටම කහ, තුනපහ කුඩු හා ලුණු එකතු කර බෙරි නොවෙන්න තම්බා පසෙකින් තබන්න.

කොස් ඇට ටික තළාගෙන වතුර දමා වෙනම භාජනයකට දමා තම්බා පොතු හැර පසෙකින් තබා ගන්න. දැන් මැටි භාජනයක් ළිප තියා ඒකට තෙල් ස්වල්පයක් දමා රත් කර අබ දමා පුපුරුවාගන්න.එයට වියළි මිරිස් කරල්, නයි මිරිස්, සුදුලූනු, රතුලූනු, කරපිංචා, රම්පේ, උළුහාල් හා කුරුඳු පොත්ත ද එකතු කර ස්වල්ප වේලාවක් තෙම්පරාදු කර ගන්න.

එම තෙම්පරාදුවට කොස් ටික හා කොස් ඇට ටික එකතු කර කලවම් කරන්න. එයටම උකු පොල් කිරි ටික එකතු කර අඩු ගින්දරේ පිස ගන්න. ලුණු රස පදම බලා එකතු කරන්න. කිරි කොස් මඳක් හිඳෙන්න පිසගත් විට රසය වැඩියි.

 

 

කොස් මදුළු කට්ලට්

 

 

හොඳින් පැසුණු කොස් මදුළු

කෝන් පිටි (Corn Flour) මේස හැන්දක්

පාන් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

බැදීමට තෙල්

 

 

තම්බා පොඩි කරගත් අල ගෙඩි

කීපයක්

සිහින්ව ලියාගත් ලීක්ස් හෝ ලූනු කොළ

තළාගත් සුදුලූනු, ලියාගත් රතුලූනු

තක්කාලි හා අමු මිරිස්

ගම්මිරිස් කුඩු හා පදමට ලුණු (අවශ්‍ය නම් සැමන් හෝ තම්බා ගත් බිත්තර කහමද වැනි කැමැති දෙයක් එකතු කර ගන්න පුළුවන්.)

 

 

 

පාන් පිටි මේස හැඳි 1ක්

කඩල පිටි මේස හැඳි 3ක්

ලුනු හා ගම්මිරිස් පදමට

මසාලා පවුඩර් තේ හැඳි භාගයක්

පාන් කුඩු

බිත්තරයක්

 

 

මුලින්ම කොස් මදුළු හොඳින් සෝදා වෙන් නොවන සේ මැදින් කැපුමක් දමා ඇට ඉවත් කරන්න.

ඒ ටික විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න. නැත්නම් උතුරන වතුරට දමා විනාඩි 10 ක් පියනකින් වසා මඳක් තම්බා වතුර පෙරා ගන්න.

දැන් පිරවුම හදමු. භාජනයක් ළිප තියා, ඒකට බටර් ටිකක් දමා සුදුලූනු, රතු ලනු, අමු මිරිස් හා තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒකටම තම්බා හොඳින් පොඩි කරගත් අල, සැමන් හෝ බිත්තර එකතු කර, පදමට ගම්මිරිස් හා ලුණුදමා පැත්තකින් තියා ගන්න (කට්ලට් පිරවුම වගේ) ස්‍ටීම් කර ගත් කොස් මදුළු පිළිවෙළට පිඟානක අසුරන්න.තේ හැන්දකින් පිරවුමෙන් ටික ටික අරන් එක එක කොස් මදුළු පුරවන්න.

කඩල පිටි, පාන්පිටි හා බිත්තරය භාජනයකට දමා ලුණු, මසාලා පවුඩර් හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් කට්ලට් දවටනයට වඩා ටිකක් ඝනකමින් යුත් බැටර් එකක් හදා ගන්න.

වෙනත් භාජනයක පාන් කුඩු සමඟ කෝන් පිටි මිශ්‍ර කරන්න.

පිරවුම පුරවා ගත් කොස් මදුළු එකින් එක පරිස්සමෙන් බැටර් එකේ දමා ඉන්පසු කෝන් පිටි මිශ්‍ර පාන් කුඩුවල තවරා රත් වූ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

 

පුරවපු කිරි කොස් මදුළු ව්‍යංජනය

 

 

හොඳින් පැසුණු කොස් මදුළු

පොල් කිරි අවශ්‍ය පමණට

ලියා ගත් සුදුලූනු, අමු මිරිස්,

ලූණු, කරපිංචා හා රම්පේ

කහ, තුනපහ කුඩු, මිරිස්කුඩු

ස්වල්පයක්

උළුහාල් ඇට ටිකක්

 

 

 

තම්බා හොඳින් පොඩි කරගත්

අල ගෙඩි 2ක්

සිහින්ව ලියාගත් ලීක්ස් හෝ

ලූනු කොළ

ලියාගත් ලූනු, තක්කාලි, අමු

මිරිස් හෝ නයි මිරිස්

තළාගත් සුදුලූනු

අබ ස්වල්පයක් සහ පදමට

ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

අවශ්‍ය නම් උම්බලකඩ කෑලි

හෝ කරවල (කැමැති නම් පමණක්)

 

 

 

මුලින්ම කොස් මදුළුවල මැදින් වෙන් නොවන ලෙස පිහියකින් කැපුමක් දමා ඇටය ඉවත් කර විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න. එය පසෙකින් තබා පිරවුම හදමු.

භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා එයට අබ එක්කර පුපුරුවා ගන්න. එයටම ලියාගත් දේවල් දමා හොඳින් තෙම්පරාදු කරන්න. අවශ්‍ය නම් උම්බලකඩ එකතු කරන්න. එයටම තම්බා පොඩි කර ගත් අල ටික එකතු කරන්න. ගම්මිරිස් හා පදමට ලුණු දමා ළිප ඕෆ් කර නිවෙන්නට තබන්න.

 

දැන් පරිස්සමෙන් තේ හැන්දකින් පිරවුමෙන් ටික ටික අරන් කොස් මදුළු ඇතුළට පුරවා පසෙකින් තබන්න.

පොල්කිරි ටික තරමක් කට පළල හට්ටියකට දමා ඒකටම, ලියාගත් දේවල් හා තුනපහ, උළුහාල් එකතු කර පදමට ලුණු දමා හොද්ද උතුරනකම් මඳ ගින්දරේ හැඳි ගාන්න.

හොද්ද උතුරනකොට පුරවා ගත් කොස් මදුළු ටික හෙමින් හොද්දට දාන්න.

හොද්ද තරමක් හිඳෙනකම් වරින් වර හට්ටිය දෙපැත්තට සොළවමින් පිස ගන්න. උයනකොට හැන්ද දැම්මොත් කොස් මදුළු ඇතුළෙ ඇති පිරවුම එළියට එනවා. ඒ නිසයි දෙපැත්තට සොළවන්නේ. මෙය ඉක්මනින් ඝනකම වෙන ව්‍යංජනයක්. ඔබට අවශ්‍ය නම් මෙය අබ ටිකක් පුපුරවලා තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.