වස විස නැති කෑම බීම මෙහෙම හදමු යාළු

පසුම්බියට සහන ගෙනෙන්නට අපෙන් තිළිණයක්
අගෝස්තු 1, 2022

 

ලාංකේය කාන්තාවන්ගේ අභිමානය සුරකින්නට තරුණී කවදත් ඉදිරිපත් වෙනවා. මේ ගෙවෙන අසීරු කාලයේ දී පවා හිස කෙළින් තබා ගෙන පවුලට මඟ පෙන්වන්නී නුඹයි. දුක් දරා ගනිමින් ජීවිත ජීවත් කරන්නට වෙර දරන්නී ද නුඹයි. පවුලේ පෝෂණය ගැන හිතමින් මුදල් පසුම්බියට එබෙන ඔබට හිතන්නට කාරණා ද බොහොමයි.

ඔබේ අභිමානය රකින්න, ඔබේ ශක්තිය අගයන්න, ඔබේ කැපවීමට ගරු කරන අපි පෝෂණය නො අඩුව රැක දෙන, මුදල් පසුම්බියට සහනයක් දෙන ලාංකේය අපේම කෑම බීම ගැන හැමදාමත් කියන්නෙමු. අපේ ම ගෙවත්තේ කෑමට බීමට ගත හැකි මොනතරම් දේවල් තියෙනවා ද? ඒත් අපි ඒවා ගැන සැලකිලිමත් නැහැ. ඒ නිසාම කන්න, බොන්න නිකරුණේ මුදල් නාස්ති වන අවස්ථා ද එමටයි. මේ කෑම බීමවලින් පවුලේ පෝෂණය රැකෙනවා පමණක් නොවෙයි. ලෙඩ රෝගවලින් ඔබව මුදාගන්නටත් හැකියි. තරුණී සමඟින් අත්වැල් බැඳගෙන වස විස නැති අපේම කෑම කලාවකට මඟ පෙන්වන සූපවේදිනී තිලානි විතානගේ ඒ වෙනුවෙන් මෙලෙස අගනා තිළිණයක් ලබා දෙනවා.

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ

 

 

ගොටුකොළ තේ

මෙය රාත්‍රියට නින්ද නො එන අයට කදිම බෙහෙතකි. අපේ රටේ ඉතාමත් සරුවට වැඩෙන ගොටුකොළ තෙතමනය ඇති ස්ථානවල බහුලව දැකිය හැකියි.

 

"හීං ගොටුකොළ" සහ "මහ ගොටුකොළ" ලෙස මෙහි ප්‍රභේද දෙකකි. අපේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන හා නුවණ වඩවන ස්වාභාවික දිව්‍යමය ඖෂධයක් ලෙසයි.

මතක ශක්තිය වැඩි කිරීමට මෙන්ම මොළයේ සෛල වර්ධනයට, ස්නායු හා රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වාගෙන යාමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුව වීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළවලට හැකි බව පොතපතේ සඳහන් වේ.

නැවුම් ගොටුකොළ 10ක් පමණ (හීං ගොටුකොළ නම් වඩාත් සුදුසුයි)

වතුර කෝප්ප 2ක්

පිරිසුදු කරගත් ගොටුකොළ ටික භාජනයකට දමා වතුර කෝප්ප දෙක සමඟ මඳ ගින්නේ උතුරුවා ගන්න.

වතුර එක් කෝප්පයක ප්‍රමාණය වන විට වතුර පෙරා රාත්‍රී නින්දට පෙර උණුවෙන්ම පානය කරන්න.

*****************

කෙසෙල්බඩ පපඩම්

කෙසෙල් බඩ කිව්වාම අපිට ටිකක් අමුත්තක් දැනෙනවා. ඒත් අපේ පැරැන්නන් කෙසෙල් කැනක් කපා ගෙට ගන්නකොට අමතක නොකර කෙසෙල් බඩෙත් කපාගෙන ආවේ වස විස නැති, රෝග රැසකට ගුණදායක කෑමක් බව දන්න නිසයි.

මේ කෙසෙල් බඩ පිටි බැටර් එකේ තවරලා හදපු අලුත් විදිහක්. මෙය බත් සමඟ හෝ සෝස් වර්ගයක් සමඟ ස්නැක් එකක් විදිහට දරුවන්ට වුවත් රස විඳින්න පුළුවන් කෑමකි.

නැවුම් කෙසෙල් බඩ කෑල්ලක් (අළු කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් ගන්න)

පාන් කුඩු

බැදීමට තෙල්

පාන් පිටි මේස හැඳි 2ක් සහ කෝන්

පිටි මේස හැඳි 2ක්

ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු

ස්වල්පය බැගින්

ලුණු කුඩු ඔබේ රස පදමට

බිත්තරයක්

 

මුලින්ම කෙසෙල් බඩ කෑල්ලේ පොතු හැර සිහින් පෙති කපා ගන්න. ඒවා විනාඩි 10ක් පමණ කහ මිශ්‍ර ලුණු වතුරේ තබා වතුර පෙරා ගන්න. එවිට එහි කහට ගතිය යනවා. බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් භාජනයකට දමා වතුර ටික ටික එකතු කරමින් තරමක් දියාරු මිශ්‍රණයක් හදා ගන්න.

කෙසෙල් බඩ පෙති එකින් එක පිළිවෙළින් බැටර් එකේ සහ පාන් කුඩුවල තවරා පිඟානක අසුරා ගන්න.

එයින් එකවර 5ක් පමණ තෙලට දමා මඳ ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. බත් සමඟ හෝ අවශ්‍ය නම් සෝස් වර්ගයක් සමඟ උණුවෙන්ම රස විඳින්න

 

**************

 රඹුටන් දෝසි

 

බැලූ බැල්මට රට ඉඳි වගේ නේද පේන්නේ. ඒත් ඒවගේ පෙනුමක් තිබුණාට මේ තමයි රඹුටන් දෝසි. ඇඹරැල්ලා දෝසි හදන විදිහටමයි හදලා තියෙන්නේ. හරිම රසයි. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ රඹුටන් මදය ඇටත් සමඟම කෑමට ගන්න හැකි වීම. හරියට අපි පුංචි කාලේ කොට්ටම්බා ඇටවල මදය කෑවා වගේ කන්න පුළුවන්. කිරි රසයි. ඒ වගේම මෙය පිරිසුදු වියළි වීදුරු බෝතලයකට දමා අවුරුද්දක් පමණ කල් තබා ගන්නට හැකියි. තාම රඹුටන් වාරය නිසා ඔබත් සාදා බලන්න.

 

හදන්න පැයක් පමණ ළිපේ තියන්න ඕනේ. ඉතින් මේ දවස්වල ගෑස් ප්‍රශ්නය තියෙන නිසා හදනකොට ඒ ගැනත් සැලකිලිමත් වන්න.

රඹුටන් ගෙඩි 20ක් පමණ

රතු සීනි පීරිසි කෝප්ප එකහමාරක්

රෝස් එෙන්ස් තේ හැඳි 1/2ක්

ලොකු දෙහි ගෙඩියක යුෂ

වතුර කෝප්ප භාගයක්

මුලින්ම රඹුටන් ගෙඩි සෝදා මද ඉවත් කර ගන්න. දැන් භාජනයකට සීනි හා වතුර දමා මඳ ගින්දරේ හැඳි ගාමින් උණු කරන්න. මිශ්‍රණයේ බුබුළු දානකොට එයට රෝස් එසන්ස් හා දෙහි යුෂ එකතු කර ඒකටම රඹුටන් ටිකත් එකතු කරන්න.

දැන් මඳ ගින්දරේම වරින් වර හැඳි ගාමින් විනාඩි 45ක් පමණ ළිපේ තබන්න. ටික වේලාවක් යනකොට පැණි මිශ්‍රණය මඳක් ඝන වී දුඹුරු පැහැ වෙනවා. ඒ වගේම, රඹුටන් මදත් ටිකක් කුඩා වෙනවා. දුඹුරු පැහැති පැණි මිශ්‍රණය රඹුටන්වල තැවරෙන කොට ළිප ඕෆ් කර හොඳින් නිවෙන්න තබන්න. මෙය බෝතලයට දැමීමට පෙර හොඳින් සිසිල් විය යුතුයි.

උණු වතුරෙන් තම්බා හොඳින් වියළා ගත් බෝතල්වල අසුරා තබන්න. අවශ්‍ය නම් ශීතකරණයේ වුවද තැබිය හැකියි.

************

 නිල් කටරොළු සරුවත්

(වීදුරු 2ක් සඳහා)

නිල් කටරොළු මල් 20ක් පමණ

සීනි ඔබේ රස අනුව

කස කසා ඇට තේ හැඳි 2ක්

අයිස් කැට

උතුරන වතුර කෝප්ප 2ක්

 

 

 

මුලින්ම මල් ටික හොඳින් සෝදා භාජනයකට දාන්න. දැන් මල් වැහෙන්න උතුරන වතුර කෝප්ප 2ක දමා හොඳින් නිවෙනකම් වසා තබන්න. ඒ අතරේ කස කසා ඇටත් කෝප්පයකට දමා ඇල් වතුර මේස හැඳි 2ක් එකතුකර පසෙකින් තබන්න.

නිවෙන්න තියපු වතුර එක ලස්සන නිල් පැහැයක් ගන්නවා. එහි මල් ටික අයින් කර පෙරා ගන්න. දැන් නිල් පැහැ වතුර, අයිස් කැට හා සීනි එකට මිශ්‍ර කරන්න. උඩින් කස කසා ඇට දමා රස විඳින්න.

***********

කොස් ඇට අග්ගලා

 

නැවුම් කොස් ඇට 20ක් විතර

සූරා ගත් කිතුල් හකුරු හෝ සීනී

රස පදමට

පොල් ටිකක්

ලුණු ස්වල්පයක්

 

 

 

මුලින්ම කොස් ඇට ටික පොත්ත පිටින්ම වතුර ටිකක් දමා මඳක් තම්බා ගන්න. පොත්ත පුපුරනකම් තැම්බුණාම ඇති. දැන් කොස් ඇට ටික සුදුසු භාජනයකට දමා ගින්දර අඩුවෙන් විනාඩි 15ක් විතර හැන්දෙන් එහා මෙහා කරමින් කබලේ බදින්න. ගොඩක් කර

 

වෙන්න දෙන්න එපා.

කබලේ බැදගත් කොස් ඇටවල පොත්ත අයින් කර ගන්න. කබලේ බැද ගත් විට පොත්ත අයින් කරන්න ලේසියි. දැන් පොතු අයින් කර ගත් කොස් ඇට ටික වං ගෙඩියේ හෝ ග්‍රයින්ඩරයේ දමා කොටා ගන්න. කොස් ඇට පොඩ්ඩක් කෑලි හිටින්න කොටා ගන්න. එය භාජනයකට දාන්න.

හකුරු හෝ සීනි එක්ක පොල් ටික දමා ආපහු වං ගෙඩියේ කොටා ගන්න. මෙයත් කොටාගත් කොස් ඇට මිශ්‍රණයට දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න. එයටම ලුණු ස්වල්පයක් එකතු කරන්න. ත්‍රිපෝෂ බෝල හදනවා වගේ කුඩා බෝල හදා ගන්න.

 

************

 මඤ්ඤොක්කා කොත්තු

තම්බා ගත් මඤ්ඤොක්කා ටිකක් (පින්තූරයේ වගේ

පිහියකින් කොටා කුඩා කැබලි කපා ගන්න)

අබ ටිකක්

තළාගත් සුදුලූනු

ලියාගත් අමුමිරිස්, කරපිංචා, තක්කාලි, ලීක්ස්, කැරට්,

ලූනු කොළ, ලියාගත් කොච්චි ටිකක් හා බී ලූනු

සෝයා සෝස්, තක්කාලි සෝස් හා පැස්ටා සෝස් මේස

හැන්ද බැගින්

Fried Rice Seasoning තේ හැඳි 2ක් (සුපිරි

වෙළෙඳසල්වල ඇත. එහෙත් මෙය අවශ්‍යම නැත)

පදමට ලුණු හා මිරිස් කුඩු

කුකිං ඔයිල්

 

 

 

කුකිං ඔයිල් ටික ළිපේ තියා රත් කරන්න. එයට අබ දමා පුපුරුවන්න. ඒකටම තළාගත් සුදුලූනු, කරපිංචා, අමුමිරිස්, තක්කාලි හා බී ලූනු දමා බැදෙන්න හරින්න. දැන් මඤ්ඤොක්කා හැර ඉතුරු සියල්ලම දමා තවත් ටික වෙලාවක් බැදෙන්න හරින්න. අවසානයේ එයට මඤ්ඤොක්කා ටික එකතුකර හොඳින් කලවම් කර කෑමට ගන්න.

*******************

 තම්බපු වෙරළු අච්චාරු

 

අමු වෙරළු ගෙඩි

නයි මිරිස් කරල්

කෑලි මිරිස්

විනාකිරි ස්වල්පයක්

ඔබේ රස පදමට ගම්මිරිස්, ලුණු කැට හෝ කුඩු

 

 

වෙරළු ගෙඩි වැහෙන ප්‍රමාණයට වතුර දමා ගෙඩි පුපුරනකම් තම්බා ගන්න. ඒ අතර මිරිස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. නයි මිරිස්, කෑලි මිරිස්, ලුණු හා ගම්මිරිස් එකට දමා විනාකිරි ස්වල්පයක් සමඟ මිරිස් ගලේ අඹරා ගන්න.

දැන් වතුර පෙරා ගත් තැම්බූ වෙරළු ටික ගෑරප්පුවකින් තැනින් තැන හිල් කර ගන්න.

වෙරළු ටික මැටි භාජනයකට දමා අඹරා ගත් මිරිස් මිශ්‍රණය එකතු කර ලී හෝ පොල් කටු හැදකින් මිශ්‍ර කර කෑමට ගන්න (මේ සඳහා ලෝහ භාජන හෝ හැඳි භාවිත නො කරන්න)