කරදරකාරී කෙස් කලඹට සමු දී සුන්දර කෙස් කලඹක හිමිකාරියක් වන්න

අගෝස්තු 1, 2022

 

තමන්ගේ හිසකෙස්වල දිග ප්‍රමාණය කොහොම වුණත් එය නිරෝගී සහ හොඳ පෙනුමකින් තිබිය යුතුයි. එය ඔබේ ආත්ම විශ්වාසය ඉහළ නංවනවා. ඒ වගේම වියළී ගිය, අවුල් සහගත, ඉක්මනින් කැඩෙන සහ ගැළවී යන තුනී කෙස් කලඹක් කියන්නේ කාන්තාවකගේ පෙනුම පහත හෙළන දෙයක්. එය ඔබේ සුන්දරත්වයට සැලකිය යුතු මට්ටමේ හානියක් සිදුකරනවා. තමන්ට අවශ්‍ය වෙන විදිහේ නිරෝගී කෙස් කලඹක් උරුම කරගැනීම දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මේ දේවල් නිවැරැදිවමඅනුගමනය කළොත් නම්, ඔබටත් කාලයක් ගත වෙනකොට සුන්දර කෙස් කලඹක් උරුම කරගන්න හැකියාව ලැබේවී.

 

නාන්න කලින් පීරන්න

නෑමෙන් පසු තෙත කොණ්ඩය පීරනකොට ගැළවෙන සහ කැඩෙන හිසකෙස් ප්‍රමාණය වැඩි බව ඔබට දැනිලා ඇති. මේ තත්ත්වය මඟහැරගන්න නම් නෑමට පෙර හිසකෙස් හොඳින් පීරන්න. එය අමතක කරන්නම එපා. නාන අතරතුර වගේම හිසකෙස් වියළන කොටත් ගැළවී යන කෙස් ප්‍රමාණය අඩුවීමට මෙය උපකාරී වෙනවා. ඒ වගේම වියළි හිසකෙස් පීරීමේ දී හිස් කබලේ ඇති ස්වාභාවික තෙල් හිසකෙස් අතරට යෑමක් සිදුවෙන නිසා සෑම විටම වියළි හිසකෙස් ම පීරීමට වග බලාගන්න. ඒ සඳහා ලී පනාවක් පාවිච්චි කරන්න.

දිනකට සිය වතාවක් පමණ හිසකෙස් පිරීම මඟින් හිස් කබල හොඳින් සම්බාහනය වීමක් සිදු වෙනවා. හැබැයි මේ සඳහා ස්වාභාවික කෙඳි සහිත පනාවක් හෝ ලී පනාවක් භාවිත කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. හිස් කබලෙන් පටන් ගෙන හිසකෙස්වල පහළට යනතෙක් මෘදුව පිරීම මෙහිදී සිදුකළ යුතු වෙනවා.

 

පිරිසුදුකම හරිම වැදගත්

හිස් කබලේ එකතුවන දහදිය, කුණු, දුහුවිලි සහ තෙල් නිසා හිස්හොරි සැදීමත්, හිසකෙස් ගැළවී යාමත් වේගවත් වෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් දිනපතා ස්නානය අත්‍යවශ්‍ය වෙනවා. මුලින්ම සුදුසු ෂැම්පු වර්ගයක් ගෙන එයින් ස්වල්පයක් තෙත හිස් කබලට යොදා හොඳින් පිරිසුදු කර සෝදා හරින්න. ෂැම්පු යොදා හිසකෙස් ඇතිල්ලීම නම් කිසිසේත්ම සුදුසු වන්නේ නෑ. ඊළඟට සුදුසු කන්ඩිෂනර් වර්ගයකින් ස්වල්පයක් ගෙන හිස කෙස්වල පමණක් ආලේප කර විනාඩියක් පමණ තබා හොඳින් සෝදා හරින්න. හිසකෙස් මත සහ හිස් කබලේ ෂැම්පු හෝ කන්ඩිෂනර් රැඳී තිබීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.

ස්නානයෙන් පසු හිසකෙස් තදින් අතුල්ලා වේළනවා වෙනුවට තෙත මාත්තු කර වේළා ගැනීමටත් අමතක කරන්න එපා. උණුසුම් ජලය වෙනුවට හැකිතාක් සිසිල් ජලයෙන් ම හිසකෙස් සේදීමෙන් හිස්කබලට සහ හිසකෙස්වලට සිදුවන හානිය අවම වන බවත් සිහිතබා ගන්න. දිනපතා ස්නානය කිරීමට අමතරව, තමන් භාවිත කරන ටවල්, කොට්ටය, බෙඩ් ෂීට් සහ පනාව නිතරම පිරිසුදුව තබා ගැනීමෙනුත් හිසකෙස්වලට වන හානි අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

 

හෙයාර් මාස්ක්

වර්ණගැන්වීම, වියළීම, කෘත්‍රීමව හැඩ ගැන්වීම, යම් යම් ආලේපන ගැල්වීම සහ හිරු එළියට නිරාවරණය වීම වගේ දේවල් නිසා හිසකෙස් පහසුවෙන් ම හානියට පත්වෙනවා. එවැනි හිසකෙස්වලට පෝෂණය ලබා දී, හිසකෙස් යථා තත්ත්වයට පත් කරවන ඩීප් කන්ඩිෂනර් සත්කාරයක් (deep conditioning treatment) තමයි හෙයාර් මාස්ක් (hair mask) එකක් දැමීමෙන් සිදුවෙන්නේ. තමන්ගේ හිසකෙස්වල ස්වභාවයට ගැළපෙන ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත් mask එකක් දැමීම හෝ සැලෝන් එකකින් මේ සත්කාරය කරගැනීමට හැකියි. ඒ වගේම සතියකට වතාවක් මෙය සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා.

 

කපන්න බය වෙන්න එපා

කොණ්ඩය කෙටි කිරීමට අකැමැති නම් සති හයකට හෝ අටකට වතාවක් කොණ්ඩය ට්‍රිම් (trim) කිරීමට (හිසකෙස් අග කැපීමට) හෝ අවධානය යොමු කළ යුතු වෙනවා. කොණ්ඩය අගිස්ස පැලී ඇතිනම් හිසකෙස්වලට එයින් සිදු වන හානිය සහ අවලස්සන බව වළක්වා ගැනීමට මෙය උපකාරී වෙනවා.

 

ගැළපෙන නිෂ්පාදන තෝරාගන්න

තමන්ගේ හිස කෙස්වල ස්වභාවයට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගැනීමට විශේෂ අවධානයක් යෙදිය යුතු වෙනවා. වියළි බව, තෙල් සහිත බව, හිසකෙස්වලට සිදුකර ඇති වෙනත් රූපලාවණ්‍ය සත්කාර, හිස්හොරි ඇතුළු වෙනත් සමේ රෝග වගේ සියලුම දේ සලකා බලා, කොණ්ඩයට අහිතකර රසායනික ද්‍රව්‍ය අවම වර්ගවලින් නිෂ්පාදන තෝරා ගැනීමට අමතක කරන්න එපා.

 

පෝෂණය අත්‍යවශ්‍යයි

ප්‍රෝටීන්, යකඩ, විටමින් ඇතුළු සියලු පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් සමබල ආහාර වේලක් ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත් හිසකෙස් ඇතුළු මුළු ශරීරයේම නිරෝගී බව වර්ධනය කරවන හේතුවක් විදියට පෙන්වන්න පුළුවන්. ඔබ කොයි තරම් රූපලාවණ්‍ය සත්කාර කළත්, සමබල ආහාර වේලක් සහ ජලය නිසි පරිදි ලබා ගන්නේ නැත්නම් හිසකෙස් දුර්වල වී ගැළවී යාම ඉක්මන් වෙනවා.

 

මානසික සහනය

මානසික පීඩා සහ නිදි වැරීම වගේ හේතු නිසා ශරීරයට සිදුවන හානිය හිස්කෙස්වලටත් ඍජුවම බලපානවා. මේ නිසා හිසකෙස් ගැළවී යෑම සහ සුදු වීම වගේ තත්ත්වයන් ඉහළ යන්නට ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවල දී නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාකිරීම ඔබගේ හිසකෙස්වලට විතරක් නෙවෙයි සම්පූර්ණ කයට සහ මනසටත් විශාල සහනයක් ගෙනදේවි. මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් ඔබටත් නීරෝගී දිදුළන කෙස් කලඹක හිමි කාරියක් වීම අපහසු නැහැ.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

නයනා කුමාරි

Salon Nayanart