රන්වන් සමකට දිදුලන රුවකට සැෆ්රන්

නොවැම්බර් 10, 2021

 

රුව ගැන කතා කරන කොට අපේ මතකයට නැගෙන එක් දෙයක් වන්නේ සැෆ්රන් නැත්නම් කුංකුම. සැෆ්රන්වල වටිනාකම හා ප්‍රයෝජන මොනතරම් ද කියනවා නම් රතු රත්තරං කියලා හඳුන්වන්නේත් මේ සැෆ්රන්.

මිලාධික කුළු බඩුවක් ලෙසින් හඳුනාගෙන තිබෙන සැෆ්රන් අතීතයේ සිටම කාන්තා රුව සමඟ තිබෙන්නේ ළෙන්ගතු බැඳීමක්. ඒ නිසා රුව ගැන හිතන ඔබත් මේ ගැන දැන සිටිය යුතුමයි.

රන්වන් පැහැති, දීප්තිමත් සමක් හිමිකරගන්න හිතන අයට මෙය අගනා ඔසුවක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.

මොනවද මේ සැෆ්රන්

සැෆ්රන් කියන්නෙ ස්පාඤ්ඤය, ඉන්දියාව, ඉරානය හා ග්‍රීසිය වැනි රටවල්වල වැවෙන Crocus Sativus කියන පැළෑටියේ හැදෙන මලේ රේණු. රේණුවේ කොටස් සහ වැවෙන රට අනුව සැෆ්රන්වල ගුණය මෙන්ම මිලත් වෙනස් වෙනවා. රේණුවේ තද රතු පැහැ උඩ කොටස Negin saffron කියලා හඳුන්වනවා. මිල අධිකම, ප්‍රථිපල වැඩිම Negin saffron තියෙන්නේ ඉරානයේ.

ඒත් සැෆ්රන් අධික මාත්‍රාවක් ගැනීම නම් සිරුරට විස සහිතයි. ග්‍රෑම් 30ට වඩා ශරීරගත වුවහොත් මරණය පවා සිදුවෙන්න පුළුවන්. ඒත් අපට වෙළෙඳපොළෙන් මිලදී ගන්න තියෙන සැෆ්රන් බෝතලයක බොහෝවිට අඩංගු වන්නේ ග්‍රෑම් 1ක ප්‍රමාණයක්.

 

සැෆ්රන් භාවිතයෙන් ලැබෙන වාසි

* අඳුරු පැහැ ලප කැලැල්, අවපැහැ ගැන්වීම්, රැලි වැටීම් නැතිකර ස්වාභාවික දීප්තිමත් රන්වන් පැහැ සමක්

* අකලට හිසකෙස් පැසීම හා වැටීම නවතා දිදුළන නිරෝගීමත් කෙස් කලඹක්

* බ්ලීචිං සහ හිරු රශ්මියෙන් ඇතිවූ පිලිස්සීම් නැති කිරීම

* මානසික ආතතියට, මොළයේ රසායනික සංයුතියේ වෙනස්කම්වලට

* වයස්ගතවීම,විශේෂයෙන්ම අවුරුදු 40න් පමණ පසු බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි නින්ද නොයෑම. සැෆ්රන් මඟින් සුවදායී නින්දක් ලැබෙනවා.

* කොලෙස්ටරෝල් පාලනයට

* පිළිකා සෛල වර්ධනය පාලනයට

* ඇස් පෙනීම වර්ධනය

* කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ ගැටලු සඳහා

* ආහාර ජීර්ණය පහසු කිරීම

* ගර්භණී අම්මලාට නිරෝගිමත් දරුවකු ලබාගැනීම සඳහා

කොහොමද සැෆ්රන් භාවිත කරන්නෙ?

ප්‍රසිද්ධ සහ වඩාත් පහසුම ක්‍රමය වන්නේ කිරිත් සමඟ මිශ්‍රකර සැෆ්රන් පානය කිරීමයි. ඒ වගේම සැෆ්රන් අඩංගු ක්‍රීම් වර්ගත් ඕනෙතරම් තියෙනවා.

කිරි සමඟ පානය ‍මේ සඳහා

කිරි වීදුරු බාගයක් (ෆ්‍රෙෂ් මිල්ක්)

සැෆ්රන් රේණු 3-4ක්

කරදමුංගු/එනසාල් කරල් 3ක කුඩු (අවශ්‍යම නැත)

එළකිරි වෙනුවට ආමන්ඩ් කිරි භාවිත කළ හැකි නම් වඩාත් හොඳයි. කිරි ටික හොඳට නටවලා ඒකට සැෆ්රන් රේණු ටික දමා පොඩ්ඩක් කවලම් කරන්න. මෙයට කරදමුංගු මේ කුඩු ටිකත් එකතුකර මිනිත්තු 15-20ක් නිවෙන්න තියා රේණුත් එක්කම රාත්‍රියට හෝ උදෑසන දිනකට එක්වරක් හෝ දින දෙකකට වරක් පානය කරන්න. මෙයට සීනි හෝ මීපැණි දාන්න පුළුවන්. ඒත් ඒවා නැතුව බොන එක හොඳයි.

කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න ඕනෙ නම් උදේට බොන්න. සැෆ්රන් මඟින් ආහාර ජීරණය පහසු කර ඉක්මනින් බඩගිනි ඇති කරනවා. මහත් වෙන්න ඕනෙ නැත්නම් රාත්‍රියට පානය කරන්න. ඒ වගේම නින්ද නොයන අයටත් රාත්‍රීයට සැෆ්රන් කිරි වීදුරුවක් පානය කිරීමෙන් සුවදායි නින්දක් ලබාගන්න පළුවන්. කිරි බොන්නෙ නැති අයට මේ ප්‍රමාණම මේ විදියටම කිරි වෙනුවට උණු වතුර භාවිත කර බොන්න පුළුවන්.

 

කුරුළෑ සඳහා

 

ඇලෝ ජෙල් තේ හැඳි 2ට සැෆ්රන් රේණු 3-4ක් දමා මිශ්‍ර කර මිනිත්තු 10ක් විතර තබා මුහුණේ ආලේප කර මිනිත්තු 15ට පමණ පසු සාමාන්‍ය වතුරෙන් සෝදන්න.

 

ෆේස් ෆැක් එකක්

 

සුදු හඳුන් තේ හැඳි 1ට යෝගට් හෝ කිරි තේ හැඳි 2ක් දමා ඒකට සැෆ්රන් රේණු 3-4ක් එකතුකර කවලම් කරලා මිනිත්තු 10න් තබා මුහුනේ ආලේප කරන්න. වියැළී ගියාට පසු සෝදැ හරින්න. සම වියළි වීම, පිග්මන්ටේෂන්, බෙල්ල වටේ, ඇස් වටේ සහ කට දෙපැත්තේ අවපැහැ ගැන්වීම් (කළු වීම) ඉවත් කර දිදුළන සමක් ලබාගන්න පුළුවන්. ඒත් මෙහි යෝගට් තිබෙන නිසා කුරුළෑ සහිත තෙල් සමකට නම් එතරම් සුදුසු නැහැ.

 

අපි සැෆ්රන් ගැන තවත් දේ ඉදිරියේ දී දැනගනිමු.

 

අන්තර්ජාලයෙනි