වර්ෂ 2024 ක්වූ September 30 වැනිදා Monday
ලස්සන වෙන්න යන කාටවත් මේ වාගේ විපතක් නම් වෙන්න එපා
හැඩවැඩ වෙන්න, ලස්සන වෙන්න සෑම යුවතියකගේම සිතෙහි තිබෙන සොඳුරු සිහිනයකි. මේ නිසාම සෑම යුවතියක්ම තමුන්ගේ සම ගැන, මුහුණ හා කොණ්ඩය ගැන වඩාත් සැලකිලිමත් වෙයි. ලස්සනට ඉන්න සෑම යුවතියක්ම අඩුම තරමින් තම අැහිබැමි සකස් කර ගැනීමටවත් රූපලාවණ්‍යගාරයකට යෑම දැන් සාමන්‍ය සිද්ධියකි. ඒ ගිය අවස්ථාවක තමුන්ගේ මුහුණට ෆේෂල් එකක් දමා ගන්නට, කොණ්ඩය සකස් කර ගන්නට ද ඇතැම් යුවතියන්ට සිතක් පහළ වෙයි.
උපතින්ම හැඩකාර සුන්දර යුවතියක් වූ මිනුවන්ගොඩ බොරගොඩවත්තේ ජනනි ලක්මාලිට මෙවැනි සිතුවිල්ලක් පහළ වූයේ ඇය පසුගියදා මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයට ගොඩ වූ මොහොතකය. තිස්පස් හැවිරිදි ජනනි දියණියක් සහ පුතෙකුගේ ආදරණීය මවකි. තමුන්ගේ උත්සාහයෙන් හා මහන්සියෙන් ජීවිතය ගොඩනඟා ගන්නට දිවා රෑ වෙහෙසුණු ජනනි, කලක් ස්වයං රැකියාවක ද නිරත වූවාය. තම සැමියාගේ ව්‍යාපාර කටයුතු සඳහා ද නිරතුරුවම සහය වූ ඇය සැමවිටම තම රූපය ගැන ද සැලකිලිමත් වූයේ සෑමවිටම සමාජයේ මිනිසුන් සමඟ නිරතුරුවම සමීපව කටයුතු කරන නිසාමය.
තමුන්ගේ රූපය ලස්සනට තියාගන්නට සෑමවිටම උත්සාහ කළ ජනනි තමුන්ගේ ඇහිබැම සකස් කර ගැනීමට මිනුවන්ගොඩ පොදු වෙෙළඳ සංකීර්ණයේ ඇති රූපලාවණ්‍යාගාරයකට පසුගිය දා ගොඩවිය. මේ මොහොතේ එම රූපලාවණ්‍යාගාරයේ සිටියේ සේවිකාවන් දෙදෙනෙකි. තම ඇහිබැම සකස් කරන ගමන් නිකමට මෙන් ජනනි ඔවුන්ගෙන් කොණ්ඩය කර්ල් කර ගැනීම ගැන ද විමසුවේ පසු දිනෙක එහි පැමිණීමට සිතාගෙනය.
“මිස් අපි ඒ ගැන හරියටම දන්නේ නැහැ... අද අපේ මැඩම් පොඩ්ඩක් එළියට ගියා. මිස්ට අපේ විසිටින් කාඩ් එකක් දෙන්නම්. අපේ මැඩම්ට කෝල් එකක් දීලා අහගන්න.. යැයි සේවිකාවන්ගෙන් ලැබුණු පිළිතුරු විය.
ජනනි පසුදින ඔවුන් ලබාදුන් කාඩ්පතේ ඇති ජංගම දුරකතන අංකයට ඇමතුමක් ලබා දුන්නේ ඒ සඳහා වැයවන මුදල හා විස්තර දැනගැනීමටය.
“හරි මිස්ගේ කොණ්ඩේ බලලා තමයි මට ඒ ගැන කියන්න වෙන්නේ. මිස් හෙට උදේ 8.30ට අපේ සැලොන් එකට එන්න... මම ඉන්නවා. ගැටලුවක් නැහැ අපිට වැඩේ කරන්න පුළුවන්. හැබැයි මිස් උදේම එන්න“ ඇයට රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියගෙන් ලැබුණු පිළිතුර විය.
එහෙත් ඇය පැවසූ ලෙසින්ම නියමිත වේලාවට එහි යන්නට ජනනියට නොහැකි විය. ඇය නැවතත් ඇමතුමක් ලබා දී කෙසේ හෝ එම ස්ථානයට උදේ 9.00 වෙන විට පැමිණියාය. එහි ගිය ජනනිගේ කොණ්ඩය පරීක්ෂා කිරීම හිමිකාරිය විසින් පළමුව සිදු කළාය. එහිදී ජනනි කියා සිටියේ “මිස් කොණ්ඩෙ ඩැමේජ් වෙනවා නම් කලර් කළේ නැති වුණාට කමක් නැහැ. මම මේ කර්ල් කරන්න හිතුවේ මගේ යාළුවොත් කියනවා කර්ලි' කොණ්ඩේ මට මැච් වෙනවා කියලා. එවිට හිමිකාරිය ඇයට ඒ සඳහා දැක්වූයේ ධනාත්මක පිළිතුරකි. “නෑ... නෑ... මිස් මිස්ගේ කොණ්ඩේ කර්ල් කරන්න පුළුවන්. මිස්ට අපි ගැන සැකයක් තියෙනවා නම් අපි කර්ල් කරපු අයගෙන් දැනගන්න පුළුවන්. මිස්ගේ කොණ්ඩෙට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. අපි ලස්සනට වැඩේ කරලා දෙන්නම් අපේ සම්පූර්ණ ට්‍රීට්මන්ට් එකට ගන්නේ රුපියල් පහළොස් දාහයි. මිස්ට ඔය ගාණ අපි කිව්වේ හොඳටම අඩු කරලා.' මෙහේ කොහෙවත් ඔය ගාණට මිස්ගේ කොණ්ඩේ කර්ල් කරගන්න බැහැ.“
එහෙත් ඒ මොහොතේ ජනනිගේ අත ඒ තරම් මුදලක් නොවීය. ඇයගේ අතේ තිබුණේ රුපියල් නව දහසකි. ඇය මුදල අඩු කර ගැනීමට හැකිදැයි නැවතත් හිමිකාරියගෙන් විමසීය.
“ඇත්තටම මිස්ට අපි දීලා තියෙන්නේ හොඳම ඔෆර් එකක්... ඊට වැඩිය නම් අඩු කරන්න බැහැ. අපට බඩුවලට යන වියදමවත් කවර් වෙන්නේ නැහැ. මේකට හරියටම පහළොස් දහස් පන්සීයක් යනවා. මිස්ට රුපියල් පන්සීයක් අඩු කරලා තමයි මේ පහළොස් දාහක් කිව්වේ.“
ජනනි මුදල ගෙවීමට පොරොන්දු වී තමාගේ අතේ ඇති රුපියල් නව දහස ඇයට දුන්නාය. ඉන්පසු බැංකුවට ගිය ඇය තවත් රුපියල් තුන්දහස් පන්සීයක් රැගෙන ආවේ ඉතිරි මුදල කටයුත්ත අවසන් වූ විට ගෙවීමට පොරොන්දු වෙමිනි.
මුදල් ලබාගත් පසුව එහි සිදුවී ඇත්තේ වෙනස්ම සිද්ධියකි. ඒ ගැන ජනනි සඳහන් කළේ මෙලෙසිනි. “එයාලා මුලින්ම රුපියල් දොළොස් දහස් පන්සීය මගෙන් ගත්තා. දැන් එයාලා සල්ලි ගත්තට පස්සේ එයාලගේ වැඩ කර කර ඉන්නවා. මුලින්ම බියුටීෂියන් එයාගේ ගෝලයෙක්ගේ ඇහිබැම හැදුවා. ගෝලයා බියුටීෂියන්ගේ ඇහිබැම හැදුවා. මම මේ ඔක්කොම බලාගෙන සෑහෙන වෙලාවක් හිටියා. ඉඳලා මම කඩේට ගියා. ගිහින් බීම බෝතලයකුයි, ෂෝට් ඊට්ස් ටිකකුයි, යෝගට් දෙකකුයි මේ අයට ගෙනත් දුන්නා. මම එහෙම කළේ මගේ වැඩේ තවත් හොඳට කරගන්න. ඇත්තටම මගේ වැඩේ ලස්සනට කරලා දුන්නොත් යද්දි කීයක් හරි වැඩිපුර දීලා යනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඔන්න දැන් මගේ වැඩේ පටන් ගත්තා. බියුටීෂියන් කිව්වා මුලින්ම මගේ කොණ්ඩය හෝදන්න කියලා. ඊට පස්සේ එයා මගේ කොණ්ඩයෙන් පොඩි කොටසක් අරගෙන ගෙතුවා. එහෙම ගොතලා ගෝලයන්ට කිව්වා ඒ විදිහට වැඩේ කරන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් බියුටීෂියන් එකපාරටම කිව්වා මට හදිසියේ උසාවියට යන්න තියෙනවා. මම ඉක්මනට එනවා එනකල් ඔයාලා වැඩේ කරගෙන යන්න කියලා.
මට එතකොට තමයි තේරුණේ මට උදේම එන්න කිව්වේ මගේ සල්ලි අරගෙන යන්න කියලා.
“දැන් ගෝලයෝ දෙන්නා තමයි වැඩේ කරන්නේ. ඒ දෙන්නට කිසිම ගාණක් නැහැ මගේ කොණ්ඩේ කර්ල් කිරීම ගැන. ඒ දෙන්නා එයාලගේ වැඩ කරන ගමන් තමයි මගේ වැඩේ කරන්නේ. මට මේ ගැන හොඳට තේරුණා. දැන් මේ දෙන්නා මගේ කොණ්ඩයේ කෙමිකල් වර්ගයක් ගාන්න සූදානම් වුණා. මට ඒ ගැන සැකයක් තිබුණු නිසා මොකක්ද ගාන්නේ කියලා ඇහුවා. ඒ වෙලාව ඒ දෙන්නා ඒ ගැන කිසිම තැකීමක් නැතුව බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ගණන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන ගියා. මේ අතරේ සැලොන් එකට තවත් කස්ටමර්ස්ලා ආවා. ඒ අයගේ වැඩත් කරනවා.
මේ දෙන්නා ඒ කෙමිකල්, කොණ්ඩයට දානකොට මගේ ඇස් දෙකටත් වැටුණා. මම ඒ ගැන ඒ අයට ඉක්මනට කිව්වා. නමුත් එයාලා කිසිම තැකීමක් නැතුව මට ටිෂූ කොළ ටිකක් දීලා මේකෙන් පිහදාන්න කිව්වා. මම ඒ ටිෂූ කඩදාසි තෙත් කරලා ඇස්වලට තියාගත්තා. ඊට පස්සේ ඒ ටිෂූ දෙක අයින් කරලා එතැනට ආපු කස්ටමර් කෙනෙකුට කියලා ටිෂූ දෙකක් තෙත් කරලා මගේ ඇහැට තියාගත්තා. අඩුම ගානේ ඇහැ හෝදන්නවත් ඒ දෙන්නා කාරුණික වුණේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට කන් දෙකට කවර් එකක් දානවානේ. ටිෂූ කඩදාසි කිහිපයක් අතට දෙනවානේ. ඒ කිසිම දෙයක් මෙතැන කළේ නැහැ. මම ටිෂූ කොළ දෙකක් ඉල්ලාගෙන කන් දෙක වහගෙන කරපු මෝඩකමට කරන්න දෙයක් නැති නිසා ඉඳගෙන හිටියා.
මට කිව්වා කෙමිකල් ගාලා විනාඩි හතළිස් පහක් ඉන්න වෙනවා කියලා. දැන් මම විනාඩි හතළිස් පහක් හිටියා. ඒත් සෝදන පාටක් නැහැ. මම ඇහැව්වා මිස් කොණ්ඩේ සෝදන වෙලාව හරි නේද කියලා. එතකොට මේ අය කියනවා තවම කර්ල් වෙලා නැහැ. ඒ නිසා ටික වෙලාවක් ඉන්න කියලා.
මේ අතරේ බියුටීෂියන්ගේ පොඩි දුවෙකුත් එතැනට ආවා. දැන් දෙන්න ඒ දරුවත් එක්ක කතාව. මේ දරුවත් එක්කත් කතා කරලා ඊට පස්සේ කියනවා තව විනාඩි හතළිස්පහක් තියන්න ඕනේ කියලා. ටික වෙලාවක් යද්දි මට ඉවසගන්න බැරි තරමේ හිසරදයක් ආවා. මාව කැරකෙනවා වගේ. මම බැරිම තැන ඒ ගැන එයාලට කිව්වා. නමුත් ඒ ගැන ගණන් ගත්තේවත් නැහැ.
දැන් ඒ විනාඩි හතළිස් පහක් ඉවර වුණා. ඊට පස්සේ තමයි ඔන්න කොණ්ඩේ සේදුවේ. ඊට පස්සේ තවත් මොනවදෝ කෙමිකල් එකක් ඔළුවට දාලා පැය බාගයක් විතර තිබ්බා. ආයෙමත් සේදුවා. මේ අතරේ මගේ දුවයි, මගේ අක්කයි සැලොන් එකට මාව සොයාගෙන ආවා.
එතකොට සැලොන් එකේ දෙන්නා කලබල වුණා. දෙන්නා කලබලෙන් එහාට මෙහාට යනවා. කෝල් කරනවා මම දැක්කා. දැන් මම ඉන්නේ පුටුවක හාන්සි වෙලා. මම ඇහැව්වා ඇයි ඔයාලා කලබල වෙලා එහෙට මෙහෙට දුවන්නේ කියලා. ඒත් ඒ දෙන්නා කිසිම දෙයක් කියන්නේ නැතුව කොණ්ඩේ කටු ගැලෙව්වා. මට එතකොට දැනුණා කොණ්ඩය ටික ටික ගැලවිලා වැටෙනවා. මගේ අතට කොණ්ඩය ගැලවිලා ආවා. ඒ වෙලාවේ මට පුදුම දුකක් දැනුණා මට ඇඬෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ අය ඔළුවට තුවායක් දාලා පුටුවක වාඩිවෙලා ඉන්න මිස් එනකම් කියලා කිව්වා. ටික වෙලාවකින් මගේ අක්කා අැහුව්වා නංගි ඔයාගේ කොණ්ඩේ ගැලවෙන්නේ ඇයි කියලා ඒ එක්කම කොණ්ඩේ පැත්තක්ම ගැලවිලා වැටුණා.
මේ අතරේ එක ළමයෙක් මිස් හොයන්න කියලා දුවගෙන ගියා. අනෙක් ළමයා කාටදෝ දිගින් දිගටම කෝල් කරනවා. මට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා. මුලින්ම අපි අඬාගෙනම පොලිසියට ගියා. පොලිසියට පැමිණිල්ල කරලා පොලිසියේ නිලධාරීන් එක්ක එතැනට එනකොට සැලොන් එකේ කවුරුවත් නැහැ. සැලොන් එක වහලා බෝඩ් එක පවා ඒ ටික වෙලාවට ගලවලා.
දැන් මට ඉන්න හිටින්න බැහැ... ක්ලාන්තේ වගේ. ඊට පස්සේ මම මිනුවන්ගොඩ රෝහලට ඇතුළු වුණා. මිනුවන්ගොඩ රෝහලෙන් ගම්පහ මුලික රෝහලට මාව මාරු කළා. ඒ අතරේ මගේ ඉතුරු කොණ්ඩේ ටිකත් ගැලවිලා වැටුණා.
මේ සියල්ල ජනනි අපට පවසන විිට ද ඇයගේ නෙත් කඳුළින් තෙත් වෙයි. දින දෙකක් රෝහල්ගතව සිටි ජනනි දැන් නිවෙසට පැමිණ ඇත්තේ හිසකෙස් සියල්ලම අහිමිවය. ඇය මේ පිළිබඳ ගම්පහ පාරිභෝගික අධිකාරියේ කාර්යාලයට ද පැමිණිලි කර තිබේ.
ජනනිට දැන් තම දෛනික කටයුතු කිසිවක් කර කියා ගන්නට නොහැකිය. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු ඇයට දැන් පාරක තොටක ඇවිද යන්නට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මෙහි බරපතළම තත්ත්වය වන්නේ මේ වන තෙක්ම එම රූපලාවන්‍යාගාරයේ කිසිවෙකුත් සොයා ගැනීමට හෝ දුරකතන අැමතුමකට පිළිතුරු ලබාදීමට හෝ ඇමතුමක් ලබාදීමට ඉදිරිපත් නොවීමයි. එසේම රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ඇයගේ සහයිකාවක් ද සොයා ගැනීමට නොහැකි බව ජනනි අපට පැවසුවේ මහත් කනගාටුවෙනි.
“ඇත්තෙන්ම මට වුණු දේ තවත් කෙනෙකුට වෙන්න දෙන්න හොඳ නැහැ. මේ වගේ දෙයක් සිද්ධ වුණ වෙලාවක මේ බියුටීෂියන් හරි ගෝලයෝ හරි මට කතා කළේ නැහැ. ඒක හරිම වැරැදියි. තමුන්ගේ අතින් වුණු වැරැද්ද පිළිඅරගෙන නීතිය හමුවට ඉදිරිපත් වෙන්නවත් බැරි ඇයි කියන එක තමයි මට තියෙන ලොකුම ගැටලුව.“ යැයි ජනනි කඳුළු සලමින් අපට සඳහන් කළේ මහත් වේදනාවෙනි.