කාන්තාවන් වෙනුවෙන් පෙරට ආ මැතිසබේ කාන්තාවෝ

මාර්තු 3, 2021

කාන්තාව වෙන කවරදාටත් වඩා අද වන විට තම දක්ෂතා විවිධ වූ ඉසව් ඔස්සේ ඉදිරියට ගෙන යාමට සමත්ව තිබේ. නිවෙසට කොටු වී නොසිට පිරිමින් හා කරට කර සිටිමින් තම සේවය උපරිමයෙන් තම සේවා ස්ථානවලට ලබා දීමට ද කාන්තාවන්ට හැකියාව ඇත. පිරිමියාට වඩා වැඩි අභියෝග ප්‍රමාණයක් උපතින් ම කාන්තාව සතු වුවද ඒ හැම අභියෝගයක් ම ජය ගනිමින් යම් ක්ෂේත්‍රයක ඉදිරියට පැමිණීමට ඇය සතු ශක්තිය පැසසිය යුතුය.

කුමන තරාතිරමක සිටින කාන්තාවක් වුවත් තමාගේ පවුල තුළ ඇයට හිමි භූමිකා කිහිපය ම නිවැරැදිව හසුරුවා ගැනීමට සිදු වේ. දියණියක් ලෙස මවුපියන්ට විය යුතු යුතුකම්, බිරියක් ලෙස සැමියාට විය යුතු යුතුකම් මෙන්ම මවක් ලෙස තම දරුවන්ට විය යුතුකම් මේ අතර ප්‍රධාන ය.

පිරිමියකුට ද මේ යුතුකම් ඇතත් කාන්තාවට එහි දී ඇති වගකීම් ප්‍රමාණයට වැඩි බරක් ඇත. දක්ෂතාවලින් සම වුවත් සමාජයෙන් ලැබෙන පිළිගැනීම කාන්තාවකට අඩු වන්නේ නම් එය එතරම් දියුණු සමාජයක ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකි ය. කාන්තාවන්ට හොඳ පිළිගැනීමක් ඇති, ඇයට සමසේ සලකන සමාජයක් සීග්‍රයෙන් දියුණුව කරා යාම සිදු වන්නේ නිරායාසයෙනි. එවැනි සමාජයක අමුතුවෙන් කාන්තා දින සැමරුමක් අවැසි නොවේ. මන්ද කාන්තාවන් ද අඩු තක්සේරුවක් ඇති අය නොව, සාමාන්‍ය මිනිස් කොට්ඨාසයක් ලෙස සමාජගත වන බැවිනි.

කාන්තා දිනයට දින කිහිපයක් තිබිය දී ම අපේ රටේ කාන්තාවකට ප්‍රසිද්ධියේ සිදු වූ අකටයුත්තක් පිළිබඳ විසල් කතිකාවතක් පැනනැගුණි. පොලිස් සේවයේ ඉහළ තනතුරක් වන නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තාවක් නිර්දේශ වීමත් එම පත්වීමට විරුද්ධව නීති මඟට බැස ඇත්තේ පිරිමි නිලධාරීන් තිස් දෙදෙනෙකි. මේ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ ඇය කාන්තාවක වීමය.

කාන්තාවක වීම නිසා පීඩා විඳීන එකම තැනැත්තිය ඇය නොවේ. සෑම කාන්තාවක් ම කාන්තාවක වීම නිසාම ජීවිතයේ එක් වරක් හෝ අපහසුතාවකට ලක් කොට ඇත. එය එසේ නැතැයි කීමට නොහැකිය. සාමාන්‍ය කාන්තාවන් බස් රථයේ, දුම්රියේ පමණක් නොව, මහ මගදී පවා තම ගැහැනුකම නිසාම අපහසු අවස්ථාවලට ලක්වේ. එහෙත් නීතිය සියල්ලට පොදු වන්නේ යම් සේ ද අවස්ථා ද හැමට පොදු විය යුතුය.

බිම්ශානි ජාසිංහාරච්චි නම් ඇයට වූ අසාධාරණයට විවිධ වූ අය හඬ නැඟූ අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කාන්තා සංසදය ද මාධ්‍ය හමුවක් පවත්වා ඊට තම විරෝධය පෑවාය. මෙය කාහටත් කුකුසක් ඇති වූ කාරණයක් විය. පාර්ලිමේන්තු කාන්තා සංසදය යනු කුමක්ද? අපි මෙය විමසුවේ එහි සභාපතිනිය හා උප සභාපතිනියන් දෙදෙනාගෙනි.

 

එකම පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරනවා

 

වත්මන් පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනිය

 

 

වෛද්‍ය සුදර්ශනී

ප්‍රනාන්දු පුල්ලේ

 

මේ සංසදය හා අදාළ කරුණු පිළිබඳ අපි ඇයගෙන් විමසුවෙමු.

පාර්ලිමේන්තු කාන්තා සංසදය කියන්නේ මොකක්ද?

පාර්ලිමේන්තු කාන්තා සංසදය මේ පාර්ලිමේන්තුවේ දි පමණක් ඇති කරගත් එකක් නෙවෙයි. මම පාර්ලිමේන්තුවට මුලින් ම ආවේ 2010 වසරේ දී.. ඒ වෙන විටත් පාර්ලිමේන්තු කාන්තා සංසදය ආරම්භ වෙලා තිබුණා. මේ සංසදය පිහිටුවාගෙන තියෙන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ බේදයක් නැතිව එහි සිටින සියලුම කාන්තා මන්ත්‍රීවරියන් එකතුවයි. මෙහි අරමුණ කාන්තාවන් වෙනුවෙන් නැගී සිටීමයි. මෙම සංසදයත් පාර්ලිමේන්තුව සමගින් ම වෙනස් වෙනවා.

මේකෙ තියෙන විශේෂත්වය තමයි කිසිම පක්ෂ බේදයක් මේ සංසදය තුළ නොවීම. අපි කතා කරන්නේ, ක්‍රියා කරන්නේ එකම පොදු අරමුණක් වෙනුවෙන්.

මෙහි මුල්ම පාර්ලිමේන්තු කාන්තා සංසදය ඇති වී තිබෙන්නේ සුමේධා ජී. ජයසේන ඇමතිවරිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස සිටින කාලයේ දී. එහි මුල්ම සභාපතිනිය ලෙස කටයුතු කළේද සුමේධා ජී. ජයසේන අමාත්‍යවරියමයි. මෙහි අරමුණ වුණේ සියලු කාන්තාවන් වෙනුවෙන් සිදු වන අසාධාරණකම් වල දී ඊට එරෙහි වීමට වගේම කාන්තා ගැටලු සාකච්ඡා කොට ඒවාට විසඳුම් සෙවීම යි.

පාර්ලිමේන්තුව තුළ කාන්තා ඇමතිවරියන් හා මන්ත්‍රීවරියන්ට වැඩ කිරීමට ඇති වපසරිය කුමනාකාරද?

මෙහිදී අපි 12 දෙනයි පාර්ලිමේන්තුවේ කාන්තාවන් සිටින්නේ... අනෙක් 213 දෙනාම පිරිමි. අපිට වැඩ කිරීමේ නිදහස ගැන ලොකු ගැටලුවක් ඇති වී නැහැ. මෙහිදී තිබෙන විශේෂත්වය වන්නේ සමාජයේ දී කාන්තාවන් පත්වන තත්ත්වයන් පිළිබඳ දැනුම, සංවේදී බව ඇති වෙන්නේ කාන්තාවන්ට මයි. ඒ වුණත් අපිට ඒ වෙනුවෙන් හඬක් නැගීමට තිබෙන කාලය සීමා සහිත යි. 213කට තිබෙන කාලය හා 12 කට තිබෙන කාලය සැසඳීමේ දී එය ඉතා කුඩා කාලයක්.

දේශපාලනික වශයෙන් ඉදිරියට එන කාන්තාවන්ට අතදීමක් මෙහිදී කෙරෙනවද?

මෙය පොදු අරමුණු වෙනුවෙන් තැනුණු සංසදයක්. මෙහිදී අපි දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි විය යුතුයි කියන මතයේ සිට ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් කරමින් එම කතිකාවත සිදු කරනවා. පළාත් පාලන ඡන්දයේ දී කාන්තා නියෝජනය වැඩි කළා වගේම පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය වැඩි කරන ලෙස අපි හඬ නගනවා.

එය සිදු වේ යැයි අපි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බලාපොරොත්තු වුණා..

පක්ෂවල ලේකම්වරු හමුවෙලා කාන්තා නියෝජනය වැඩි කරන ලෙස අපි ඉල්ලා සිටියා. පක්ෂ දේශපාලනයේ දී කාන්තාවන් එහි ක්‍රියාකාරීවීම අඩුයි.

වැඩි වශයෙන් කාන්තාවන් ඉන්නේ කාන්තා සංවිධානව‍ල. අපි විශ්වාස කරන්නේ ප්‍රධාන ව්‍යූහය තුළත් කාන්තාවන්ට නිල තල දැරීමට ඉඩ දිය යුතු බවයි. පක්ෂ ක්‍රමය තුළ කාන්තාවකට ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රමවේදය සැකසිය යුතුයි.

මේ සංසදය මඟින් කාන්තාවක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ නිලධාරීවරියට කාන්තාවක් නිසාම සිදු වූ අසාධාරණය වෙනුවෙන් කතා කළා..

ඔව්, අපි ඒ වෙනුවෙන් කතා කළා. කාන්තාවන්ට සිදු වන අසාධාරණකම් ගැන පක්ෂ බේදයකින් තොරව අපි එක හඬකින් කතා කරනවා.

අපි සමස්ථ සමාජයේ බහුතරය වුණාට නියෝජනය සුළුතරයි. ඒ නිසා අපි පක්ෂ බේදයකින් තොරව හඬක් නගනවා.

අපි කියන්නේ ඇය ඒ සඳහා සුදුසුකම් සපුරා තිබෙනවා නම් කාන්තාවක වීම නිසාම එය අහිමි කිරීම කාන්තාවන්ට කරන අගෞරවයක් ලෙසයි.

ඇය සම්බන්ධයෙන් වෙනත් ගැටලුවක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් කටයුතු කළාට අපේ විරුද්ධත්වයක් නැහැ.

නමුත් මෙහිදී ඇය කාන්තා නිලධාරිනියක් වීම නිසාම එම අහිමිවීම කරනවාට අපි සියලු දෙනාම විරුද්ධයි.

යම් වෘත්තියකට පුද්ගලයෙක් බඳවා ගන්නවා නම් තමා සතු සුදුසුකම් හා දක්ෂතා මත ඉහළට යාමේ හැකියාව තිබිය යුතුයි.

නැතිව කාන්තාවක් නිසා ඇයට එම ඉහළ තනතුර අහිමි කිරීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවක්. ඉදිරියටත් මේ සංසදය මගින් එකතු වී කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ සිටින

 

මෙමගින් මන්ත්‍රීවරියන්ටත් යම් සවිමත් බවක් ලැබෙනවා නේද?

ඔව්, නීත්‍යානුකූල ලෙස අපිට බලපෑම් කරන්න බැහැ මෙය සංසදයක් නිසා. අපි බලාපොරොත්තු වෙනවා කතානායක තුමා මුණගැසී පාර්ලිමේන්තු කාරක සභාව මගින් මෙයට යම් නීතිමය වලංගු භාවයක් ලබා ගැනීමට.

මෙයට පෙර ගරු චමල් රාජපක්ෂ කථානායකතුමා සිටි අවස්ථාවේ දී එතුමා වෙනම පෙත්සම් කාරක සභාවක් පත් කළා කාන්තාවන් වෙනුවෙන් යම් කිසි අසාධාරණයක් වෙනවා නම් පෙත්සම් එවීමෙන් ඒවා විභාග කළ හැකි ලෙස.

අපි මේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමු වී එවැනි කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීමට දැන් කටයුතු කරමින් සිටිනවා. එහිදී යම් කාන්තාවකට අසාධාරණයක් සිදු වෙනවා නම් එයට මැදිහත් වීමට පමණක් නෙවෙයි, ඒ වෙනුවෙන් කටයුතු කිරීමටත් අපිට ඉන් හැකියාව ලැබෙනවා.

 

 

 

අප පෙනී සිටියේ සමස්ථ කාන්තා පරපුරම වෙනුවෙන්

 

 

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනි

වෛද්‍ය සීතා අරඹෙපොල

 

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උපසභාපතිනියක් වන සීතා අරඹෙපොල ඇමතිනියගෙන් ද අපි මේ කාන්තා සංසදය පිළිබඳ අදහස් දැන ගනිමු.

* පාර්ලිමේන්තු කාන්තා සංසදයේ 'අපි මේ අය වෙනුවෙන් පෙනී සිටින්නේ' යැයි කියා සකසා ගත් සැලසුමක්, ව්‍යවස්ථාවක් තියෙනවද?

කාන්තා සංසදය තියෙන්නේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට කරන ක්‍රියාවලීන්ට දායක වෙන්න. එතනදී අපිට එක ක්ෂේත්‍රයකට කොටු නොවී සෑම ක්ෂේත්‍රයක් වෙනුවෙන් ම කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මේ නව වන පාර්ලිමේන්තු සැසි වාරයටත් අලුතෙන් මෙම සංසදය පිහිටුවා ගත්තා. ලොකු පරාසයක සේවයක් මෙමඟින් සිදු කරන්න පුළුවන්. එහිදී ව්‍යස්ථාවට එකතු කරන යෝජනා, රට තුළ සිදු වන කාන්තාවන් සම්බන්ධ ගැටලුවලට මැදිහත් වීම් සිදු කළ හැකියි.

නමුත් එතනදී ගත යුතු මූලික පියවර කිහිපය වන්නේ ඒ පිළිබඳ අවශ්‍ය නීතිමය හා බලතල ප්‍රතිෂ්ඨාපනය කරගැනීම. ඒ නිසා තමයි කාන්තා සංසදය මේ අවස්ථාවේදී අලුතෙන් සැකසෙන ව්‍යවස්ථාවට රටේ විවිධ පොදු කාන්තා ගැටලුවලට, උදාහරණයක් විදියට නීතිමය පැත්තෙන් කාන්තාවක් නිසා සිදුවන අසාධාරණයකට ක්‍රියා කිරීමට නීති සම්පාදනය කරන්නේ කෙසේද, ව්‍යවස්ථාවට එකතු විය යුතු කාරණා මොනවාද යන්න ආදිය ගැන ක්‍රියාත්මක වී සිටින්නේ. කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ව්‍යවස්ථාවට එකතු විය යුතු කාරණා මොනවාද යන්න ගැන වගේම ව්‍යවස්ථාවෙන් ම ඒ සඳහා යම් සීමාවන් පැනවී ඇත්නම් ඒවා වෙනස් කරගන්නේ කෙසේද යන්න ගැන යෝජනා ඉදිරිපත් කිරීමත් කාන්තා සංසදයෙන් ඉදිරිපත් කළා. එතනින් එහාට ගිහින් කාන්තා සංසදය බලාත්මක ස්ථානයක් බවට පත් කරන්න මගේ මුල්ම පාර්ලිමේන්තු කතාවේදීත් මම සඳහන් කළේ කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ කාරක සභාවක් පත් කරනවා නම් ඉතා වැදගත් බව.

ඒ සඳහා ඔබේ සංසදයෙන් යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළාද?

එම කාරණය ඉෂ්ටකර ගැනීම සඳහා පසුගිය 23 වැනි දින අපි කථානායකවරයාට යෝජනාවක් බාරදුන්නා කාන්තා සංසදය විදියට, විශේෂයෙන් ම කාරක සභාවක් පිහිටුවීම සඳහා. එහිදී අපට රටේ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීමට හැකි වෙනවා. එය එක් ආගමකට, ජාතියකට හෝ තරාතිරමකට අනුව සිදුවන දෙයක් නෙවෙයි. නීතිමය හා යම්කිසි බලයක් ඇතිව ක්‍රියා කිරීමට මේ කාරක සභාව හරහා හැකියාව ලැබෙනවා.

මෙය නාමික ලෙස පමණක් තිබීමෙන් ඵලක් නැති නිසා තමයි යම් කිසි බලයක් මේ සඳහා ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළේ. කාන්තා දිනයට සමගාමීව මේ කාරක සභාව පිහිටුවා ගතහොත් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පමණක් නෙවෙයි, මේ සඳහා උනන්දුවක් දක්වන, සහාය වීමට කැමැති පිරිමි මන්ත්‍රීවරුන් ද එකතු කරගෙන විශේෂ කාරක සභාවක් පිහිටුවා ගැනීමට පුළුවන්. මෙමගින් රට පුරා සිදුවන ළමා හා කාන්තා හිංසනයන්, ආසාධාරණයන්ට එරෙහිව නීතිමය ඉල්ලීම් කිරීමට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් යම් හඬක් නැගීමට හැකියාව ලැබෙනවා.

පොලිස් සේවයේ කාන්තාවකට උසස්වීමක් ලබා දීම සම්බන්ධයෙන් සිදු වූ යම් විවාදාත්මක සිද්ධියක් පිළිබඳ පාර්ලිමේන්තු කාන්තා සංසදය හැටියට ප්‍රකාශයක් කළා..

ඔව්, මෙහිදී අපි පෙනී සිටියේ බිම්ශානි කියන එක් පුද්ගල චරිතයක් වෙනුවෙන් නෙමෙයි, අපි මේ සංසිද්ධියයි හෙළා දුටුවේ. එතනදී කෙනෙකුට තර්ක කළ හැකියි මෙයට වඩා අකටයුතුකම් සමාජයේ සිදු වෙන කාන්තාවන් සිටින බවට. ඇයි ඒ හැමදේම තිබිය දී නියෝජ්‍ය පොලිස්පතිනියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන එකට පිළිතුර වන්නේ, රටට දැනෙන සහ ඒ වෙනුවෙන් දායකත්වයක් දෙන යම් කිසි තැනකින් අපි ක්‍රියාත්මක වීම ආරම්භ කළ යුතු නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් අපේ මතය ප්‍රකාශ කළා කියන එකයි.

අනිත් එක අපි එතැන දී පෙනී සිටියේ එම නිලධාරිනිය වෙනුවෙන් පමණක් නෙමෙයි සමස්ථ කාන්තා පරපුරම වෙනුවෙන්. කාන්තාවක් වූ නිසාම යම්කිසි තනතුරකට කෙනෙක් අභියෝග කරනවා නම් එය සුදුසු නැති බවයි අපි ප්‍රකාශ කළේ. මන්ද දැනට අධ්‍යාපනය ලබන මෙන්ම මේ ක්ෂේත්‍රයන්ට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන් මෙයින් මානසිකව අගතියකට පත් වෙනවා. ඔවුන් මුලදීම අධෛර්යයට පත්වෙනවා. මේ නිසා තමයි අපි ක්‍රියාත්මක වීම මේ සිද්ධියෙන්ම අරඹන්නට තීරණය කළේ. ඇයට සුදුසුකම් නැතිකමක් නිසා එම තනතුර අහිමි වෙනවා නම් එය ගැටලුවක් නෙවෙයි. ගැටලුව ඇත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නුසුදුසු අයෙක් ලෙස දැක්වීමයි. මේ නිසා මෙය කාන්තා පරපුර වෙනුවෙන්ම අප කළ හඬ නැගීමක්.

 

 

 

උපරිම ඉහළට යාමට හැකියාව ඇයට තිබිය යුතුයි

 

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනි

රෝහිණී කවිරත්න

 

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනියන් දෙදෙනෙකි. ඉන් එක් උප සභාපතිනියක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ය. අපි ඇගෙන් ද මේ සංසදය පිළිබඳ අදහස් විමසුවෙමු.

පාර්ලිමේන්තු කාන්තා සංසදය පාර්ලිමේන්තුවේ කාන්තාවන් වෙනුවෙන් පිහිටවූවක් ද?

මේ පාර්ලිමේන්තු කාන්තා සංසදය අද ඊයේ පිහිට වූ එකක් නෙවෙයි. එය මෙයට වසර විස්සකට පමණ පෙර පිහිට වූ එකක්. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට යම් අධිකාරී බලයක් ලැබෙනවා.එය යහපත් ලෙස රටේ කාන්තාවන්ට, දරුවන්ට සංවේදී වන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් අපි ඒ බලය භාවිත කරමු කියන තීරණය අපි මේ අවුරුද්දේ ගත්තා. මේ අරමුණෙන් තමයි දිගින් දිගට ම මේ සංසදය පැවැත්වෙන්නට ඇත්තේ.

පසුගිය පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ සභාපතිනිය වුණේ චන්ද්‍රාණි බණ්ඩාර මැතිණිය. අපි එවර ද කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නැගුවා. කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවා තුළ දී සිදුවන ලිංගික හිංසනය ගැන කතා කිරීම, පළාත් පාලන ඡන්දය අවස්ථාවේදී කාන්තාවන් වෙනුවෙන් 25% කෝටා එක ලබා ගැනීම වගේ දේවල් අපි මේ සංසදය මඟින් සිදු කළ දේවල්. මේ තුළ තියෙන්නේ පක්ෂ බේදයක් නැතිව සියලුම මන්ත්‍රීවරියන්ගේ සාමූහිකත්වය යි.

නියෝජ්‍ය උප පොලිස් පතිනියගේ සිදුවීම සම්බන්ධයෙන් හඬ නැගුවේත් මේ අරමුණ ඇතිවද?

ඔව්, අපේ තර්කය වුණේ යම් සේවයකට කාන්තාවක් බඳවා ගන්නවා නම් එහි උපරිම ඉහළට යාමට හැකියාව ඇයට තිබිය යුතුයි යන්නයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන සමානාත්මතාව ගැන කවරදාටත් වඩා ලෝකය ම කතා කරන කාලයක්. අපිට විතරක් කාන්තාවො එක තැනක නවතින්න ඕනෙ කියලා දෙයක් තියෙන්න බැහැ. එහෙම නොවුණොත් සමානාත්මතාව කියන දේ රැකෙන්නේ නැහැ.

අනෙක් කාරණාව වන්නේ යමෙකුට උසස්වීම් ලැබිය යුත්තේ අධ්‍යාපනය හා කුසලතාව යන දෙක මතයි. පිරිමි අයකුට තියෙන සුදුසුකම් ප්‍රමාණය ම එම කුසලතාව ම තියෙනවා නම් කාන්තාවක් වූ පමණින් ඇය දෙවෙනි විය යුතු නැති බව තමයි මගේ හැඟීම. එම උසස්වීම සඳහා තිබෙන එකම නුසුදුසුකම කාන්තාවක් වීම නම් එය මහත් ශෝචනීය තත්ත්වයක්. ඒක පහුගිය ගල් යුගයේ, හණ මිටි යුගයේ අදහස්වලට ගැළපෙන දේවල්.

කාන්තාවක් සහජයෙන් ම ගේන කළමනාකරණ හැකියාව, සංවේදී බව, අරපිරිමැස්ම වගේ දේවල් එක්ක ගත්තම කාන්තාව කියන්නේ හොඳ කළමනාකාරීත්වයක් තියෙන කෙනෙක්. අද අභ්‍යාවකාශයටත් කාන්තාවන් යන යුගයක්. ස්ත්‍රියක් වීම ම ඇයට බාධාවක් වෙන්න බැහැ. මේ කාන්තාවන් පිරිමින් සමඟ කරට කර වැඩ කරන යුගයක්. මේ උසස්වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූ ඇය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් හෝ ඒ සම්බන්ධයෙන් වන අනෙකුත් සුදුසුකම් නැතිනම් ඒ සම්බන්ධයෙන් ඇයට තනතුර නොලැබී යාම ගැටලුවක් නෙවෙයි. නමුත් නියෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවකට නුසුදුසු බව යමෙක් කියනවා නම් ඒක වැරැදි දෙයක්.

කිසිම පක්ෂ බේදයක් නැතිව කාන්තා සංසදය මේ කාරණාවල දී එකතු වෙනවා වගේ රටේ පොදු කාරණාවල දීත් එකතු වෙන්න බැරිද?

ඇත්තටම අපි 25% කෝටා එක දිනා ගත්තෙත් කාන්තා සංසදය හැටියට. එතනදි හැම පක්ෂෙකම හිටිය කාන්තා නියෝජිතවරියන් 13 දෙනෙකු එකට හිටියා. ගීතා කුමාරසිංහ මන්ත්‍රී තුමියත් එහිදී අපිත් එක්ක හිටියා.

පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් හැටියට තමයි ගීතා කුමාරසිංහ මන්ත්‍රී තුමියට ද්විත්ව පුරවැසි භාවය නිසා ඉවත් වීමට සිදු වීම මම දකින්නේ.

එදා නීතිය හා අද නීතිය දෙස බැලූ විට ද්විත්ව පුරවැසිභාවය නිසා ඇයට අසාධාරණයක් වුණා දෝ යැයි මට හිතෙනවා. නීති වෙනස් වීම මත ඇයට ඉවත් වීමට සිදු වීම කාන්තා නියෝජනය අඩු යුගයක ඒක කාන්තාවන්ට සිදු වූ අහිමිවීමක්. හැම ක්ෂේත්‍රයක ම කාන්තාවන් ඉදිරියට යනවා. නමුත් තාමත් සමහර තැන්වල කාන්තාවන්ට ඇසට නොපෙනෙන බාධාවන් තියෙන බව පෙනෙනවා.