කෑම කටේ තියාගෙන කතා එපා...

ආචාරශීලීබව ඔබේ වටිනාකම ඔපලයි
අගෝස්තු 8, 2022

 

උත්සව ඔබටත් සහභාගී වන්නට සිදුවන ජීවිතයේ එක් අංගයකි. එලෙස සහභාගී වන උත්සවයක දී ඔබේ ප්‍රතිරූපය රැකගැනීම ද කළ යුතුම දෙයකි. නො එසේ නම් ඔබව සිනහවට ලක්විය හැකියි. ඒ නිසා උත්සවයක දී ඔබේ හැසිරීම කෙබඳු විය යුතුදැයි ගිය සතියේ දී පහදා දුන් අතර ඒ පැහැදිලි කිරීම තව දුරටත් මෙසේ විමසා බලමු.

 

නැප්කින්

ඔබේ ආසනේට පැමිණි පසු මේසය මත ඇති නැප්කින් එක ඔබේ උකුළ මත හොඳින් දිගහැර තබාගන්න.

කැමැති නම් අතින් කෑම කන්න පුළුවන්. එවිට ඔබේ මේසය අසලට පැමිණෙන වේටර්වරයාට අත සේදීම සඳහා ෆින්ගර් බෝල් එකක් ඉල්ලීමේ අයිතියක් ඔබට ඇත.

එය ඔබේ ලැජ්ජාවට කාරණයක් නොවන බව මතක තබා ගන්න. එය අපහසුතාවට නො ගන්න. එහිදී ඔබේ පහසුව සහ අන් අයගෙ පහසුවටත් සමහර අවස්ථාවල මේ තීරණය සුදුසු විය හැකියි. ඔබ දැක ඇති හැඳි ගෑරුප්පු භාවිතය නො දන්නා පිරිස් ආහාර ගැනීමේ දී ඒවා භාවිත කිරීමට ගිහින් මොන තරම් අපහසුතාවන්වලට පත් වෙනවා ද කියා.

 

කොහොමද කන්නේ?

ඉතා හෙමින් කුඩා ප්‍රමාණ ලෙස ගන්න.

මුඛය පිරෙන්න ආහාර නො ගන්න.

ආහාර ගන්නා අතරතුර කටේ ආහාර තිබිය දී කතා නො කරන්න.

දුරකථන සංවාදවල නො යෙදෙන්න.

නැප්කින් එක අරගෙන අනවශ්‍ය විදිහට නහය, කට අතුල්ලා පිය දාන්න යන්න එපා.

කට තුළ යම් ආහාර කැබලි හිරවී ඇත්නම් කට ඇරගෙන හෝ අතින් වසා ගෙන වත් කෑම මේසයේ දී ඒවා ශුද්ධ කිරීමට නො යන්න. ඒ සඳහා වොෂ් රූම් එක භාවිත කරන්න.

ලිප්ස්ටික්, පවුඩර් භාවිතා කිරීම කෑම මේසය තුළ දී නුසුදුසුයි. ඒ සඳහා ද ඔබට wash room එක භාවිත කළ හැකියි.

දුම්බීම කිසිවිටකත් කෑම මේසේ මත සිදු නො කරන්න. ඒ සඳහා එම පරිශ්‍රයේ සුදුසු තැන් වෙන් කර ඇත.

හැන්දක්, ගෑරුප්පුවක් ඔබ අතින් බිමට වැටුණු විට එය ඇහිඳීමට පහත් වෙවී නො යන්න. එය සේවකයකුට කතාකර පවසා ඔබට අලුත් එකක් ගෙන්න ගන්න.

අතුරුපස බෙදා ගන්නා විටත් කොයිම වෙලාවකවත් ඇති සියලුම දේ එකපාර බෙදා ගන්න එපා. ඔබට අවශ්‍ය නම් දෙසැරයක් ගොස් බෙදා ගන්න.

එකම ප්ලේට් එක ඒ සඳහා භාවිත නො කරන්න.

නමුත් ආහාර ගැනීමේ දී ප්‍රධාන ආහාර වේල අතුරු ආහාර වේල් වුවත් ඉතා සුළු ප්‍රමාණයකින් එක වරක් බෙදාගන්නේ නම් එය ආචාරශීලී ක්‍රමවේදයකි. උත්සවයකට සහභාගි වීම යනු ආහාර ගැනීම පමණක්ම නොවන බව ඔබ මතක තබා ගන්න.

ඔබ ඉතා හොඳින් ඇඳුම් පැලඳුම් හැඳ පවුලේ අය සමඟ සහභාගි වෙන විට ඔබ අතින් සිදුවිය හැකි. අඩුපාඩු වැරැදි පුළුවන් තරම් අවම කර ගැනීමට හැම විටම උත්සාහ කරන්න. ඒ ඔබ සියලු දෙනාගේම යහපතට කාරණාවක් වන අතර ඔබ දෙස බලා සිටින අය ද ඉතා ආචාරශීලී පුද්ගලයකු ලෙස ඔබට ගෞරව කිරීමට ද පෙළඹෙනු ඇත.

 

රූපලාවණ්‍ය, පෞරුෂ සංවර්ධන හා මනෝ උපදේශිකා දීප්ති පෙරේරා ලියයි