දරුවො දෙන්නා දාලා ආයේ කොහේවත් යන්නෙ නෑ

රටම කතා කළ දරුවන්ගේ අම්මා තරුණීට කී සංවේදී කතාව
දෙසැම්බර් 12, 2022

 

මම රට ගියේ දරුවන්ට නොතෙමී ඉන්න කාමර දෙකක් හදාගන්නයි

 

දරුවන් ළඟට එන්න උදව් කළ හැමෝටම පිං.

 

මව විදෙස් රැකියාවකට කුවෙට් රාජ්‍යය බලා පිටත්ව යාම නිසා අසරණ වූ දැරියන් දෙදෙනාගේ කතාන්දරය දෙස පසුගිය සතියේ කාගේත් අවධානයට යොමුවූයේ එය එතරමටම සංවේදී නෙත කඳුලින් තෙත් කළ කඳුළු කතාවක් වූ නිසාමය.කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ඇති කුඩා නිවෙසක තනිව දිවිගෙවූ මේ දැරියන් දෙදෙනා සොයා ගිය දුෂ්කර ගමන තවමත් මතකය.

 

මැල්සිරිපුර බණ්ඩිපොළ ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක තනිව දිවිගෙවූ මේ දැරියන් දෙදෙනා එදා අප යනවිට උන්නේ කෑම පිසිමිනි. ඒ අතීත දුක්බර කතාව සැකෙවින් කියා හමාර කොට සතුටුබර කතාන්දරයකට පැමිණීමට මේ සියලු කතාව ඔබ වටහා ගැනීම රුකුළකි.

මේ පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකි.දියණියන් දෙදෙනාත් පියාත් මවු රටේ තනිකර නිලූෂිකා විදෙස් ගතවන්නේ මීට මාස එකොළහකට පෙරය. තම දියණියන් දෙදෙනාගේ මතු ජීවිතය එළි කිරීමත්, කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ඇති නිවෙස වෙනුවට සිහින කැදැල්ලක් ඉදි කිරීමත් නිලූෂිකාගේ එකම බලාපොරොත්තුව විය. ඒ සඳහා පහසුම මඟ ලෙස ඈ කුවෙට් රාජ්‍යය බලා පිටත්ව ගොස්්‍ රැකියාවක නිරතවීම තෝරා ගනු ලැබුවේ දහසක් කරදර බාධක මැදය.

කෙසේ හෝ ඇගේ බලාපොරොත්තුව ඉටු වෙමින් නිලූෂිකා කුවෙට් රාජ්‍යය බලා පිටව යන්නේ දියණියන් දෙදෙනාගේ පූර්ණ වගකීම තම සැමියාට පවරමිනි.

නිලූෂිකා කුවෙට් හි සේවය කරමින් එක්රැස් කළ මුදල්  නිවෙසට එව්වේ තමාගේ දරු දෙදෙනාගේ වැඩකටයුතු වෙනුවෙනි. නමුත් සිදු වූයේ ඈ සිහිනයකින් හෝ නොසිතූ දෙයකි. දහසකුත් එකක් දුක් විඳ ඈ එවූ මුදල් සියල්ලම සැමියා විසින් නැති නාස්ති කර තිබුණේ මත්වතුර පිපාසය සංසිඳුවා ගැනීම පිණිසය.

 

මේ කුඩා නිවෙසේ එන්න එන්නම කරදර වැඩිවූයේ තාත්තාගේ මත්වතුර පිපාසය නිසාමය. කලක් ගතවීමේදී පිරිසක් සමඟ ගැටෙන තාත්තා වෙනත් ප්‍රදේශයක් කරා පලා යන්නේ දරුවන් දෙදෙනා කුඩා අබලන් නිවෙසේ තනිකර දමමිනි.

මෙසේ තනිවූ දියණියන් දෙදෙනාට කිසිවකුගේ පිළිසරණක්, හවුහරණක් ලැබුණේ නැත.

"තාත්තා ගිය දවසේ ඉඳල අපි තනි වුණා. නංගිව බලාගන්න වගකීම මම ගත්තා. අපි දෙන්නා කෑම හදාගෙන වැඩ කරගෙන ජීවත් වුණා. මේ පුංචි ගේ අපට ඉන්න බෑ. හරිම තනියි. පාළුයි.

එදා ලොකු දූ නෙත්මිණි නෙත් කඳුළින් තෙත් කරගනිමින් අපට කී කතාව අදට ද සංවේදීය.

එදා අප මේ නිවෙසට ගොඩවනවිට ලොකු දූ සිඟිත්ත උන්නේ නැඟණියගේ කුස පුරවාලන්නට බතක් පිස පොල් සම්බෝලයක් සකසමිනි.

"කොහොමහරි අපේ අම්මාව ලංකාවට ගෙන්නල දෙන්න" මේ දරුවන් එදා රටෙන්ම ඉල්ලා සිටියේ එසේය. රටම කම්පාවට පත් කළ, සියලුදෙනාම සංවේගයෙන් බලා සිටි කතාන්දරයක් රට තුළ නිර්මාණය වූයේ එලෙසිනි.

වැස්සට තෙමෙන අව්වට වේලෙන අනාරක්ෂිත නිවෙසක තනිව දිවිගෙවන මේ කුඩා දැරියන් දෙදෙනා ගැන රටක් කතා කරන්නට වූයේ මේ පුවත සමඟිනි.

මේ පුවත සමඟ ක්‍රියාත්මක වූ කුවෙට් තානාපති කාර්යාලය සහ රට විරුවෝ සංවිධානය මේ මව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සංවිධානය කරනු ලබන්නේ මේ පුවත දැක බලාගැනීමෙන් පසුවය. කුවෙට් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පතක් මිලට ගැනීමටවත් මුදලක් අතනොවූ නිලූෂිකා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පෙර කී සියලුදෙනාගේ මැදිහත්වීමෙනි.

දැන් අප කියවන්නට සූදානම් වන්නේ මේ කතාන්දරයේ දෙවැනි පරිච්ඡේදයයි.

කුවෙට් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඈ කෙළින්ම ළඟාවන්නේ මැල්සිරිපුර බණ්ඩිපොළටය. එදා පාසල් දිනයක් බැවින් දරුවන් දෙදෙනා උන්නේ පාසලේය.තම අම්මා නිවෙසට පැමිණෙන බව ඒ සිඟිත්තියන් දෙදෙනා දන්නේම නැත.අවු කූටකය පොළව වෙළාගනිමින් ගිනිගහන මොහොතේ තම නිවෙසට ළඟාවූ නිලූෂිකාගේ නෙත නැවත කඳුළකින් තෙත් වූයේ මාස එකොළහක කාලයකදී තව තවත් ගරාවැටුණු ඒ පුංචි නිවෙස දුටු විටය. නිවෙසේ එළිපත්තේ අඩපියන් කවුළුව අසල ඈ බලා උන්නේ දරු දෙදෙනා පැමිණෙනතුරුය. කුඩා අඩිපාරෙන් පැමිණි දරු දෙදෙනා නිවෙසට ඇතුළුවත්ම දැකගත හැකිවූයේ දෑස් අදහාගත නොහැකි දසුනකි. එය අදහා ගැනීමට පවා මැළිවූ දෝණියන් දෙදෙනා මව සිප වැලඳ හඬන්නට වූයේ එදා උණු කඳුළින් පෙඟුණ කුඩා නිවෙස සතුටින් පුරවාලමිනි. පැය භාගයකට ආසන්න කාලයක් සතුට සහ ආදරය මිස වෙනත් කිසිදු වදනක් ඔවුන්ගෙන් පිටවූයේ නැත.මාස එකොළහක් නොලද මවු සෙනෙහස ඔවුන් රිසි ලෙස විඳිනු දැක සතුටු වූ අපද බොහෝ වේලාවක් බලා උන්නේ ඒ උත්තරීතර සෙනෙහසේ අරුමය දෙසය.

"කෙල්ල මගේ ගාණටම උස ගිහිල්ලා.මේ චූටියා දැන් ලොකුම ලොකුයි" මෙවැනි ආදරබර කතාන්දර අතර "අපේ අම්මා ගොඩක් කෙට්ටු වෙලා බලන්න අක්කේ" වැනි හිත පුරා හී අනින කතාන්දර ද ඒ අතරට එක්විය.

නිලූෂිකා ඇගේ කතාන්දරයේ අවසානය  සහ අලුත් පරිච්ඡේදයේ ආරම්භය අපට කියන්නේ මේ අතරය.

" ඇත්තටම මම රට ගියේ මේ අහිංසක දරුවො දෙන්න ගැන හිතල. අපි ගෙව්වෙ මහ දුක් බර ජීවිතයක්. වැස්සදාට බිත්ති දිගේ වතුර ඇවිත් මේ ගෙදරම පෙඟෙනවා. අව්වදාට ඒ වතුර හිඳිල ගෙදරම වේලෙනවා. එහෙමයි අපි ජීවත්වුණේ. අන්තිමටම කාමර දෙකක් හදාගන්න තමා රට යන්න තීරණය ගත්තේ. කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියල ඈ දරුවන් දෙදෙනා නැවත නොගිලිහෙන්නට වැරෙන් තුරුලු කරගනී.

 

දරුවො දෙන්න කොච්චර මතක් වුණත් මට එන්න විදියක් තිබුණෙ නෑ. ටිකට් එක හදාගන්න එක තමා ලොකුම ප්‍රශ්නය. මේ ප්‍රවෘත්තිය දැකල ගොඩක් අය මට උදවු කළා. කුවෙට් තානාපති කාර්යාලය වගේම රට විරුවෝ මට ආයේ එන්න ගොඩක් කැප වුණා. කොහොමහරි මං ආයේ මගේ දරුවො දෙන්න ළඟට ආවා. දැන් මගේ හීනය ආයෙමත් කාමර දෙකක් හදාගන්න එක. මොනව වුණත් ආයේ දරු දෙන්න දාල කොහේවත් යන්නෙ නෑ. අම්ම කෙනෙකුට ලොකුම සම්පත දරුවෝ. මම ගියේ එයාලගෙ අනාගතය එළිය කරන්න.

 

ඇගේ හැඟුම්බර හැඬුමෙහි නිමාවක් නැත.කෙසේ හෝ ඇයට දරුවන්ගේ උණුහුමට නැවත පැමිණීමට කැපවීමට ලැබීමේ සතුට මාද මේ හැඟුම්බර මොහොතේ විඳිමින් සිටිමි. මේ දුක්බර කතාවේ මේ මොහොත සතුටුදායකය. නමුත් ඒ සතුට සදාතනික වන්නේ ඇගේත් දරුවන්ගේත් හිසට වහලයක සිහිනය සැබෑවූදාට පමණි.

මේ අම්මා දෙස සමාජය විවිධ විශ්ලේෂණ කළ හැකිය. නමුත් ඈ මේ ගෙවෙන මොහොතේ ද අසරණය. අවසානයේ ලියා තැබිය යුත්තේ එය පමණකි.

 

 

සටහන සහ ඡායාරූප

සීගිරිය විශේෂ

කාංචන කුමාර ආරියදාස