වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇරැඹුමම කඳුළක් විය යුතු ද?
තවත් පෙබරවාරි 14 වැනි දිනයක් ඉකුත් සතියේ ඉකුත් වුණා. ඇත්තටම මේ පෙබ. 14 දිනයත් සමහරුන් තමන්ගේ ජීවිතයේ වටිනාම තිළිණය ලැබුණු දිනය කරගන්න උත්සාහ කරන්න ඇති.
විශේෂයෙන්ම ඒ තරුණ පරම්පරාවේ අයයි. ඒත් ඇත්තටම එහෙම වෙනවද කියන එක ඇතුළේ තියෙන්නේ ඛේදවාචකයක්. ආදරය හා ආදරය කරන අයට විශේෂ එක දිනයක් විතරක් තියෙනවා කියලා හිතන එකේම අවුලක් තියෙනවා.
කොහොම වුණත් මේ ආදරය මුල්කරගත් දවසේ ජීවිතයේ ලැබිය යුතු හා ලැබිය හැකි වටිනාම තිළිණ බොහොමයක් අහිමි කරගන්නා තරුණ තරුණියෝ විශාල පිරිසක් ඉන්න බව නම් කරුණු සොයා බැලුවහම පේනවා.
මේ අය අධ්‍යාපනයේ හරි, රැකියාවේ හරි සීමාමායිම්, ඉලක්ක හඹා ගිහිල්ලා ආදරයේ වේදනා විතරක් නෙමේ ජීවිතේ දුක් ගංගා තුළ ගිලෙන නිසායි. ඒත් ඒ බව හැම අවුරුද්දකම කුළුඳුල් ආදරවන්තයන්ගේ දිනය සමරන හුඟදෙනක් දන්නේ නැහැ.
අද වනවිට පෙබ. 14 කියන දිනය පාසල් යන වයසේ ඉන්න දරුවෝ හුඟදෙනකුගේ ජීවිත විනාශ කරන දිනයක් වෙලා. ඒ වගේම අද මේ දිනය සතුටින් බුක්ති වින්ද හුඟදෙනකුට තව අවුරුද්දකින් දෙකකින් මේ දිනය ජීවිතයේ කාලකණ්ණි එපාම කරපු දිනය බවටත් පත්වෙනවා.
ඒ හරි අවබෝධයක් ජීවිතේ ගැනවත්, ආදරය ගැනවත්, අනෙකා ගැනවත් නැතුව හුදු විනෝදය, සතුට මත පමණක් ආදරවන්තයන්ගේ දිනය සමරන ඔවුන් මේ දවසෙදි හෝටල් කාමර හොයනවා.
ඒ විතරක් නෙමේ කලින් සතියේ තරුණී පුවත්පතේ කතුතුමිය කියපුවා දකින්න ඇති. මේ දවසේ ඖෂධහල්වලට පැමිණෙන පාසල් යන වයසේ දරු දැරිවියෝ ගැබ්ගැනීම වළක්වන බෙහෙත් පෙති මිලදී ගන්නා බව.
මේ වාතාවරණය මේ දිනයට පමණක් සීමා නොවුණත්, මේ දිනය දා මේ තත්ත්වය සිය දහස් ගුණයකින් ඉහළ යන බව විවිධ තොරතුරුවලින් හැඟෙනවා.
ඖෂධ පෙති ලබාගෙන ඇතිවිය හැකි යම් ඵලයක් වළක්වාගන්නට මේ තරුණ තරුණියන් උත්සාහ ගත්තත් ඵලය ඇතිවන හේතුව ඔවුන් ළඟ ඉතිරි වෙනවා. ජීවිතයේ නිසි පියවර පසුනොකර ඉදිරි පියවර තැබීම තුළ අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට අනාගතය තුළ මුහුණ දෙන්න සිදුවිය හැකි බව හුඟ දෙනකුට අමතකයි.
මේ පෙබ. 14 තමන්ගේ හිරිඔතප්, සීමාමායිම් බිඳගත් දරුදැරිවියන් යොවුන් වියේ ශරීරය තුළ සිදුවන රසායනික උත්තේජනයත් සමඟ දිගින් දිගටම මේ නව අත්දැකීමේ රස වින්දනය සොයා ඉගිලීම නොවැළැක්විය හැකියි.
එවැනි පෙම් සබඳතා බොහෝවිට මාස කීපයකින් බිඳී යනවා. ඇරඹුමම කඳුළක් වූ නිසාවෙන් වෙනකකු සමඟ හෝ ඊළඟ පෙබ. 14 දින ලැඟුම් හල් කරා යාම විලාසිතාවක් වීම දැන් දැකිය හැකියි. පාසල් වියේදී මෙවන් අත්දැකීමකට උරුම ලද දරුවන්ගේ අනාගත ජීවිතය සුවබර යහපත්, සාර්ථක එකක් වේයැයි සිතීමත් සිහිනයක්.
අවුරුදු 15-16 වයසක ඇති හැම දුවකුටම තමන්ගේ ලැජ්ජාව බිය තිබිය යුත්තේ කුමකටද යන්න කියාදෙන්නට අම්මාවරුන් කල්පනාකාරී විය යුතුයි. එය එසේ නොවුණහොත් තම දියණියගේ ඉදිරි දිවියම අඳුරේ අනතුරේ හෙළී යාහැකි බව ඔවුන් තේරුම් ගත යුතුමයි.
වැරැදීමට පෙර ඔවුන් ඉන් මුදාලීමට එක වචනයක්වත් පිට නොකළ මවුපියවරුන් වැරැදුණු පසු දහසක් දේ කියති. කඳුළු වගුරවති. ඉන් ලැබෙන ඵලය කුමක්දැයි නැවත නැවතත් හිතා බැලිය යුතුමයි.
කළ වැරැදි වසා ගැනීමේ විවිධ ක්‍රම ඇත. තරුණ දරු දැරියෝද මේ ගැන හොඳාකාරවම දනිති.
එහෙත් වැරැදි වසාගත්ත ද ඒ වයසේ ප්‍රතිඵල ජීවිත කාලය පුරා ඔවුනගේ ජීවිත පසුපස හඹා එන බව අවබෝධ කළයුතුයි. ජීවිතයේ අනුපිළිවෙළට පසුකළයුතු යම් යම් පියවර ඇතිබව දූදරුවන්ට අවබෝධයක් ලබාදිය යුතුයි.
ඉගෙනුම, රස්සාව, පරස්තාව ලෙස අපේ පැරැන්නන් අනුපිළිවෙළක් පෙන්වා දුන්නේ මේ ජීවිතයේ දුක්කම්කටොළු හැකිතරම් අඩුකරගනු පිණිසම විය හැකියි.
අද තරුණ දරු දැරියෝ ප්‍රේමය, ආදරය මතුපිට අතපතගෑම මූලිකව සිදුකරන්නේ යුගයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය හා ගීතවලින්. මේ නිසාම ඔවුන් වැඩිපුරම හැඟීම් තුළ බුද්ධිය සඟවයි.
ආදර හැඟීම් උද්දීපනය කරන්නටම නිර්මාණය කළ ප්‍රේමණීය ටෙලිනාට්‍ය හා ගීතවලින් ප්‍රේමයේ මුල් පොත් කියවන අපේ බොහෝ තරුණ දරු දැරියෝ ආරම්භය අවසානයෙන්ම පටන් ගනිති.
ඒ සඳහා සංකේතාත්මකව වැදගත් දිනයක් වන පෙබ. 14 දිනය යොදාගනිති. මේ නිසාම ප්‍රේමය ඇරැඹී හමුවන මුල්ම පෙබ. 14 දින ඔවුන්ගේ නැවතුම හෝටල් කාමරයක් වීම අරුමයක් නොවේ.
2019/02/20 තරුණි බලන්න.