ආදරය දෙන්න ආදරය පතුරන්න

Give Love Spread Love
පෙබරවාරි 27, 2019

ජීවිතය, මෙය විවිධ ආකාරයෙන් අප සියලු දෙනාටම හොඳ, නරක, යස, අයස, නින්දා, ප්‍රසංසා ගෙන එන නොනවතින ක්‍රියා දාමයකි. මෙම අටලෝ දහමට කම්පා වන හෝ සතුටු වන සමාජය ඉතා වේගයෙන් දිවයන්නේ අනාගතය සුබවාදී කරගැනීමට පමණක් නොවේ ද?

සමාවන්න, හඳුන්වා දීමට මා කවුදැයි යන බව, මම තිළිණි මාදවන්ආරච්චි. ජීවිතය හා බැඳුණු බොහෝ කරුණු ගැන කතා කරන පුහුණුකරුවන් අතරින් කෙනෙක්.

පුහුණුකරුවන් ඉතා විශාල ගණනක් සිටින අප ශ්‍රී ලංකාවේ මා කියාදීමට, ලිවීමට අදාළ කරගන්නේ ජීවිතයේ වටිනාකම් රැකගනිමින් ඔබ තමන්ට අවශ්‍ය ජීවිතය ළඟාකර ගන්නේ කෙලෙසද යන බවයි. අදින් ඇරැඹෙන මෙම ලිපි මාලාව මඟින් මෙතෙක් ඔබ නුදුටු, ඔබ නොසිතූ පැත්තකට ඔබේ සුන්දර ජීවිතය එක් අඩියකින් හෝ ඉදිරියට රැගෙන යාමට හැකිනම් පෞද්ගලිකව මා ලබන ජයග්‍රහණය එයයි. පුවත්පතක එක් කාර්යයක්ද වන්නේ ද එයමයි..

නැවතත් අපගේ පෙර කතාවට පැමිණෙමු.

ජීවිතය යනු තණ අග පිනිබිඳක් බව ඔබ මා මේ මොහොත වන විට අත්විඳ ඇත. පැය 24 න් පැය 18 කට වඩා බුදු බණ අසන අපි ඒ බණ අසන්නේ පුරුද්දකට මිස යහපත් යමක් ඉන් ජීවිතයට එක්කර ගන්නවාද? එක බණ පදයක් ජීවිතයට ළඟාකර ගන්නවා ද? හොඳින් සිතා බලන්න. ඔබ, මම පුරුද්දක් ලෙස ඒ බණ අසනවා ඇත.

ඉතා දියුණු මනසක් උරුම “මිනිසා” ඒ දියුණු මනස කොතෙක් දුරට භාවිත කරනවා දැයි ඔබ සිතා බලන්න. උදාහරණයකට “සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාධියාමි” මේ ශික්ෂා පදය පිළිගන්නා අප “සුරාව“ නොකළයුත්තක් බව දනී. ඒ අපට ඇති (දී ඇති) දැනුම මඟිනි.

නමුත්, ඒ දැනුම අප මොළයට යොමුකරමින් එය අපගේ සිතිවිලි රටාව සමඟ එක්වී එය චර්යයා රටාවට පැමිණිය යුතුය. සිද්ධාන්තයක් ලෙස සුරාව නුුසුදුසු බව අප පිළිගනියි. නමුත් මානසික තත්ත්වය සමඟ එකතුවන එම සිතිවිල්ල අපගේ චර්යාවට එක් නොවන්නේ මන්ද? අධ්‍යාපනයේ පරමාර්ථය එයයි. නමුත් මෙම ක්‍රියාව සිදුනොවන්නේ මන්ද? ඔබගේ අධ්‍යාපනය හා චිත්ත වේග පද්ධතිය එක සමාන නොවීම මීට හේතුව බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

ඉතින් ඔබ හා මම අපගේ පුරුදු තුළින් ඉතා සුළුවෙන් හෝ වෙනස් වියයුතු බව වැටහෙනවා නේද?

මෙය එක් පැයකින්, එක් දිනකින් කළ නොහැකි බව ඉතා පැහැදිලි කරුණකි.

සැබැවින්ම මෙය ජීවන ක්‍රමයකි. මෙම වෙනස එක් සම්බන්ධතාවයකට, එක් මොහොතකට සීමා කළ නොහැක.

එසේ කළ විට ඒ වෙනස සාර්ථක වන්නේ නැත. එබැවින් ඉතාමත් සරල ඉතාමත් ප්‍රායෝගික ක්‍රමය වන්නේ මෙය ජීවිත රටාව කරගැනීමයි.

“ජීවිතය” යනු මෙම මොහොතයි. ඔබ, මට අවශ්‍ය ජීවිතය නම්, එම ජීවිතය සතුටින් සිටීමට හැකි සුළු හෝ දෙයක් අප මඟහැරිය යුතු නැත.

මේ මොහොත යහපත්ව, හොඳින් ගෙවන්නේ කෙලෙසද යන්න ඔබ සිතිය යුතු පළමු කරුණයි.

මගේ හැසිරීම සහ මගේ කතාව මඟින්, තවත් කිසිම කෙනකුට වරදක් සිත් රිදීමක් නොවන තාක් ඔබට රාත්‍රී නින්දට යන විට සුවසේ ඇස් පියාගත හැකි නොවේ ද?

 

2019/02/27 තරුණි බලන්න.