වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අනාගත අභියෝග හමුවේ කාන්තාව
ගෙදර හරිම කලබලයක්.
මද්දු පුතාගෙ වෙඩින් එක අත ළඟ.
ගෙදර මංගල සිරියෙන් ඉතිරිලා. පැතිරිලා.
ලොකු අයියා කසාද බැන්දෙ නම් චාමෙට.
“දැන් හරිද මනමාල මහත්තයෝ වැඩ ටික..?”
“ඔක්කොම හරි ලොකයියෙ. හොටෙල් එක, හනිමූන් කාරෙක බුක් කළා. බෙස්ට්මන්ලගෙ, මල් කුමාරයින්ගෙ ඉඳල හොටෙල් සැරසිලි, මල්වෙඩි, සර්ප්‍රයිස් වැඩ, අරව මේව ඔක්කොම හරි. කෑම බීමත් මෙනු එක හරි. බීමට ටිකක් වැඩියෙන් යාවි. ඒ වුණාට කමක් නෑ. නාන්න දෙනවා.
ලෝකෙටම ණය වුණත් ගමේ උන්ට ඇඬෙන්නම මං මඟුල ගන්නවා. උන් හිතන්නෙ අපි සොක්කොය කියලා. කෙල්ලට හම්බවෙන දැවැද්දෙන් ඔක්කොම ණය ගෙවනවා.. සිම්පල් ලොකයියෙ..”
ඔය කතාව මඟුලට කලින්. ඒත් මඟුල ඉවරවෙලා මාසයක් ගියේ නෑ. මහගෙදරත් රණ්ඩු. අලුත් ජෝඩුව අතරෙත් රණ්ඩු. දෙනව කියපු දෑවැද්දෙන් අරික්කාලක්වත් නෑ. මනමාලි නැන්දම්මගෙන් වහංගු වෙලා ඇඬු කඳුළින්. මනමාලය පුප්ප ගත්තු ගමන්.
“මං කිව්ව මද්දුට. ලොකු පුතා වගේ වැඩේ චාම් පහට කරමු කියලා. ණය තුරුස් නොවී. කෝ.... මහගෑනිගෙ පටන් ගෙදර ගෑනු ටික ඔක්කොම කිව්වෙ මිනිස්සු හිනාවෙයි කියලා චාමෙට මඟුල ගත්තහම. දැන් ඉතින් උඹල අඬපල්ලා...”
තාත්තා ත්‍රීවීල් එක ස්ටාර්ට් කරගෙන කඟවේනා වගේ පාරට දැම්මා.
ලස්සනට වැඩ කරන්න අකැමැති මොන ගෑනිද? ඒ මොනව කළත් තේරුම් ගන්න ඕනෑ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න.
මේ ගෝලීය සමාජය ඇතුළේ කාන්තාව කොහොමද පසු නොබසිමින්ම ඉදිරියට යන්නේ.? අනාගත අභියෝග ජයගනිමින් කොහොමද ඇය ගිරිදුර්ග තරණය කරන්නෙ. ප්‍රශ්න ගොඩක්.
කාන්තා දිනය වෙනුවෙන්, විද්වත් කාන්තාවක් මේ සාකච්ඡා මණ්ඩපයට එකතු කරවාගැනීමේ අවශ්‍යතාව අපට ප්‍රබලව දැනුණා.
ඒ කාන්තාව තමයි ඔබත්, මමත් හොඳින් හඳුනන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කුමුදිනි වසන්තා සුබසිංහ මහත්මිය. ඇගේ හරබර වටිනා කාලෝචිත අදහස්වලින් පෝෂණය ලබන්න ඔබට හැකිනම් ඇත්තටම ඔබ හෙට දවස ජයගන්නා ජයග්‍රාහී කාන්තාවක් වනු නිසැකයි.
මේ, මහාචාර්ය කුමුදුනි වසන්තා සුබසිංහ මහත්මිය.
“දැන් අපි දකින කාන්තාව සාම්ප්‍රදායික කාන්තාවකට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න කෙනෙක්. එයාට ලෝකය එක්ක ගැටෙන්න තිබෙන ප්‍රවණතාවයන් වැඩියි. ඒක නිසාම එයාට අභියෝගත් වැඩියි. අනාගත අභියෝග අල්ලේ තියාගෙන සිටින මේ කාන්තාව ඒ අභියෝග ජයඅරගෙන ඉදිරියට යන්නෙ කොහොමද කියන එක ගැන අපි කතා කරමු.
සත්‍ය සොයා යෑම
අපේ සමාජයේ තියෙනවා විද්‍යමාන නොහොත් ව්‍යාජ ප්‍රදර්ශන පරිභෝජනය කියලා එකක්. ඒ කියන්නෙ අපේ සැබෑ අවශ්‍යතාවන් නෙවී අපි පාවිච්චි කරන්නෙ. කෑම, බීම, ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් වගේ දේවල් තමයි අපේ සැබෑ අවශ්‍යතාවන්. නමුත් ඊට පරිබාහිරව අපට තිබෙනවා විවිධ අන්දමේ දුරකථන පහසුකම්, වෙළෙඳ සංකීර්ණ, අන්තර්ජාල පහසුකම්, ක්‍රෙඩිට් කාඩ් වර්ග ආදී කී නොකී පහසුකම් රාශියක්.
හැබැයි, ඒවා අපට ලෝකයට හඳුන්වා දුන් අයගෙ පරමාර්ථය තමයි වඩා ඵලදායී විදියට ඒවා පරිහරණය කළ යුතුයි කියන එක. නමුත් අපි ඒවා පරිහරණය කිරීමේ දී අසීමිතව ඒවා පාවිච්චි කරනවා. දුරකථනයටත් සීමාවක් නෑ. ඕපාදූප, පල්හෑලිවලටම අපේ කාලයෙන් බොහෝ කොටසක් මිඩංගු වෙනවා.
වෙළෙඳ සංකීර්ණවලට ගිහින් අවශ්‍ය, අනවශ්‍ය හැමදේම බදාගන්නවා. ඇඳුම් පැලඳුම් තියෙද්දි තව තවත් ගෙනත් ගොඩ ගහගන්නවා. ක්‍රෙඩ්ට් කාඩ් එක පාවිච්චි කරන්නෙ පහසුවට වුණත් අන්තිමේදී අපට ඒ ක්‍රෙඩිට් කාඩ් එකත් මහම මහ හිසරදයක් වෙන වෙලාවල් තියෙනවා.
ඔන්න ඔවැනි දේවල්වලට තමා අපි කියන්නෙ ව්‍යාජ පරිභෝජනය නොහොත් ව්‍යාජ ප්‍රදර්ශන පරිභෝජනය කියලා. තමන්ට පරිහරණය කරන්නට අපහසු තරමට ගෙවල් දොරවල් තනාගැනීම, හැරෙන්නවත් බැරි තරමට ගෙවල් දොරවල්වල බඩුමුට්ටු පුරවාගැනීම, ලස්සනට ගත්තාට, ගෙදර ගෙනල්ලා බැලුවාම එපාවන තරමට ඇඳුම් පැලඳුම් ගොඩගසා ගැනීම ආදී සියල්ලම ව්‍යාජ පරිභෝජන තත්ත්වයටයි වැටෙන්නේ.
එහිදී කාන්තාවන් වශයෙන් අපි තේරුම් ගත යුතුයි සැබෑ පරිභෝජනය කියන්නේ මොකක්ද කියන එක.
කාලයත්, ශ්‍රමයත් වැය නොවන අන්දමට පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් අන්දමට නිවාස සහ බඩුබාහිරාදිය තෝරා ගැනීම, දැක්ක ගමන් හිත වැටුණත්, තවත් ටිකක් දුරට හිතලා අවශ්‍යම කරන දේවල් පමණක් මිලට ගැනීම, කාලය නැති නාස්ති කරවන දුරකථන පණිවුඩවලම එල්ලී නොසිටීම, මුදල්වලට ඔහේ ඉබාගාතේ පියාඹන්නට නොදී අනවශ්‍ය දේ බැහැරකර අවශ්‍ය දේ පමණක් මිලට ගැනීම, විශේෂයෙන් ණයගැනීම වැනි දේවල් අවම කරගැනීම මුදල් ඉතිරියක් ගැන උනන්දු වීම ආදී දේවල් සැබෑ පරිභෝජනය ගණයටයි වැටෙන්නේ.
මේ සැබෑ පරිභෝජනය කෙරේ උනන්දුවක් දක්වන හැම කාන්තාවක්ම ඇත්තටම සත්‍ය සොයායන ගැහැනියක් වෙනවා.
සාර්ථකත්වයේ රහස
දැන් බලන්න සාර්ථක මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බැලුවොත් අපට දැනගත හැකියි ඒ සාර්ථකත්වයට අඩිතාලම වැටුණේ කොහොමද කියන එක.
ඇත්තටම එවැනි අය බොහෝ දෙනෙක් කලින් නින්දට යනවා. කලින් නැඟිටිනවා. අපි කොහොමද? අපි ඈනුම් ඇර ඇර ටී.වී. එකේ අන්තිම වැඩසටහනත් බලලා තමයි නිදාගන්න යන්නේ. ඊටපස්සේ දවසේ වැඩ ඔක්කොම අවුල්. දරුවන් ඉස්කෝලවලට යවන්න ප්‍රමාද වෙනවා. සැමියා වැඩට යනකොට කෑම එකක් දෙන්න බැරිවෙනවා උයාගන්න බැරිවෙච්ච නිසා. ඔය අතරට සිදුවෙන තව තවත් බාධක ගොඩයි.
සැමියාට විතරක් නොවේ. දරුවන්ට ඉස්කෝලවලට ගෙනියන්න දෙන්න සිදුවෙන්නෙත් කඩකෑම. රෝල් එකක්, කට්ලට් එකක් ගෙනත් දෙනවා. ඉඳිආප්ප මුලක් හරි පාන් කෑල්ලක් හරි ඔතලා දෙනවා. දරුවන්ට එවැනි කෑම ඵලදායී නොවී බඩේ අමාරු, වමනය වගේ ආසාදන ඇතිවිය හැකි ප්‍රවණතාවත් වැඩියි. වැයවෙන මුදල්. ඒව වැටෙන්නෙත් මේ චජජධභදබ එකටම තමයි.
රාත්‍රී නවයට නිදාගෙන, හිමිදිරියේ හතරට නැඟිටින්න ඇත්නම් හුඟාක් හොඳයි. මොකද නින්දත් අපට අවශ්‍ය එක්තරා විවේකයක්. දිගටම නොනවත්වාම වැඩ කරන ඇංජිමක් වුණත් අකර්මණ්‍ය වෙන්න තිබෙන ප්‍රවණතාව වැඩියි. මිනිස් සිරුර වුණත් එහෙමයි.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ
අපි පරිහරණය කරන දේවල්, කන බත් කට, අඳින ඇඳුම පැලඳුම ඔය ආදී ඒ හැම එකක් තුළම තියෙන්නෙ ව්‍යාජ පරිභෝජනයක්. දැන් බලන්න කාන්තාවන් ගොඩක් කැමැතියි රත්තරන් බඩුවලට. ඇයි ඒ ඒවා පලඳින්නෙ...? එකක් ලස්සනට. අනික එයින් අපිට එනවා පොඩි ආලෝකයක්. තවත් කාරණයක් තමයි ලෙඩකදි, දුකකදි අපිට මුදලක් අතේ නැතිනම්, රත්රන් බඩුවක් අපට ඒ මුදල හා සමානයි නේද? අපි විලාසිතාවලට ආසයි. ඒක තමයි කාන්තා ගතිය. නමුත් මං කියන්නෙ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලයි.
තරුණි 2019/03/06 බලන්න.