වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සාප්පු සවාරි යන්න ද සූදානම ?
මොන තරම් ආර්ථික ගැටලු තිබුණත් අවුරුද්දට අලුත් ඇඳුම් ටිකක් ගන්න කවුරුත් උනන්දුයි. මේ කාලේ තමයි වැඩිපුරම අපේ ගෘහණියෝ අවුරුද්දට රෙදි ගන්න, තෑගි භෝග ගන්න සවාරි යන්නේ.
ඒ නිසාම වෙළෙඳ ව්‍යාපාරික ආයතවලත් තමුන්ගේ බඩු විකුණා ගන්න විවිධ උපක්‍රම යොදනවා.
මේ වෙළෙඳ උපක්‍රම ගැන දැනගන්න අපි පිටකොටුවේ කඩ සාප්පු කිහිපයක දින කිහිපයක්ම සැරිසැරුවා. එහිදී එම කඩසාප්පුවල සිටින වෙළෙඳ සේවක මහතුන් හෙළි කළ වෙළෙඳ උපක්‍රම හරිම වටිනවා. ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පැවසූ මේ තොරතුරු දැනගෙන ඔබත් බඩු ගන්න සවාරියේ ගියොත් ගෙදර ගිහින් පසුතැවෙන්න වෙන්නේ නැහැ.
අපට මේ සංචාරයේදී මුලින්ම හමු වුණේ දෙවැනි හරස් වීදියේ රෙදි සාප්පුවක වෙළෙඳ සේවක ජේ. ගුණසේකරම්. ඔහු අපට හෙළි කළේ පදික වේදිකාවේ නැතිනම් පේව්මන්ට් එකේ රෙදි ගැන.
'මේ අවුරුදු සීසන් එකට වැඩිපුරම සරොම්, ෂර්ට්, චීත්ත රෙදි තමයි විකිණෙන්නේ. පේව්මන්ට් එකේ හැම තැනම තියෙන්නේ රෙදි තමයි. කෝක තෝරා ගන්න ද කියලා හිතා ගන්නත් බැහැ. ඔක්කොම රෙදිවල ලේබල් එක වගේ. රුපියල් 300 - 400 ඉඳන් රුපියල් 2000 - 3000 තෙක් තියෙනවා. හැබැයි මේ රෙදිවල කොලිටි එක වෙනස්. රෙදිත් වෙනස්. සමහර තැන්වල ලොට් සේල් . . . ලොට් සේල් කියලා තමයි විකුණන්නේ. හිතාගන්නත් බැහැ අඩුයි. හැබැයි එහෙම විකුණන බඩුවල හරි රෙදි කඩවල අවුරුදු ගාණක් පරණ වුණු කෑලි තමයි. හුඟක් කඩවලට තොග පිටින් බඩු පිටරටින් එක්ස්පෝට් කළාම සමහර කෑලි ඉතුරු වෙනවා. ඒ කෑලි අවුරුදු ගාණක් ස්ටෝස්වල තිබුණාම නූල් දිරනවා. ඩැමේජ් වෙනවා. ඒ අය කරන්නේ සීසන් එකට ඒ බඩු කාට හරි තොගයම විකුණනවා. ඒ විකුණපු කෑලි තමයි ලොට් සේල් කියලා විකුණන්නේ.
සමහරු කරන්නේ මේ ඩැමේජ් කෑලි අයින් කරලා අලුත් කවරයකට දාලා ලේ්බලේකුත් ගහනවා. ඊට පස්සේ කාටද හොයන්න පුළුවන්. ඒ අය කරන්නේ පේව්මන්ට් එකට දාලා විකුණනවා. එක දවසේ බිස්නස් . . . බඩු ඉවරයි. දෙවැනි දවසේ නැහැ.
පේව්මන්ට් බිස්නස් කියන්නෙ ඒකට තමයි. සමහරු කරන්නේ බඩු ටික දාලා වටේට තමුන්ගේම යාළුවෝ පහක් හයක් වට වෙලා බලනවා. එතකොට පාරේ යන උදවියත් එකතු වෙනවා. දැන් වැඩේ නැගලා යනවා. සෙනඟ පොරකනවා.
මේ යාළුවන්ට හවසට කීයක් හරි දෙනවා. මේ විදිහට තමයි පේව්මන්ට් එකේ බඩු විකුණන්නේ. මේ වගේ සෙනඟ අතරේ තෙරපෙන කොට තමන්ගේ පර්ස් එකටත් ගහන්න පුළුවනි. ඒ වගේ ගේම් තමයි ඔක්කොම.'
පිටකොටුවේ කෙයිසර් විදියේ තවත් රෙදි අලෙවි සාප්පුවකදී හමු වුණේ නවුෆර් මීසාන්. ඔහු සඳහන් කළේ රෙදිවල වටිනාකම ගැන.
'කොළඹට එන හුඟ දෙනෙක් තොග තමයි ගන්නේ. ඒක ටිකක් වාසියි. සමහර කඩ හෝල් සේල් විතරයි. කෑලි 2 - 3 ක් දෙන්නේ නැහැ. මේ කඩවල මුදලාලිලා දන්නවා තොග ගන්නේ කවුද කියලා. සමහර නෝනලා වැඩ කරන ගමන් රෙදි ගන්න එනවානේ. ඒ අයට ටිකක් මේ කඩවලින් රෙදි ගන්න අමාරුයි. අපේ වෙනම භාෂාවක් තියෙන්නේ. කෑලි 6 කට වැඩිය ගන්නවා නම් තොග මිලට දෙනවා. එහෙම ගන්නකොට මෙටීරියල් එක ගැන දැනගන්න ඕනේ. කොට්න් කියලා පොලියෙස්ටර් දෙන්න පුළුවන්. ඒ නිසා රෙදි ගැන දන්නේ නැතුව රෙදි ගන්න ආවොත් තොගයක් ගත්තත් අහුවෙනවා. මේකට හොඳම ක්‍රමය තමයි කඩ කිහිපයක ගණන් බලන්න ඕනේ.
එතකොට එක කඩයක ගාන තවත් කඩයකට වඩා අඩු බව දැනගන්න පුළුවන්.
මේ සවාරියේදී අපට හමුවුණු තවත් වෙළෙඳ ව්‍යාපාරික මහතෙක් සඳහන් කළේ තරමක් වෙනස් අදහසක්. ඔහුගේ නම නිමල් ගුණපාල.
'දැන් පේව්මන්ට් එකේ ගැට කපන අය අඩුයි. හැබැයි එහෙම කියලා තමුන්ගේ පර්ස් එක හෑන්ඩ් ෆෝන් එකේ පරෙස්සම ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ.
හොරු දන්නවා කොළඹට අලුත් කවුද කියලා. ඒ අය කරන්නේ කොහොම හරි කතාවට අල්ලා ගන්නවා. ඊට පස්සේ හදිසි කෝල් එකක් අරගෙන දෙන්න කියනවා. ඊට පස්සේ හොරා ෆෝන් එකත් අරගෙන දුවනවා. ඔය වගේ සිද්ධි තමයි මේ දවස්වල වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා හඳුනන්නේ නැති කිසිම කෙනෙක් එක්ක කතාවට යෑම දැන් කාලේ භයානකයි. සමහරු හිතන්නේ මේ අය කතා කරන්නේ අපට උදව්වට කියලා. නමුත් එහෙම උදව් කරන අය හරිම අඩුයි.'
අපේ සංචාරයේදී කොළඹ චාමස් රථ ගාලේ සේවක මහතෙකුත් හමු වුණා. ඔහු සඳහන් කළේ ඉතාම වැදගත් තොරතුරු ටිකක්.
'මේ සීසන් එකට අපේ මේ කාර් පාක් එක පිරෙනවා. වාහනයක් ඇතුළට දාලා එළියට එන්න පැය ගාණක් ගත වෙනවා. ඒ අතර අමුතු තාලේ හොරුන් ඉන්න පුළුවන්.
මේ කාලේ ත්‍රිවිල්, මෝටර් සයිකල්, කාර්වලින් එන එක හරිම අමාරුයි. හොඳම පිළියම තමයි කිහිප දෙනෙක් එකතු වෙලා වෑන් එකක් වගේ එකක එන එක. නැත්නම් පොදු ප්‍රවාහන සේවයක ආවොත් රස්තියාදුව අඩුයි. මේ කාලෙට වැඩිපුරම කොළඹට වාහනවල එන්නේ කොළඹින් පිටත කඩ සාප්පුවලට තොග බඩු ගන්න.
ඒ අය ලොරියක්, වෑන් එකක එන්නේ බඩු තොගයක් ගන්න. නමුත් එක ගෙදරක දෙන්නෙත් විතර එනකොට තමුන්ගේ වාහනයක ආවොත් ගමනටම කාලය ගත වෙනවා. ඒ නිසා හොඳම දේ හැකි තරම් උදේ රථවාහන තදබදය ඇති වෙන්නට පෙර කොළඹට පැමිණීමයි. එහෙම ආවොත් ඔබට කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.'