ලොව අංක එකේ ධනවතාගෙන් ඔබටත් පාඩම්

මැයි 22, 2019

සාර්ථකත්වය ට කැමැති අය නිරන්තරවම සිතන්නේ ජීවිතය දිනන්නයි. ඒ සඳහා ඔවුන්ට බොහෝවිට මඟ පෙන්වන්නේ නව්‍ය අදහස්ය. එහෙත් නව්‍ය අදහස් ඇතිවූ පමණින් ජීවිතය දිනන්නට හැකිවන්නේ නැත. ඒ සඳහා එම අදහස් ක්‍රියාවට නැංවිය යුතුය.

ගැටලුව ඇතිවන්නේ එතැනදීය. එයට හේතුව වන්නේ අලුත් අදහසක් මතුව ආවත් එය ක්‍රියාවට නැංවීමට බොහෝ පිරිසක් බිය වීමය. “ඒ අදහස වැරැදේවි ද?, සමාජය කුමක් කියාවි ද?, තියෙන සල්ලි ටිකත් නැති වේවිද?, මිනිස්සු මට හිනා වේවිද?, අද බෑ හෙටවත් බලනවා, තව මාසයකින් විතර වැඩේ පටන් ගන්නවා, කෝ අතේ සතේ නැතුව මේක කොහොම පටන් ගන්නද? පවුලේ අය බණීවි ද?” ආදී විවිධාකාර හේතු නිසා අලුත් අදහස් ඇතිවුවද ඒවා පල දරන්නේ නැත. ඕනෑම අදහසක් සාර්ථක වන්නට හෝ අසාර්ථක වන්නට නම් පළමුව එය ක්‍රියාවට නංවා බැලිය යුතුයි. ක්‍රියාවට නංවන්නේ නැතිව එයින් සිදුවන දේ පුරෝකථනය කරන්නේ කෙලෙසද?

ජීවිතය දිනන්නට සිතන මිනිසුන් වැරැදීම්වලට බිය වන්නේ නැත. පාඩු සිදුවුව ද ඒවා ගණනකට ගන්නේ ද නැත. ඔවුන් හැමවිටම උත්සාහ කරන්නේ සිය අලුත් නිර්මාණශීලී අදහස කෙලෙසකින් හෝ ක්‍රියාත්මක කර බැලීමටය. එහෙත් ඒවා ක්‍රියාත්මක කළ පමණින්ම සාර්ථකත්වය හිමිවන්නේ ද නැත. සමහරවිට ඒ අදහස වරදින්නට ද පුළුවනි. එහි අඩුපාඩු තිබෙන්නට පුළුවනි. ඒ සඳහා කෙටි කාලයක් හෝ දීර්ඝ කාලයක් ගතවෙන්නට පුළුවනි. එහෙත් ඒ වැරදීම් මතින් නිරන්තරවම උත්සාහ කළ යුත්තේ ජීවිතය දිනන්නටය. එලෙස නව්‍ය අදහස් ක්‍රියාත්මක කර ජීවිතය දිනූ අයෙක් ලෙසින් ප්‍රසිද්ධ ජෙෆ් බෙසොස්ගේ කතාව පසුගිය සතියේ දී ඔබට කීවෙමු. අද අපි ඔහුගේ සාර්ථකත්වයේ රහස් කිහිපයක් විමසා බලමු.

සිය වත්කම අමෙරිකන් ඩොලර් බිලියන සියය ඉක්ම වූ ලොව ප්‍රථම මිනිසා හෙවත් ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙසොස් ය. ඒ පසුගිය වසරේ ඔහුගේ දළ වත්කම ට අමෙරිකන් ඩොලර් බිලියන 40 ක් එකතුවීමත් සමඟය. අන්තර්ජාලය හරහා පොත්පත් අලෙවි කිරීමෙන් ඇරැඹි මේ ව්‍යාපාරය මෙතරම් විශාල ව්‍යාපාරයක් වනු ඇතයි ද තමා ලොව ධනවත්ම පුද්ගලයා වනු ඇතැයි ද ජෙෆ් පවා නොසිතන්නට ඇත. එහෙත් එය සිදුවිය. මෙවැන්නක් සිදුවන්නට නම් එහි කුමක් හෝ රහසක් තිබිය යුතුයි. අන්තර්ජාලය හරහා පොත්පත් අලෙවි කිරීම ඇරැඹි මුල් කාලයේ බොහෝදෙනකුට සිතුණේ එය විකාරයක් ලෙසය. එහෙත් ලෝකය කාටත් හොර රහසේ කාර්යබහුල වෙමෙන් පැවැතිණි. එකම නිවෙසක ජීවත් වුවද එකිනෙකා එකට හමුවන්ට නොහැකි තරමටම මේ කාර්යබහුලත්වය වේගවත් විය. ඒ නිසාම තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සාප්පුවක් වෙත පියමනින්නට තරම් වේලාවක් සොයාගත නොහැකි පිරිස් බිහිවිය.

විශේෂයෙන්ම පොතක් මිලදී ගන්නට නම් ටිකක් වෙහෙස විය යුතුය. අඩුම තරමේ පොත් සාප්පු දෙකතුනකටවත් යා යුතුය. එලෙස ගිය ද සමහර විට ඒ පොත සොයාගැනීමට නොහැකිය. අනෙක් කරුණ වන්නේ ඒ පොත තමන් වෙසෙන නගරයේ හෝ රට තුළ නොමැති එකක් වුවහොත් එය ගෙන්වා ගැනීම හිතන තරම් පහසු වන්නේ ද නැත. නමුදු අන්තර්ජාලයට පිවිස වචන දෙකතුනක හුවමාරුවකින් ඒ පොත තමන්ගේ ගෙදරටම ලැබෙනවා නම් එය හිතාගන්නටවත් බැරි පහසුවකි. ලෙහෙසියට පහසුවට කැමැති මිනිසුන් වැඩිවැඩියෙන් බිහිවන ලෝකයක මේ පහසුව ගැන හිතන පිරිස එන්න එන්නම වැඩිවිය. ඒ නිසාම ලොව ලාභදායකම ව්‍යාපාරයක් ලෙස අද අන්තර්ජාල වෙළෙඳාම නම් කළ හැකියි. එහි නියමුවා වන්නේ ජෙෆ්ය.

 

2019/05/22 තරුණි බලන්න