වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මනාලියක් වන්නට පෙර...
තරුණියකගේ ජීවිතයේ වැදගත් ම දිනය වන්නේ තම මංගල දිනයයි. මනාලියක වී කුලගෙට පියමනින දිනය සෑම තරුණියකට ම විශේෂ වූ දිනයකි. එය ඇගේ දිවියේ එක් කඩඉමකි.
සාමාන්‍යයෙන් දියණියක් ඉපදුණ දා සිට මවකගේ සිහිනය වන්නේ ඇය මනාලියක ලෙස පතිකුලයට පිවිසෙන දිනය පිළිබඳයි.
එමනිසා රූපලාවණ්‍ය ශිල්පියාට අයත් වන්නේ සුළුපටු රාජකාරියක් නොවේ. එය එක් මවකගේත් දියණියකගේත් සිහිනයන් සුන්දරව සැරසීමේ රාජකාරියයි.
මනාලියක් වන තරුණියක් කෙසේ එයට ලක ලැහැස්ති විය යුතුද යන්න ඇතැම් තරුණියන්ට ගැටලුවක්. ඒ ගැන නොදන්නා තරුණියකට අපි මේ පිළිබඳ තොරතුරු පවසා දැනුවත් කිරීමට සිතුවෙමු.
මනාලියක් වීමට සිටින තරුණියකගේ පැත්තෙන් මෙන්ම රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ පැත්තෙන් ද සිදු කළ යුතු කාර්යයන් තිබේ. තරුණියක් තම විවාහ මංගල්‍යයට දිනයක් සූදානම් කරගත යුත්තේ මාස හයකට පමණ පෙරයි. මෙහිදී මුලින් ම තමා කැමැති රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගත යුතුයි. ඒ වගේම මංගල උත්සවය ගැනීම සඳහා උත්සව ශාලාව, මල් සැකසුම්, මංගල ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පියා යනාදී සියල්ල තෝරා ගැනීම සිදු කළ යුතුයි. මෙම තෝරා ගැනීම් සිදු කිරීමේ දී මෙන්ම මංගල උළෙල සැලසුම් කිරීමේ දී අතේ ඇති මුදලට සරිලන ලෙස එය කිරීමට ද වග බලා ගත යුතුයි.
රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය හමුවීමට යාමට ප්‍රථමයෙන් ඔබ මනාලයා හා ඔබේ මවුපියන් සමඟ කතාබහ කොට අඳින ඇඳුම ආදිය ගැන යම් අදහසක් ඇතිව යාම අනිවාර්ය වේ. මන්ද ඇතැම් මනාලියන්ට තමාගේ තීරණය ගැනීම සඳහා ඒ අයගේ ද උදවු අවශ්‍ය වන නිසයි. නැතිනම් ඔබට තීරණ විටින් විට වෙනස් කිරීමට සිදු වීම නිසා ඉන් ඔබත් රූපලාවණ්‍ය ශිල්පියාත් යන දෙදෙනාම අපහසුතාවට පත් වේ.
රූපලාවණ්‍ය ශිල්පියා විසින් මෙහිදී මනාලියට ගැළපෙන ඇඳුම් විලාසිතාව ආදිය පිළිබඳ ඇගේ කැමැත්ත අනුව පැහැදිලි කිරීම අවශ්‍යයි. ඇතැම් විට මනාලිය කැමැති ආකාරයේ විලාසිතාවක් ඇගේ පෙනුමට නොගැළපෙනවා නම් එහි යම් වෙනස්කම් සිදු කොට ඇයට ගළපා ගැනීමට උපදෙස් දීම මෙන්ම සුදුසු ඇඳුම් පිළිබඳ උපදෙස් දීම ද කළ යුතුයි.
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී
ප්‍රේමසිරි හේවාවසම්
කුලගෙදර - කොහුවල
ඡායාරූප -සමුද්‍ර මධූ
කල්තබා කළමනාකරණය කළෝතින් ඔබේ සිත නිදහස්