දුම්රියේ තේ විකුණූ කොලුවා ගිය දුරක්

ජුනි 5, 2019

නිදහස් ඉන්දියවේ උපන් ප්‍රථම අගමැති ඔහුයි. ඒ 1950 අවුරුද්දයි. ඉන්දියාවට නිදහස ලැබී වසර තුනක් ගෙවුණු තැන දුගීබවේ ගිලී ගිය පවුලක තෙවැනි දරුවා ලෙසින් උපන් මේ කොලු ගැටයා දිනෙක ඉන්දියාවේ ප්‍රථම පුරවැසියා ලෙසින් ශාස්ත්‍රපති භවන් වෙත යාවි යැයි එදා නම් කවුරුත් නො සිතන්නට ඇත.

එහෙත් නො සිතුවක් සිදුවිය හැකි ලෝකයේ දුම්රියේ මඟීන්ට තේ විකිණූ කොල්ලා මුළු ඉන්දියාවම හොල්ලන අගමැති විය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශයේ නායකයා විය.

එක් වරක් නොව දෙවැනිවරටත් හේ මහා භාරතයේ අගමැතිවරයා කරන්නට දෛවය දුන් තීන්දුව නම් අපූරුය. මේ මහා යුගපුරුෂයා අගමැති දක්වා ආ ගමන කිසිසේත්ම සරල නොවේ. ඔහු තම ජීවිතයේ ගිරිදුර්ග තරණයකරමින් ආ ගමන සැබැවින්ම සාර්ථකත්වය සොයන පුද්ගලයන්ට සපයන්නේ මනා ආදර්ශයකි.

මඳකට නැවතී හිතන්න, විශාල සාමාජිකයන් පිරිසක් ඉන්නා, දරිද්‍රතාව පිරී ගිය එක් කාමරයක් සහිත මඩ පිරුණු ගෙබිමක් ඇති කුඩා නිවෙසක ජීවිතය කෙබඳුදැයි කියා. විශ්වාසය හා ධෛර්යය මතින් පැමිණ ඓතිහාසික ජනවරමක් ලබා ඉන්දියාවේ 14 වැනි අගමැති ලෙසින් ඉතිහාසය අලුත් කළ මේ මහා මිනිසා, නරේන්ද්‍ර මෝඩි ලොව බලවත් පුද්ගලයන් අතර පෙරමුණේම හිඳින්නෙකි.

දුප්පත්කම අලුත් දෙයක් නොවූ ඉන්දියාවේ දුප්පත් පවුලක ඉපදී අගමැති වූ මෝඩිට දුප්පත්කම කුමක්දායි අලුතින් කියා දෙන්නට අවැසි වූයේ නැත. ඒ ඔහු උපතේ සිටම ඒ දුප්පත්කමේ රසය විඳ තිබූ බැවිනි.

පාසල් යන අවදියේම ජීවිතයේ අමාරුකම් තේරුම්ගත් ඔහු ජීවන සටනට උරදෙන සිය පියාට සහයක් වීමට තේ විකිණීම ඇරැඹීය. ගුජරාටයේ වේද්නගර් හි මඟීන්ගෙන් පිරුණු දුම්රිය මැදිරි අතර යමින් තේ වෙළෙඳාම් කළ පුංචි කොලු ගැටයා කාටත් හුරුපුරුදු විය. පසුව ඔහු සිය සහෝදරයා සමඟ එක්වී බස්නැවතුම් පොළ අසල තේ කඩයක් ඇරඹීය. දරිද්‍රතාව මොනතරම් දුෂ්කර වුවද මෝඩිගේ නැඟී සිටීම ඊට වඩා ප්‍රබල විය. දුප්පත්කමට මේ කොලුවා යටත්කරන්නට නොහැකි විය. හේ ඉන්ද්‍රඛීලයක් සේ සියල්ල මැඩගෙන යන ගමනකට එක්විය.

මේ නිර්භීත කොල්ලාගේ සුරතලුන් වූයේ කිඹුල් පැටවුන්ය. වරක් හේ නිවෙසට ද කිඹුල් පැටියකු ගෙන ගියත් මවගේ බලවත් විරෝධය නිසාම නැවතත් ඌ රැගෙන විලට දමන්නට සිදුවිය. පාසල් වියේ දී ක්‍රීඩාවට ද උනන්දු වූ ළමා මෝඩි කබඩි කණ්ඩායමක් හදාගෙන තරග ජයග්‍රහණ ද අත්පත් කරගත්තේය. එපමණක් නොව ඔහු නාට්‍ය රංගනය ට කැමැත්තක් දැක්වූ දරුවෙකි. ඒ බව පසක් වන්නේ තමා විසින්ම රචනා කරන ලද නාට්‍යයක් පාසල් වේදිකාවේ දී වේදිකාගත කිරීමට තරම් උත්සාහවන්ත වූ නිසාය. ඒ නිසාම හේ කා අතරත් ප්‍රකට වූයේ උත්සාහවන්ත දරුවකු ලෙසිනි. හැම දෙයක් දෙසම ධනාත්මකව බලන්නට පුරුදු වූ මේ දරුවා කිසිම දෙයකින් පසුබට වූයේ නැත.

අවුරුදු 13 දී පවුලේ අය විසින් ළමා විවාහයකට ඇතුළත් කළ මෝඩි අවුරුදු 18 ක් වන විට බිරිය සමඟ විසුව ද ඔහුගේ හිත තිබුණේ සමාජයට සේවය කිරීමටය. ඒ නිසා විවාහ වී කෙටි කලකින්ම ඔහු පවුලෙන් වෙන්වී වසර දෙකක් සංචාරයක නිරත වනවා. සිය ජීවිතයේ ඒ අවදිය සිහිකරන මෝඩි පවසන්නේ මෙවැන්නකි.

“මම ටිකෙන් ටික වැඩෙනකොට හිතුවේ රටට සේවය කිරීමට තියෙන එනම විධිය හමුදා සොල්දාදුවෙක් වීමයි කියලා. ඒ සඳහා බොහෝවිට හේතු වුණේ හමුදා සොල්දාදුවන් දැකීම හා ඔවුන්ගේ ඇඳුම්. ඒත් අවුරුදු 17 ක් වෙනකොට මට කරන්නේ මොනවද කියලා නිවැරැදි සිතුවිල්ලක් තිබුණේ නැහැ. හරි මඟ පෙන්වීමක් තිබුණෙත් නැහැ. බොහොම අපැහැදිලි අවිනිශ්චිත ඉදිරියක් විතරයි දැක්කේ. ඒ හින්දම අරමුණක් නැති වුණත් රට වටේ සංචාරය කරන්න හිතාගත්තා. ඒත් නිශ්චිතවම කොහෙද යන්නේ කියන හැඟීමක් තිබුණේ නැහැ. ඒත් සංචාරය කළ අවුරුදු දෙක මට අරමුණක් හදලා දුන්නා. ස්වාමි විවේකානන්ද ආශ්‍රමයේ ශීතල හිමාලයේ ශීතලේ ගැහි ගැහීි හිටිය කාලය මට තාම මතකයි. උදේ පාන්දර මිදුණු ශීතල වතුර නාමින් ගෙවුණු කාලය මාව අරමුණකට ළංකළා. විශ්වයේ රිද්මය සමඟ ජීවත්වීමේ අරමුණ සාදුවරයන්ගේ මඟපෙන්වීම හරහා මට වැටහුණා. මම කොහෙද ගියේ දෙවියන් මාව රැගෙන ගියා. සමහරවිට තීරණයක් නැතුව ගෙවුණු කාලයක වුවද මට මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. රට පුරාම සංචාරය කරලා අවුරුදු දෙකකට පස්සෙ ගෙදර ආව මම තවතවත් මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නට අදිටන් කරගත්තා.

 

2019/06/05 තරුණි බලන්න