තරුණී මල් දමට මිණි, මුතු අමුණන්නෝ

ජූලි 10, 2019

 ලාංකේය ලලනා ලෝකය එකලු කරන්නට රන්, මිණි, මුතු සුසැදි අගනා මල් දමක් ‘තරුණී’ නමින් සෑම සතියකම ඔබ දෝතට පත්වෙයි. පනස් වසක් පුරා මේ මල් දම හැඩවැඩ දැමුවෝ බොහෝ වෙති. ඒ අතර ඇය සිය පනස් වස සපුරන මොහොතේ පත්ඉරුමත අමුණන සෑම අකුරක්ම ඔබේ යහපත පිණිසම ගෙන එන්නට වෙරදරන කණ්ඩායමකි. එකිනෙකට වෙනස් භූමිකාවන්ට පණ දෙමින් එකම අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන, පෙළගැසෙන මේ පිරිවර ඔබට බොහෝ සමීපය. ඒ ඔවුන්ගේ නිර්මාණයන් වෙතින්ම පමණි. බේරේ වැව ඉහත්තාවේ පත්තර මහගෙදර හිඳ දැයේ වනිතා පරපුර දැනුමෙන්, යහපැවැත්මෙන් මෙන්ම බුද්ධියෙන් ද පෝෂණය කරන අපේ කණ්ඩායම මෙලෙස ඇගැයීම ඔවුනගේ සේවයට පුදන පුද පඬුරක්ම වනු පිණිසයි මේ සටහන.

* ඉඳුනිල් වීරරත්න, ඔබේ අතට පත්වන මල් දමේ පිළිවෙළ මේ යැයි කියමින් කණ්ඩායම එක මිටකට ගෙන හසුරවන නියමුවා ඔහුයි. 1998 වසරේ නියෝජ්‍ය කතුවරයා ලෙසින් තරුණී ට සම්බන්ධ වූ ඔහු පසුව තරුණී කර්තෘ ධූරයට පත්විය. පසුව ඔහු සිළුමිණ, රසඳුන අතිරේකයේ සංස්කාරක ධූරයට පත්විය.

වසර ගණනාවකට නැවතත් පනස් වසක් සපුරන තරුණියේ අභිමානවත් කතුපදවිය දරන්නට වාසනාවන්ත වූවේ ද ඔහුයි.

ගම්පහ බණ්ඩාරනායක මහ විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ ඔහු කලා හැකියාවන් කිහිපයකින් සුපෝෂිත වූවෙකි. ලේඛනයට මෙන්ම චිත්‍ර කලාවට ද විශිෂ්ට දස්කම් දක්වන ඔහු අතින් ඉඳහිට ගී පදවැල් ද ලියැවෙයි. පත්‍රකලාවේ ඇසූපිරූ අත්දැකීම් සම්භාරයක් හිමි ඔහු තරුණීට නැවුම් මුහුණුවරක් දෙමින් වටිනාකමින් මිල කළ නොහැකි පුවත්පතක් ඔබ දෝතේ රඳවන්නට ගන්නේ අප්‍රමාණ වෑයමකි.

* කොළඹ ආනන්දයේ අකුරුකරමින් හිදින අවදියේම දිනමිණ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ හැරී උභයසේන පියාගේ සුළැඟිල්ලේ එල්ලී ලේක්හවුස් නම් විසල් පත්තර කන්තෝරුවට පියනැඟි ඔහු කපිල නාරද උභයසේනයි. ඔහු මූලික අධ්‍යාපානය හදාරා ඇත්තේ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් පත්තර මහගෙදර සේවයේ නිරතව හිඳීන ඔහු තරුණී පරිගණකයෙන් සරසන්නට ගන්නා වෑයම අපමණය.

නිවාඩු අඩුවෙන්ම ගන්නා ලැයිස්තුවේ පෙරමුණේ රාළ වූ ද නියමිත වෙලාවට සේවයට පැමිණ සියල්ල අවසන්වන තෙක් ඕනෑම කාලයක් කන්තෝරුවේ රැඳෙන්නට සූදානම් වූ ද සිය අසුනෙන් උපරිමය තුන්හතර වරකට වඩා දිනකට නොනැඟිටින ඔහුගේ සේවය අපේ තරුණ පිටුසකසන නිර්මාණ ශිල්පීන්ට වෙසෙස් ආදර්ශයකි. ඔහු තරුණී නිර්මාණ සැලසුම් කර්තෘවරයායි

* තරුණි නියෝජ්‍ය කතුවරියන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් චම්පිකා දීපානි රණසිංහ ය.

තරුණී මෙන්ම සුබසෙත කර්තෘ මණ්ඩලයේ නියෝජ්‍ය කතුවරිය ලෙස සේවය කළ ඇය මේ ලියන මොහොතවන විට නැවතත් තරුණී නියෝජ්‍ය කතුවරියක ලෙස අප කණ්ඩායමට අනුයුක්තකර ඇත. ඈ ලේක්හවුසියේ දැනට හිඳීනා ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනියක් වන ඈ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

සෞඛ්‍ය සම්මාන ගණනාවකින් ඇගේ හැකියාවේ තරම අහිසෙස් ලබා තිබේ. තරුණී වෙනුවෙන් වූ සිය හෘදයාංගම බැඳීම අරඹයා ලියන ඇගේ ලිපි පාඨක ඔබට නම් ආගන්තුක නොවේ.

* ශි‍්‍රයා දික්කුඹුර නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ දෙටු දියණිය ලෙසින් අම්මාගේ අතින් අල්ලා ලේක්හවුස් පඩිපෙළ නඟින්නට වාසනාවන්ත වූ අතළොස්සක් මාධ්‍යවේදීන් හා වේදිනියන් අතර එක් අයකු වන්නේ ආශිර්වාදිනී හෙට්ටිආරච්චිය. කොළඹ ලින්ඩ්සේ බාලිකාවේ අධ්‍යාපානය හදාරා යොවුන් අවදියේම ජනතා පුවත්පතට එක්වී පුහුණුව ලබා සරසවිය කතු මඩුල්ල හරහා තරුණී වෙත ආ ඇය අද තරුණී හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකි. කොළඹ සරසවියෙන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ද සිය ජනසන්නිවේදන දිවිය ඔප කරගත් ඇය දැයේ ජීවනාලිය වූ මවුවරුන් වෙනුවෙන් වෙසෙස් කැපවීමක් දරමින් ඔබව දැනුමෙන් සන්නද්ධ කරයි. කියන ඕනෑම දෙයක් කොහොමහරි කරදෙන්නට පෙරමුණ ගන්නට සමත් ඇය අපේ සංවිධාන ශක්තියේ ද නිත්‍ය සාමාජිකාවකි.

* රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා ලේක්හවුස් මාධ්‍යවේදිනියක වූ ඈ ඔබට වඩාත් සමීප වන්නී මල් ලෝකය හරහාය. මලක මහිම ඇන්තූරියම් වැඩමුළු මාලාවේ ආරම්භකයා වන ඈ සිය මාධ්‍ය දැනුම මුවහත් කරගත්තේ කොළඹ සරසවියෙනි. චම්පා වරුසප්පෙරුම නම් වූ ඇය අපට මොනතරම් හදිසිවුවද සිය බෝල අකුරෙන් ලියන ලියැවිල්ල නම් වේගවත් කරන්නේම නැත. පිළිවෙළ අංක එක වූ ඇගේ ලිපියක ආරම්භක අකුරුත් අවසන් අකුරුත් අතර කිසිදු වෙනසක් ඇත්තේ ද නැත. තරුණී හැඩකරන නවකතා සම්බන්ධීකරණය ඇගේ අතින් සිදුවන තවත් එක් මෙහෙයකි. අද ඇය තරුණී ජ්‍යෙෂ්ඨයන් අතරය.

* අයන්ති උඩුගම්පල, ගාල්ලේ සංඝමිත්තා බාලිකාවෙන් අකුරුකර තරුණී කතු මඩුල්ලට එක්වූ තරුණිය ඇයයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයෙන් හා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සිය මාධ්‍ය ජීවිතයේ වටිනාකම් ඔපලූ ඇය අපේ කණ්ඩායමේ දැනට හිඳීන නිත්‍ය සාමාජිකාවකි. පන්හිදෙන් සිය ලිවීමේ සහජ කෞෂල්‍ය පෙන්වන ඕ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක ලෙස රුව, ජ්‍යෝතිෂය, කලා ලෝකයේ සංවාද හා වෛද්‍ය ලිපි මඟින් ඔබව දැනුමෙන් පෝෂණය කරන්නට ගන්නේ අපමණ වෙහෙසකි. ඒ වෙනුවෙන් ඈ සම්මානයට ද ප්‍රාත වී ඇත.

* දුමින්ද කාරියවසම්, යටියන්තොට සිරිවර්ධන මහ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලෙන් අධ්‍යාපනයේ ඉතිරි අඩ නිම කර තරුණී වෙත පිය මැන්න දෙවැන්නා ඔහුය. ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ලේක්වුසියෙන් මාධ්‍ය ලෝකයට අවතීරණය වී ඇක්වයිනස් විද්‍යාලයෙන් සිය මාධ්‍ය දැනුම වැඩිදියුණුකරගත් ඔහු කියන ඕනෑම තැනකට තොරතුරු සොයා යන්නට හිඳීන අපේ කණ්ඩායමේ සාමාජිකයාය. ඒ නිසාම කාර්යාලයේ ඔහු හිඳීන වේලාවක් නම් සොයාගන්නට ද නැත.

* ප්‍රසන්නි ගී තරංගමා අබේරත්න නම් වූ ඇය කුඩා කල සිටම ලේඛන කලාවට පෙම්බැඳී මාධ්‍යවේදිනියකි.

අම්මාගේ මඟ පෙන්වීමෙන් පත්තර කලාවට ඇල්මක් ඇතිකරගත්තී, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් අකුරුකර, ජනසන්නීවේදන විශේෂ උපාධිය ජයවර්ධනපුර සරසවියෙන් ලබා ප්‍රශ්චාත් කැලණිය සරසවියෙන් හිමිකර ගත්තාය. සිය භාෂා අනන්‍යතාවේ සුවිශේෂී ජීව ගුණයක් පෙන්වන ඈ අපේ ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ අන්තිමයාය. තරුණී හි නිර්මාණී පිටුවේ ආරම්භකයා වන ඇය තරුණී සහනතීරය හරහා සුවිශේෂි මෙහෙයක් අපේ රටේ දූදරුවන්ට මෙන්ම වැඩිහිටියන් ට ද සැලසීය.

* ලස්සනම ලස්සන කවරයක්, තරුණී සරසන්නට සැකසෙන්නේ මධුර ප්‍රභාත් අතිනි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරුකර ලේක්හවුස් පත්‍ර බෙදාහැරීමේ අංශයේ සාමාන්‍යාධිකාරීවරයකු වූ කේ. ජී. එස්. ගාමිණී, පියාගේ අතේ එල්ලී ලේක්හවුසියේ පඩිපෙළ නැඟි මධුර අද නිර්මාණ සැලසුම් නියෝජ්‍ය කතුවරයායි. තරුණී හැඩවෙන ඡායාරූප පරිගණකයෙන් සැකසෙන්නේ ද ඔහු අතිනි. පිටු සැකසුමෙන් ද කපිල උභයසේනට සහාය වෙයි. එහෙත් එක තැනක පැයක් දෙකක් මධුරව රඳවාගන්නට නම් අප කාටත් නො හැකිය.

* අචිනි ලක්මාලි, නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලයෙන් සිප්සතර හදාරා තරුණී කතුමඩුල්ලේ සාමාජිකාවක් වන්නට වාසනාවන්ත වූවාය. ඇගේ පියා එස්. කේ. චන්ද්‍රසේකර ද ලේක්හවුස් පවුලේ විශ්‍රාමික සාමාජිකයෙකි. කැලණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී බාහිර උපාධිය හදාරන ඈ ඔබට වඩාත්ම සමීප තරුණී ප්‍රතිභාවී විශේෂාංගය හරහාය. දිනෙන් දින දැනුම දියුණුකරගත් ඇය අද සදහම් සෙවණ තුළින් ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නේ තරගකාරී ලෝකයේ ඔබේ සිත දහමින් සුවපත් කරන්නටයි.

* අපේ කණ්ඩායමේ ළාබාල සාමාජිකාවන් අතර හිඳීමින් මැහුම්, ගෙතුම්, අත්කම් විශේෂාංග හරහා වැඩි වශයෙන් ඔබ හමුවට එන්නී උදයංගනී ලියනආරච්චි ය. මීරිගම ඩී. එස් සේනානායක ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූ ඇය කැලණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී බාහිර උපාධිය හදාරන්නේ ජනසන්නිවේදනයේ සිය දැනුම පුළුල් කරගන්නටයි.

* නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය සපයන්නී, විදුමිණි නිමේෂා අපේ කණ්ඩායමේ ළාබාලම ඇත්තීය. කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකාවෙන් මූලික අධ්‍යාපනය ලබා පත්තර මහගෙදරට පැමිණි ඇය, අතින් ලියැවෙන ලිපිවලට අමතරව තරුණී හැඩකරන්නට අවැසි රූප සටහන් ද අඳින්නීය.

* නාමලී ගමගේ විවිධ ලිපි ලියමින් ද පරිගණකයෙන් අකුරු අමුණමින් ද ඔබ හමුවට එයි. ගාල්ල උඩුගම මහා විද්‍යාලයෙන් හා සංඝමිත්තා බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා කොළඹට පැමිණි ඇය අපේ හදිසි ලිපි අවශ්‍යතාවන් කෙසේ හෝ සපුරා යතුරු ලියනය කරදෙන්නට දරන්නේ අපමණ සහයකි.

* තරුණී කණ්ඩායමේ නො වූවද ලිපි යතුරු ලියනයේ දී අපට අමතක කළ නො හැකි අනෙක් චරිත දෙක විපුල මාතොටආරච්චි හා ගාමිණී අල්විස් ය.

* මාතර ශාන්ත තෝමස් විදුහලින් සිප්සතර හදාරා කොළඹ පැමිණ තරුණී කණ්ඩායමට එක්වී ඒ මේ අතට දුව පැන තරුණී හි විවිධ අවශ්‍යතා සඳහා වෙහෙසෙන්නේ සම්පත් සමරවීරයි.

* කැමරාවෙන් තරුණී හැඩකරන්නේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියකු වූ ටෙනිසන් එදිරිසංහ සහ ශාන් රූපස්සරයි. ළාබාල ජායාරූප ශිල්පියකු ලෙස තරුණී කණ්ඩායමට එක්වූ ශාන්ගේ හැකියාවේ තරම ඔහුගේ ඡායාරූපවලින් කියාපායි.

* ඉදින් දැන් මා මේ ලියවිල්ල හමාර කළ යුතුයි. ඊට පෙර ඔබට මාව හඳුන්වා දෙන්නට මටම සිදුවේ. 2001 වසරේ එවකට තරුණී ප්‍රධාන කතු ධූරය දැරූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සමරසිංහයන්ගේ මඟ පෙන්වීමත් ඉඳුනිල් වීරරත්න නියෝජ්‍ය කතුවරයාගේ ගුරුහරුකම් මැදින් පුවත්පත් කලා දිවියට මා පියමැන්නේ දැඩිගමුව කණිෂ්ඨ විද්‍යාලයෙන් හා කඩුවෙල, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිප්සතර හදාරා, ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියක් අතදරාය. එකකට එකක් වෙනස් විෂයයන් වුවද ලේඛන කලාවත් මා සතු බව තහවුරු වූයෙන් ජයවර්ධනපුර සරසවියෙන්ම ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබාගත්තේ කරන රැකියාවට යුක්තිය පසිඳලනු පිණිසය. තරුණී බබලවන්නට අවැසි දැනුම කෙසේ හෝ ලබාගත යුතුය යන අදිටනේ හිඳ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයත් සිංගර් ෆැෂන් ඇකඩමියෙන් මැහුම්, ගෙතුම්, අත්කම් දැනුමත් එකතුකර ගත්තෙමි. ඒ සියලු දැනුමේ අද උරුමකරුවන් වී හිඳීන්නේ ආදරණීය පාඨක ඔබමයි.

මම, පාලිකා දිල්රුක්ෂි කටුගම්පල, හරියටම වසර ගණන මතක නැති තරුණී නියෝජ්‍ය කතුවරියයි.

2019/07/10 තරුණි බලන්න