වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
යුග දිවිය සවිමත් කරන සිනාව සහ කඳුළ
නිවෙසේ අඳුර විදුලි බල්බයකින් පලවා හැරීමට පුළුවන. එහෙත් සැමියා, බිරිය, දුව හෝ පුතා අබ දැම්මොත් පුුපුරණ තරමේ හෝ අමාවක මෙන් අඳුරු කරගත් මුහුණකින් සිටිනවා නම් දෑස් විනිවිද යන විදුලි ආලෝකයක් ලබා දුන්න ද කිසිදු මුහුණක එළියක් නම් නොවැටෙයි.
පවුලේ එක් සාමාජිකයකුගේ බකමූණු පිළිවෙත පවුලේ සෑම කෙනකුගේම මානසිකත්වයට බලපායි. නිවෙසෙන් සතුට පලා යයි.
මුහුණ අඳුරුකරගෙන අවදි වන තැනැත්තා ලොව දකින්නේ සුබවාදී මනසකින් අවදිවන තැනැත්තකු මෙන් නොවෙයි. ස්මාර්ට්ෆෝනයේ ඉතා කුඩා සිනා ඡායාරූප එකතුව දෙස මොහොතකට නෙත් යොමු කළත් සිතේ සතුට අංශු මාත්‍ර ගණනාවකින් ඉහළ යන බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. සිනාව රැගත් කුඩාම කුඩා ඡායාරූපයක පවා එපමණ බලයක් සතුය.
සිනාව බෝවන්නකි. ඒ අනුව බිරියගේ සිනාව සැමියාගේ මුවේ සිනා නැංවීමට හේතු වේ. මාපියන්ගේ සිනාව දූදරුවන්ගේ සිනා නැංවීමට හේතුවෙයි. නිවෙස සිනාවෙන් පිරීතිරී යාමට එක් අයකු නංවන සිනාව මුල පුරයි. නිරන්තර රැඳෙන මඳ සිනාවක් කෙනකුගේ ආයු කාලය වසර පහකින් දිගු කරයි. මුව පුරා සිනාසෙන්නකුට ආයු කාලය සත් වසරකින් දීර්ඝ කරගත හැකිය. දිනපතා සිනාවෙන් අවදිවී සිනාවෙන් රාත්‍රී නින්දට යා හැකි පවුලක් දීඝායු භුක්ති විඳීමේ වාසනාව ලද්දවුන් ය.
කෙනකු කෙතරම් ඇඳුම් ආයිත්තම් පැලඳ සිටියත් සිනාසෙන්නේ නැත්නම් සම්පූර්ණයෙන් ඇඳ පැලඳ සිටිනවායැයි කිව නොහැකි බවට ඉංගී්රසි කියමනක් තිබේ. සිනාව සුන්දරවන්නේ එය නිර්ව්‍යාජ වූ තරමටය. ව්‍යාජ සිනාව අනෙකාවත්, තමන්වත් රැවටීමක් පමණි. දෑස් යට නැංවෙන රැලි සත්‍ය සිනාවක සුන්දරත්වය කියාපායි.
සතුටේ කැඩපත වන සිනාව ආදරයේ චමත්කාරයයි. පවුලේ සාමාජිකයන් එකිනෙකා සාමයෙන් ඇද බැඳ තබන රැහැන් පටයි. කෙතරම් ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, රැකියා ප්‍රශ්න තිබුණ ද මුව‘ඟ නැඟෙන සිනාව අඹු සැමියන්ගේ සියලු බර සැහැල්ලු කරයි.
දරුවෝ දිනකට සිය වරකටත් වඩා සිනාසෙති. නමුත් බොහෝ වැඩිහිටියන්ට සිනාව මතක නැත. විශේෂයෙන් පති පතිනියන් දිනකට වරක් දෙවරක් හෝ එකිනෙකා දෙස බලා සිනාවකින් සංග්‍රහකර ගත යුතුය. එක්ව සිනාසීම ආදරය ශක්තිමත් කරන්නේ “යුග දිවිය අවසන් හුස්ම දක්වාම පවත්වාගෙන යාමට අත්වැලක් වෙමිනි. ඔබ සැමියා සමඟ හෝ සැමියා ඔබ සමඟ හෝ සිනාසුණු දවසක් මතකයට නංවාගන්න. ආදරයෙන් බැඳුණු දිනවල නොදැක සිටීමට බැරිවූ සිනාව, සිහිනෙන් පවා සිතේ ඇඳුණු සිනාව විවාහ වී වසරින් වසර ගතවෙද්දී ඡායාමාත්රයක් බවට පත් නොවිය යුතුය.
වාද විවාදවලින් ඇතිවන නොමනාපයන් සිත් රිදීම් විවේචන එක්ව නඟන සිනාවකින් දුරුවී යයි. දුෂ්කර අවස්ථාවලදී සිනාව තරම් ජීවිතවලට සහනයක් ලබාදෙන ඔසුවක් තවත් නැත. සිනාව මිනිසාගේ සොබා උරුමයකි. ඉපදී පළමු සති කිහිපය ඇතුළත ළදරුවෝ සිනාසෙති. හැඳුණු වැඩුණු පරිසරය සිනා සපිරි පරිසරයක් නොවුණ ද කෙනකුට ජීවිතයේ ඕනෑම කාලයකදී සිනාසීමට ඉගෙන ගතහැකිය. යුග දිවිය ගෙත්තම් කිරීමේ දී නූලට ඉඳිකටුව මෙන් සැබෑ ආදරයට ද සිනාව නැතිවම බැරිය.
සිනාවෙන් සෑම දිනක්ම සුන්දර කර ගත්ත ද කඳුළ ද අපේ ජීවිතවලට එක්වීම වළකාලිය නොහැකිය. ඒ කඳුළ සතුටු කඳුළක් හෝ දුක් කඳුළක් වීමට පුළුවන. සිනාව මෙන් නොව දෙනෙතට නැඟෙන කඳුළු නවතාලීමට වෙර දැරීමේ දී කඳුළේ වේදනාවට වැඩි වේදනාවක් දැරීමට සිදුවෙයි. බිරියට සැමියාගේ උරතල මත හිස තබාගෙන හඬා සිත සැහැල්ලු කරගැනීමටත් සැමියාට බිරියගේ උණුසුමේ සිට හඬා සැනසුමක් ලබාගැනීමටත් හේතූන් ඕනෑ තරම් තිබිය හැකිය.
පිරිමිකමට හැඬීමෙන් අවමානයක් සිදුවෙතැයි සිතුව ද කඳුළ මනුසත් බවේ උරුමයකි. සැමියා මෙන්ම බිරිය ද හඬා දුක තුනී කර ගැනීමට හෝ සතුටු කඳුළින් සැනසීමට ඇති අයිතියට වාරණයක් නොදැමිය යුතුය. අමෙරිකාව වැනි සංවර්ධිත රටවල පවා මාසයකට කාන්තාවන් සාමාන්‍යයෙන් වාර 3-5 ක් සහ පිරිමින් වාර 1-9 ක් හඬා වැටෙන බව වාර්තා වී ඇත.
දුකකට හඬන විට කඳුළුත් සමඟ ආතති හෝර්මෝන අධික ලෙස පිටවෙයි. එයින් සිත සැහැල්ලු වෙයි. සැනසුමක් ලැබෙයි. 2015 දී කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ හැඬීමෙන් ළදරුවන්ට සුවදායක නින්දකට මඟ පෑදෙන බවය.
මාපියන් දරුවන් ඉදිරියේ කඳුළු සඟවා ගැනීමට වෙර දැරීම ද සමාජයේ සුලබය. කඳුළු සඟවාගෙන සුපිරි චරිත වීමට වෙර දැරුව ද ඔවුන් එසේ කළ යුතු ද?
දරුවන් දුක, වේදනාව අසාමාන්‍ය නොවන තත්ත්වයක් බව දැනගත යුතුය. හැඬීම පෞරුෂත්වයේ දුබලතාවයකැයි සිතා කඳුළු සිරකර ගැනීමෙන් ඔවුන්ගේ මානසිකත්වයට ඇතිවන බලපෑම යහපත් නොවෙයි.
මවුපියන් හඬනවා දකින දරුවන් එය දුබලතාවක් නොවන බව වටහා ගනී. ඒ මිනිසා හැඟීම් පිටකරන එක් ක්රමයකි. දරුවන් හඬනවිට ඔවුන් හැර පියා නොයෑමට මවුපියන් වගබලා ගනී. රූපවාහිනියේ හෝ සිනමා ශාලාවක කඳුළින් නෙත් තෙත්වන ජවනිකාවක දී කළයුත්තේ කොතැනට හෝ ගොස් තනිව කඳුළු සැලීම නොවෙයි. දරුවාට තමන්ව අස්වැසීමට අවස්ථාවක් මාපියන් උදාකරදිය යුතුය. තමන් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන බව පැවසීම ද වැදගත් වෙයි.
දරුවාට හැඬීමට හේතුවූ කාරණය පැවසිය යුතුය. එහෙත් එය පවසන ආකාරය දරුවාගේ වයස, හැඬීමට හේතුවූ කරුණ අනුව වෙනස් වෙයි.
හැඬීමට හොඳම තැන නිවෙසය. ඒ පවුලේ සාමාජිකයන් තරම් ලොවේ ඔබට සමීප, හිතවත් අන් අය නොසිටින නිසාය.චම්පිකා දීපානි රණසිංහ