තමා කරන කාර්යයට සුදුස්සකු වන්න...

සැප්තැම්බර් 25, 2019

ලෝකයේ ජීවිතයෙන් පැරදුණු මිනිසුන් සේ ම දිනූ මිනිසුන් ද වේ. ජීවිතය දිනීම හෝ පැරදීම ඇත්තේ අප තුළම ය. අප කරන ක්‍රියාවන් මෙන්ම ගන්නා තීන්දු තීරණ ද මේ ජීවිතය දිනීම කෙරෙහි බලපායි.

ඒ සඳහා අපට අවැසි වන්නේ අවබෝධයයි. ජීවිතය දිනීමට ඔබට මඟ පෙන්වන දැනුම අප ලබා දෙන්නේ තරුණී පාඨක ඔබ ජීවිතය දිනන චරිත වනු දැක්ම අපගේ බලාපොරොත්තුව වන නිසයි.

අපි ලොකු දැක්මක් සහිතව ක්‍රියා කිරීම සඳහා යොමු වුවද ඒ සඳහා කුඩා පියවරවල් ගත යුතුය. මෙහි ඇති මූලික ම දේ වන්නේ අපට අවශ්‍ය වන දිශානතිය තෝරා ගැනීමයි. මෙය හරි පුළුල් වූවකි. තමා රැකියාව කරන ස්ථානයේ තමා යා යුතු මඟ නිසියාකාරව නොපෙනෙන බව යමකුට සිතිය හැකිය. කිසිවකු හෝ හිර ගෙදරකට දමා ඔබට ඕනෑ අයුරින් බිත්තිය වර්ණ ගැන්විය හැකි බව පවසනවා යැයි සිතන්න. ඒ වුණත් ඔහු සිටින්නේ හිර ගෙදරක බව එම තැනැත්තා නොදනී.

මේ අනුව රැකියාවේ ඉහළට යාම කියන දේ ගතහොත් මම මේ මට්ටමේ වසර පහක් සිටීමෙන් උසස් වීමක් ලැබෙන බවත් එහි තවත් ටික කලක් සේවය කිරීමෙන් තවත් උසස් වීමක් ලැබෙන බවත් සිතීම සාමාන්‍ය දෙයක්.

ඒ නිසා පුද්ගලයන් බොහෝ විට තම වෘත්තීය තත්ත්වය උසස්වීම්වලින් පමණක් තීරණය කරන විට එය බොහෝ සීමිත සිහිනයක් බවට පත් වේ. පුළුල් දැක්මක් තිබෙන විට මම මේ දෙය පමණක් සිදු කරන බව තීරණය කළ හැකියි. එමෙන්ම තමා එය ලැබීමට සුදුසු පුද්ගලයෙක් විය යුතුයි.

සුදුස්සකු වීම, බෞද්ධ සංකල්ප අනුව පාරමිතා හා සැසඳේ. පාරමිතාවක් මඟින් සාමාන්‍ය තරුණයෙක් බුදුවරයෙක් වීමට සුදුස්සෙක් කිරීම බෞද්ධ සාහිත්‍යයේ අප දකින සුවිසල් පාරමිතාවයි. අප යාමට බලාපොරොත්තු වන තත්ත්වයට යාම සඳහා සපිරිය යුතු දේ තුනක් පවතී. ඒවා වන්නේ,

* දැනුම

* කුසලතා හා

* ආකල්ප

මේ කරුණු තුනෙන් සන්නද්ධ නොවූ අයකු සුදුස්සකු ලෙසින් සැලකිය නොහැකිය. ඇතැම් විට අයකුට දැනුම තිබුණ ද කුසලතා නොතිබිය හැකියි. තවත් අයට දැනුම හා කුසලතා දෙකම තිබී එයට අවශ්‍ය වන ආකල්ප නොතිබිය හැකියි. දැන් මෙය බොහෝ දෙනාට මතකයෙන් ගිලිහෙන සාධකයකි. වෘත්තීය අංශයෙන්, ව්‍යාපාරික අංශයෙන් හෝ අධ්‍යාපනික අංශයෙන් යන මේ කුමනාකාර අංශයකින් වුවද සාර්ථක වීම සඳහා මේ අංග තුන අත්‍යවශ්‍ය වේ.

තේ එකක් හදනවා යැයි අපි හිතුවොත් තේ කොළත්, එය සකසන වතුරත් හොඳ නම් එම වතුරෙන් හැදූ තේ එකක් රස නොවන්නේ ඇයි? එසේ වීමට තේ කොළ වැඩි වීමක් නිසා කහට වැඩි වී හෝ සීනි වැඩි වී තිබිය හැකිය.

එමනිසා මේ තේ එක රසයෙන් අඩු වී ඇත්තේ තේ සැකසූ පුද්ගලයා තේ එකක් රසවත්ව සැකසීමේ ක්‍රමවේදය නොදන්නා බැවිනි.

එම පුද්ගලයා සැකසූ තේ කෝප්පය රස නොවීමට ප්‍රධාන හේතුව වන්නේ ඔහුට ඒ පිළිබඳ දැනුම හා කුසලතාව නොමැති වීමයි.

ඇතැම් නිවෙස්වල පිරිමි පාර්ශ්වය තේ සැකසූව ද 'කුස්සිය වනසා ' ඇති බවට බොහෝ භාර්යාවන් විසින් මැසිවිලි නඟයි. තේ කුඩු, සීනි, වතුර අහක ගොස් ඇති නිසා මෙලෙස මැසිවිලි නැඟීම සිදුවේ. එසේ වන්නේ වත්කිරීමේ කුසලතාව, සමබල කිරීමේ කුසලතාව නැතිකම නිසයි. වත්කිරීම කුසලතාවක් යැයි අපට වැටහෙන්නේ තේ යාරයක් දමන වෙළෙඳසල්වල තේ සකසන පුද්ගලයන් දකින විටයි.

අපට රසවත්ව තේ සැකසීමට හැකියාව තිබුණ ද එලෙසින් තේ යාරයක් දැමීමේ කුසලතාව නොමැති බව පිළිගත යුතුය. තමා කරන කාර්යය කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් එය කුසලතාවක් බවට පත් වේ.

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2019/09/25 තරුණි බලන්න