අතීත උරුමයක අසිරිය සමඟ කූඹිච්චම්කුලම උද්‍යානයේ සැඳෑ සුවය විඳ ගනිමු

නොවැම්බර් 20, 2019

පෞරාණික උරුමයත් තුරුලතා පිරි සොබා දහමත් එක්ව නිර්මාණය වූ පරිසරය සැබැවින්ම සුන්දරය. අප සැම විටම සොයා යන්නේ ද මෙම උරුමයක අසිරියයි. නැතිනම් සොබා දහමේ ආනන්දයයි.

උරුමයක අසිරියත්, සොබා දහම සමඟ හුදෙකලාවීමත් තරම් සැපතක් අපට නොවන්නේ මේ නිසාමය. අපට ලැබෙන පුංචි නිවාඩුවකදී හෝ ලැබෙන විරාමයකදී සැම විටම වින්දනය කරන්නට සොයා යන්නේ මේ අසිරිමත් උරුමය පිරි සොබා දහමේ සිරියාවයි.

අපේ අතීත උරුමයේ පළමු රාජධානියේ ආරම්භය සනිටුහන් කරන්නේ අනුරාධපුරයෙනි.

නෙත් ඇදහිය නොහැකි තරම් වූ විස්මිත නිර්මාණ හා ගෘහ නිර්මාණ කලාවකින් සුපෝෂිත වූ අනුරපුරය පුරා විරාජමාන වන අතීත නටඹුන් රාශියකි.

ශ්‍රී මහා බෝධිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය, මිරිසවැටිය. රුවන්වැලිසෑය.

ඉසුරුමුණිය, ථූපාරාමය, කුට්ටම්පොකුණ, ලංකාරාමය, සඳකඩ පහන. අභයගිරිය, සමාධි පිළිමය හා තවත් ඓතිහාසික පූජනීය ස්ථාන රැසකින් පිරි මේ පිංබිම වැඳපුදා ගන්න දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ අවිවේකී දිවියේ පුංචි විරාමයකට අධ්‍යාත්මික සුවයක් විඳීමේ අපේක්ෂාවෙනි.

මෙලෙසින් පැමිණෙන බොහෝ දෙනකු මෙම පුණ්‍ය භූමියේ දින දෙකක් තුනක් ගතකරන්නේ මහත් ශ්‍රද්ධා සිතිනි.

මෙලෙසින් ඔබ අනුරාධපුරයට පිවිසෙන සෑම අවස්ථාවකම සැඳෑ කාලය විවේකිව ගත කරන්නට සොඳුරු වැව් තාවුලක් තෝරාගන්නේ අපේ උරුමයට දක්වන ළෙන්ගතු බැඳීමෙනි.

අප මේ සොඳුරු සැඳෑවේ ඔබව කැඳවාගෙන එන්නේ එවන් අසිරිමත් ඉසව්වකටය. ඒ අනුරපුරයේ අසිරිය තවත් හැඩ කරන කූඹිච්චම්කුලම උද්‍යානයයි. අනුරපුරයේ පැරැණි සංස්කෘතික උරුමය හෙළිකරන වැව් හා බැඳි සුන්දරත්වය වෙනස්ම අත්දැකීමකි. ඉර බැසයන යාමයක දිය රැලි මතින් මැවෙන්නේ අපූරු රිද්මයකි.

ඒ රිද්මය හා මුසුව පියඹා යන විහඟුන් කැළ මවන රටා පෙළ කැමරා කාච සටහනකට කදිම දසුනකි.

මෙම අසිරිමත් වූ උද්‍යානය නිර්මාණ වී ඇත්තේ කූබිඹිච්චම්කුලම වැව කේන්ද්‍රකර ගනිමිනි. අනුරාධපුරය නව නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරකින් පිහිටි මෙම උද්‍යානය නවීකරණය කර නිර්මාණය කර ඇත්තේ සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අසිරිමත් භූමියක් ලෙසිනි.

අනුරාධපුරය මහ නගර සභාව මඟින් සියලු නඩත්තු කටයුතු සිදු කරන මෙම කූඹිච්චම්කුලම සොබාදහමේ උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නවීකරණය කරමින් විවිධ විනෝද අංග රාශියක් ද එක් කර ඇත්තේ විශාල පිරිවැයක් යොදවමිනි.

ප්‍රදේශයේ පදිංචි ජනතාවට ව්‍යායාම කිරීම සඳහා තැනූ විශේෂිත ව්‍යායාම මංතීරුවක් හා විශාල ළමා උද්‍යානයකින් යුතු මෙහි සවස් කාලය දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් පිරී ගිය පාරාදීසයකකි.

මෙම උද්‍යානයට ළඟාවීම සඳහා ආයුර්වේද වට රවුම පසු කරමින් ගොඩගේ මාවත ඔස්සේ පැමිණිය යුතු වෙයි.

නවීකරණයෙන් පසු එක් වූ තවත් විශේෂ ස්ථානයක් වන්නේ නැරැඹුම් මධ්‍යස්ථානයයි.

රාත්‍රී කාලයේදී අහසේ් දිස්වන ග්‍රහ තාරකා දැක ගැනීමට හැකි ආකාරයට සකස් කළ මෙම ස්ථානයේ සිට අනුරාධපුරයේ අසිරිය අප දෑස් මානයේ මවන සිතුවම බෙහෙවින්ම චමත්කාරය.

එම ස්ථානයේම සකස් කළ විවෘත සංගිත මණ්ඩපය සැඳෑ කාලයේ ගීත ස්වරය පිරි සංගීතයෙන් රසවත් වන්නේ අනුරපුරයේ සිරිය තවත් හැඩ කරමිනි.

මෙ සියලු දේ ඔබට උරුමකර දෙන්නට අනුරාධපුරය නගර සභාව විසින් විශාල පරිශ්‍රමයක් ගනියි.

වැව් තාවුල්ලේ සිට ඇරැඹෙන විශේෂ සංචාරක බෝට්ටු සහ ඔරු සේවය සඳහා අය කරනු ලබන්නේ සාධාරණ මුදලකි.

පිපාසය සංසිඳගන්නට තැනූ ගිමන්හල් මාර්ගය දෙපස පිහිටයි.

මෙවන් වූ සිරියෙන් පිරි කූඹිච්චන්කුලම වැවේ අසිරිය මොහොතින් මොහොත වෙනස්ම දසුන් මවයි. ආනන්දයෙන් අසිරිය කරා රැගෙන යන මේ සැඳෑ යාමය විඳගන්න ඔබත් දිනයක මෙහි එන්න.

අනුරාධපුරයේ උරුමය සමඟ මේ ආනන්දනීය වූ උද්‍යානයේ සිරිය විඳිමින් පවුලේ සැම සමඟ මොහොතක් රැඳෙන්න.

විශේෂ ස්තූතිය

මිහින්තලේ සමූහ

ප්‍රියදර්ශනී කරුණාරත්න

 

2019/11/20 තරුණි බලන්න