මිනිසුන්ගේ හදවතේ තෙරපෙන ප්‍රශ්න සියල්ල මටත් තිබුණා

දෙසැම්බර් 4, 2019

බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරිය

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

 

‘සෑම සාර්ථක මිනිසකු පිටුපසම සිටින්නේ කාන්තාවකි.’ එසේ සාර්ථක මිනිසකු පසුපසම ගැහැනියක් වේ නම් ඔහු පසුකර කාන්තාවකට යා නොහැකි වන්නේ ඇයි..? අප මුලින්ම ඇය හමුවේ තැබිය යුතු වූ පැනය එයයි. එහෙත් අප ඇයගෙන් අසන්නට පෙර ඇය අපගෙන් ඇසූ පළමු පැනය ද එයයි.

ඇය සැබැවින්ම එම කියමනට අභියෝග කළ අපේ කාලයේ කාන්තාවකි. එසේම ඇය එම අභියෝගය ජයගත් අභිමානවත් දිරිය චරිතයකි.

සීතා අරඹේපොළ....................

අද මුළු රටක් කතා කරන කාන්තා චරිතය ඇයයි. බස්නාහිර පළාතේ ප්‍රථම ආණ්ඩුකාරවරිය ලෙසින් පිදුම් ලැබූ ඇය වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියකි. එසේම වේදිකාවේ රිදී සීනුවක් ලෙස ‘වියත් මඟ’ වේදිකාව අවදි කළ කාන්තා හඬයි. තම ජීවිතයට අරුතක් එක්කරමින් ‘තරුණී’ පත්ඉරු සටහන් අතර සටහන් තබන්නට ඇය අප පිළිසඳරට එක්වූයේ ඇගේ කාර්යබහුල දිවියේ පුංචි විරාමයක් ලබමින්..

ඔබ වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියක්. ඔබේ වෘත්තීමය ජීවිතයේ ලැබූ අත්දැකීම් හා දැනුමට වඩා වෙනස් මඟක් එක්වරම තෝරාගන්නවා. ඒ තමයි ‘වියත් මඟ’ වේදිකාව. ඔබ ඇයි මෙවැනි වේදිකාවකට නඟින්නේ ?

ඕනෑම පුරවැසියකුට තමුන්ගේ හිතේ කැකෑරෙන ප්‍රශ්න ගොන්නක් තිබෙනවා. ඒ තමයි රට හා සමාජය ගැන තිබෙන ගෞරවය. එය ඔබටත් තිබෙනවා. මටත් තිබෙනවා. එය අපේ රටේ ඕනෑම පුරවැසියකුට තිබෙනවා. නමුත් ඒ ගැන කියන්න... ඒ ගැන හඬක් නඟන්න... මහ ජනතාවත් සමඟ එම අදහස් බෙදා ගන්න තිබෙන අවස්ථාව අඩුයිනේ. ‘වියත් මඟ’ ඒ සඳහා හොඳම පසුබිමක් සකස්කර දුන්නා. ඒ විතරක් නොවෙයි ඇයි මේ රටේ කාන්තාවෝ දේශපාලනයෙන් ඈත්වෙන්නේ කියලා බැලුවොත් එයට හේතුවක් තිබෙනවා. ඒ තමයි අපේ රටේ දේශපාලන සංස්කෘතියේ තිබෙන විනය ගරුකබව පිරිහීම. ඇත්තටම විනය ගරුක පරිසරයක් තිබෙනවා නම් ඕනෑ තරම් කාන්තාවෝ ඉදිරිපත් වෙයි දේශපාලනයට ප්‍රවේශ වෙන්න. මම හිතනවා මට ලැබුණු ලොකුම සම්පතක් කියලා මේ ලැබුණු අවස්ථාව. මට අවස්ථාව ලැබුණා අනෙක් හැමෝටම වඩා ඒ ගැන කතා කරන්න. මගේ හිතේ තිබුණු ප්‍රශ්න ටික ජනතාවත් සමඟ කතා කරන්නට මම එය අවස්ථාව කරගත්තා. එමඟින් මට රටක ගමන් මඟ වෙනස් කිරීමේ ගමනට දායකවන්න අවස්ථාව උදා වුණා. ඒ විතරක් නොවෙයි නායකත්වය විසින් හදලා දුන්න විනය ගරුක පරිසරය හා වටපිටාව සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව මට ලැබුණා.

ඔබට මේ අවස්ථාව හිමිවුණේ කොයි ආකාරයෙන් ද?

මට මුලින්ම ‘වියත් මඟ’ වේදිකාවේ කතාවකට ආරාධනාවක් ලැබුණා. වෛද්‍යවරියක් ලෙස මගේ පළමු කතාව සාර්ථක වුණ නිසා වෙන්න ඇති මට දෙවැනි අවස්ථාව හිමි වුණේ. කාගෙ හරි පළමු කතාව අසාර්ථක නම් දෙවැනි කතාවකට ආරාධනා ලැබෙන්නෙ නැහැනේ. ජනතාවගේ ඉල්ලීමක් නැත්නම් කතා කොහොමහරි නවතිනවා. මට මුලින්ම ලැබුණු ඒ අවස්ථාව වාසනාවක් ලෙස සලකනවා. ඒ ගමන ඉදිරියට යෑමේ හැකියාව ලැබුණේ මගේ සැඟවී තිබුණු දක්ෂතාවක් මතු වීම නිසයි.

මේ ගමන කිසිවකුගේ උදවුවෙන් ආපු ගමනක් නොවෙයි. මගේ තිබුණු දක්ෂතාවත්, මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීමත් නිසා තමයි මේ ගමන එන්න ලැබුණේ. මගේ එක් කතාවක් ඇහුවාම තවත් කතාවක් අහන්න ජනතාවගෙන් ඉල්ලීමක් ලැබෙන්න ඕනේ. නැතුව මේ ගමන යන්න බැහැ. එහෙම නොවුණා නම් මේ ගමන නැවතිලා හුඟක් කල්. මම හිතනවා මට ලැබුණු ඒ අවස්ථාව මේ රටේ සෑම පුරවැසියකුටම ලැබෙනවා නම් හරිම වටිනවා. ඒ තරමටම මිනිසුන්ට කතාකරන්න දේවල් හිතේ තියෙනවා. ඔවුන්ට එම ප්‍රශ්න කතා කරන්න වේදිකාවක් අවශ්‍යයි. එම අවස්ථාව මට ලැබුණා. මට එම අවස්ථාව ලබාදුන් ‘වියත් මඟ’ සභාපතිතුමා ඇතුළු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. මේ කතාවේදී මහා සංඝරත්නය මට දුන්න ආශීර්වාදය හා අනුශාසනාව ගෞරවය විශාල ශක්තියක් වුණා. ඒ වගේම මේ රටේ සුවහසක් වූ ජනතාව දැක් වූ ප්‍රතිචාරය අති විශාලයි. එය මම ඉතාම ගෞරවයෙන් හා කෘතඥපූර්වකව සිහිපත් කරනවා.

 

ඡායා - ශාන් රූපස්සර

2019/12/04 තරුණි බලන්න