දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන්ට නම් තැබීමේ උත්සවය

පළමු වතාවට පුංචි දරු දැරියන්ට අවස්ථාවක්
ජනවාරි 10, 2022

 

දෙහිවල සත්වෝද්‍යානය කවදත් පුංචි දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් ගෙන ආවේ අපූරු වින්දනයක්. සතුන්ට ආදරය කරන, පරිසරයට ආදරය කරන කොයි කවුරුත් අවුරුද්දකට වතාවක් දෙහිවල සත්තු වත්තට යන්න අමතක කරන්නේ නැහැ. කෝවිඩ් වසංගත අවධියේ නිවෙස්වලටම කොටුවෙලා ඉන්න සිදුවීම නිසා රට යළි විවෘත වූවාට පසු දෙහිවල සත්වෝද්‍යානය නරඹන්න විශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්තා.

මෙවර නත්තල දෙහිවල සත්වෝද්‍යානය නරඹන්න ආ දුවාදරුවන්ට වගේම ඒ අයගේ පවුලේ අයටත් හරිම සුවිශේෂී දවසක් වුණා. ඒ දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින්ම උපන් පැටව් පස්දෙනකුට නම් තැබීමේ උත්සවයක් නත්තල් උත්සවයක් ද සමඟින් සංවිධානය කරලා තිබුණු නිසා. මෙවර සත්වෝද්‍යානයේ නත්තල් උත්සවයක් පැවැත්වූණේ පළමුවතාවට වීමත් විශේෂයි.

මෙවර නත්තල දෙහිවල සතුන් වත්තට විශේෂ වුණේ ඇයි? ඒ පසුගිය කාලයේ සතුන් වත්තේ ඉපදුණු පුංචි පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව පුංචි දරු දැරියන් කිහිප දෙනකුට ලබා දුන් නිසා. මෙය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියගේ අදහසක්.

නම් තැබීම සිදු වුණේ මෙහෙමයි. අවුරුදු 18ට අඩු දරුවන්ට අලුත උපන් පුංචි සත්තු බබාලට නම් එවන්න තරගයක් තිබුණා. වට්ස්ඇප්, ෆේස්බුක්... සමාජ මාධ්‍යජාලා ඔස්සේ, මාධ්‍ය ඔස්සේ, තැපෑලෙන් මේ අයට ගැළපෙන නම් ලියලා එවා ඒ තරගයට ඇතුළු වෙන්න අවස්ථාව ලැබී තිබුණා. ඒ විතරක් නෙමෙයි සත්වෝද්‍යානය නරඹන්න පැමිණි දරුවන්ටත් තමන් කැමැති නමක් යෝජනා කරන්න සත්වෝධ්‍යානයට ඇතුළුවන ප්‍රවේශ දොරටුවෙත් ඒ වෙනුවෙන් පෙට්ටියක් තිබුණා. දරුවන්ගේ උද්‍යයෝගය මොන තරම්ද කියලා තේරුණේ මේ සඳහා නම් 2000ක් පමණ යොමුකර තිබීමෙන්.

මේ නම් කැඳවීම අවසන් දිනය වුණේ දෙසැම්බර් 20 දා. දෙසැම්බර් 22 දා වනවිට ලැබී තිබුණු අති විශාල නම් අතරින් නම් පහක් තෝරාගත්තා. තෝරාගත් ඒ නම් පහ ලියා එවූ දරුවන්ට ඒ අයගේ පවුලෙ උදවිය සමඟින් එන්නටැයි දෙහිවල සත්වෝද්‍යානය ඇරියුම් කළා.

ඒ විදිහට තමයි මේ දරුවන් නත්තල් දා දෙහිවල සතුන් වත්තට එන්නෙ. එදා මේ දරුවන් තමන් නම් දාපු සත්තු සජීවීව දැකගත්තා. ඒ අයගේ පින්තූර ළඟින් නම සහිත බෝඩ් එක එල්ලා තැබුවේත් ඔවුන් විසින්ම යි.

මේ අලුත් නම් තෝරා ගනිද්දී ඒ පැටවුන්ට ගැළපෙන නම කතා කරලා අඬගැසීමට පහසු, ගැහැනු ද පිරිමිද කියන කාරණා සැලකිල්ලට ගෙන තමයි තෝරා ගත්තේ.

මේ වගේ විදෙස් සතුන් බොහෝ විට අපේ රටට ලැබෙන්නේ සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ. අලුතින් පැටවෙක් ලැබුණාම වැඩිහිටි සත්තු හැමවිටම ඉන්නේ රංචු වශයෙන් පැටවා ආරක්ෂා කරගන්න සූදානමිනුයි. අලුත උපන් පැටව් පස්දෙනා නරඹන්න යන ගමනට අපත් සමඟ එකතු වුණේ දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය. සත්ත්ව විද්‍යාව පිළිබඳ උපාධිය ලැබූ ඇය ඉතාම ප්‍රායෝගිකව ක්‍රියාකාරී අන්දමින් තම රාජකාරියේ නියැළෙනවා.

 

ඔරික්ස් ගව පැටවාට සෝරු නම ධනාංජනාගෙන්

‘සෝරු‘ කියන හුරතල් නාමය ලැබුණේ ඇරැබියන් ඔරික්ස් ගවයෙකුට. මෙයා ගැහැනු සතෙක්. නාවල ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන ගොතටුව ප්‍රදේශයේ පදිංචි ඩී. ධනාංජනා දුව තමයි ‘සෝරු‘ නම දැම්මේ. ඇරැබියන් ඔරික්ස් අප්‍රිකාවේ ඉහළට වන්න අරාබි කොටස නිජබිම කරගත් සතෙක්.

 

ගැහැනු නයිල් හිපෝ පැටවාට ඔකී නම ලැබෙයි.

මීළඟට අපේ දසුනට එක්වුණේ හිපපොටේමස් පැටියා. හරිම හුරුබුහුටි සතෙක් වුණු මෙයාට ලැබුණේ ‘ඔකී‘ කියන නාමය. මේ නයිල් හිපෝ පැටියා ගැහැනු සතෙක්. මේ නම දැම්මේ පුත්තලම පදිංචි එච්. ඊ. නතාලි දෙව්මිණි දියණිය.

සාමාන්‍යයෙන් අවුරුදු 15 - 18 අතර ආයුෂ ඇති මේ සත්තු කැලේ දී එවැනි වයස් ප්‍රමාණයක් ජීවත් වුණාට සත්වෝද්‍යානයක දී අවුරුදු 30ක පමණ කාලයක් ජීවත් වෙනවා. ‘ඔකී‘ ගේ ආච්චියි, සීයයි හියුගෝ සහ නෙලා. මේ දෙන්නා ලැබුණේ චෙකොස්ලෝවැකියාවේ තිබෙන ප්‍රාග් සත්වෝද්‍යානයෙන්. මේ පැටියා වතුර යටදිත් කිරි බොනවා. මේ පැටව් ප්‍රසූත වෙන්නේ වතුරෙදි.

 

ඩිනෝ නම ලැබූ පුංචි බූරු පැටියා

කළුබෝවිල පදිංචි නදී දා සජිද් දැරිය ‘ඩිනෝ‘ කියන නාමය තැබු‍වේ පිරිමි බූරු පැටවකුට. මේ පැටියත් සත්වෝද්‍යානයේ සේවකයන්ගේ ආදරය නොඅඩුවම විඳිනවා.

 

සිළු වඳුරු පැටවුන් දෙදෙනාට ඩැන්ඩි සහ මාෂා නම් ලැබෙයි

එදා දවසේ නම් ලැබුණු අනෙක් පැටව් දෙදෙනා සිළු වඳුරන්. ගැහැනු සිළු වඳුරු පැටවා ‘මාෂා‘. බුලත්සිංහ පදිංචි යසුනි නිවර්තනා දැරිය මේ නම තැබුවේ. පිරිමි සිළු වඳුරු පැටවා ‘ඩැන්ඩි‘. ‘ඩැන්ඩි‘ නාමය තැබුවේ යක්කල පදිංචි ගිහන්සා සනුත්මි දැරිය. නම් තැබීමේ උත්සවයට පසුව දින කිහිපයක් ගෙවී යද්දී තවත් සිළු වඳුරු පැටවෙක් ඉපදුණා. වසර දෙකකට ආසන්න කාලයක් කෝවිඩ් වසංගතය නිසා මහජනතාවට දෙහිවල සත්වෝද්‍යානය විවෘත වූයේ නැහැ. මේ කාලය ඇතුළත පැටවුන් 93 දෙනකු පමණ සත්වෝද්‍යානයේ සත්තු අතරට එකතු වී තිබෙනවා.

එදා මේ උත්සවයට වනජීවි සංරක්ෂණ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පාලිත ප්‍රනාන්දු යන අයත් සහභාගි වූවා.

ඉදිරියේදී සතුන් ඡායාරූපවලට නඟා ඒ පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන්න, හොඳම ඡායාරූපය තෝරන්න, සතුන්ව සිතුවමට නඟා ඒවා ප්‍රදර්ශනයකට එක්කිරීම, ඒ ආශ්‍රිත වැඩමුළු පැවැත්වීම, සතුන් පිළිබඳ අධ්‍යයන කටයුතු කිරීම වැනි දරුවන් සහ සතුන් අතර සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ විවිධ ව්‍යාපෘති දියත් කිරීමට වාර්තමාන අධ්‍යක්ෂ ජනරාල්තුමිය සූදානමින් සිටියි.

එදා නත්තල් දා දෙහිවල සත්වෝද්‍යානය නැරැඹීමට පැමිණි පිරිස 9000ක් ඉක්මවලා. ඇත්තෙන්ම ඔබටත් දූ දරුවන් සමඟ සතුන් වත්තට පැමිණිලා සෞඛය මාර්ගෝපදේශ නීතීන්ට අනුගත වෙමින් රිසිසේ සතුටුවන්නට පුළුවන්. එය පුංචි දරුවන්ට සොබා දහම හා සත්ත්වයන් අතර සබඳතාවක් ගොඩනඟාගන්නට දෙන්න පුළුවන් ආදරණීය අවස්ථාවක්.

 

ඡායාරූප - ශාන් රූපස්සර