වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ශ්‍රී ලංකාවේ උප ඇමැති පදවියකට පත් ප්‍රථම කාන්තාව
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදී. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක තෙවැන්නයි මේ.
ලාංකේය සමාජය තුළ කාන්තාව ඇද බැඳ තැබූ සාම්ප්‍රදායික බැමිවලින් මිදී මෙරට දේශපාලනය තුළ විප්ලවකාරී දේශපාලන ගමනක් සනිටුහන් කළ කාන්තා චරිතයක් ලෙස විවියන් ගුණවර්ධන මැතිනිය හඳුන්වා දීමට පුළුවන. ඇය අපට වැදගත් වන්නේ අපේ පාර්ලිමේන්තුව තුළ උප ඇමැති ධූරයකට පත් පළමු කාන්තාව නිසාම පමණක් නොව දේශපාලන පවුල් පරිසරයක හැදී වැඩී දැඩි නීති රීති මධ්‍යයේ වුව ඇය පොදුජන යහපත උදෙසා සිය ජීවිතයම කැප කළ නිසාය. ඒ සඳහා විටෙක ඇය තම ජීවිතේ වැදගත් සන්ධිස්ථානයන්හිදී එකල සමාජයේ කාන්තාවන් නොගන්නා විප්ලකාරී තීන්දු තීරණ ගැනීමට පසුබට නොවූවාය. ඇය ආ ගමන් මඟ දෙස කෙරෙන සියුම් විපරමකි මේ.
විවියන් ගුණවර්ධන නම් විප්ලවකාරී චරිතය වෙසෙසින්ම ඇගේ පවුල් පරිසරයෙන් ලැබු ආභාසය නිසා නිර්මාණය වූවක් වන්නට පුළුවන. ඇගේ පියා වෘත්තියෙන් වෛද්‍ය ඇලන්සන් ගුණතිලකයි. මව ඇන්ජලිනා ගුණවර්ධනයි. වාමාංශික ව්‍යාපාරයේ ප්‍රකට දේශපාලන චරිත දෙකක් වූ පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ඇන්ජලිනාගේ සොයුරෝ වූහ. ඒ නිසා විවියන්ට කුඩා කල සිටම මේ මාමාවරුන් දෙදෙනාගේ සෙවණෙහි ඉදිමින් ඔවුන්ගේ ගුරුහරුකම් ලබන්නට අවස්ථාව සැලසුණි. පසු කලෙක ඇය දැක්වූ එඩිතර සහ බුද්ධිමත් බව, කාර්යශූරත්වය මොවුන්ගේ ආභාසයෙන් නිසා වන්නට ඇත. 1916 සැප්තැම්බර් 18 දා ඇය කොළඹ දී උපත ලැබුවාය.
මෙරට පළමු කාන්තා විදුහල වූ කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනය ලැබූ ඇය මැට්රිකියුලේෂන් විභාගය විශිෂ්ට ලෙස සමත් විය.ඉන්පසු විවියන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අාශාවක් විය. නමුත් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නුසුදුසු යැයි තරයේ විශ්වාස කළ ඇගේ පියා එය ප්‍රතික්ෂේප කළේය. මේ තීරණයට එකඟ නොවූ ඇය පියාට හොරෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනීසිට විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. විභාග ගාස්තු හා පොත් පත් ලබා ගන්නට උපකාර කළේ රොබට් මාමා සහ ඇගේ සොයුරාය. රහසේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී ඒ බව දැනගත් ඇගේ පියා ඇයව නිවාස අඩස්සියේ තැබුවාය. එහෙත් ඇය සිය උපාධිය අවසන්කර උපාධිධාරිනියක් වූවාය. උරණ වූ ඇගේ පියා ඇයට උපකාර කළ රොබට් මාමාට ඔවුන්ගේ නිවෙසට ඒම තහනම් කළේය.
රොබට් හා පිලිප්ගේ ඇසුර හේතුවෙන් ඇයට පාසල් කාලයේදීම සූරිය මල් ව්‍යාපාරය හා සම්බන්ධ වන්නට අවස්ථාව සැලසුණි. 1934දී මුළු රටම මැලේරියා වසංගතයෙන් පීඩාවට පත්ව තිබිය දී ඇගේ පියා ඔවුන්ගේ නිවෙසේ මැලේරියා රෝගීන්ට උවටැන් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. එහි ස්වෙච්ඡාවෙන් වැඩ කරමින් මහජනතාව වෙනුවෙන් සේවය කරන්නට ඇය කටයුතු කළාය. මේ සියලු අත්දැකිම් පසු කලෙක ඇගේ දේශපාලන දිවියට විශාල පන්නරයක් ලබා දුන්නේය.
ඇය පියාට හොරෙන් උපාධිය හදාරන අතරතුර තවත් රහසිගත කටයුත්තක නිරත වුණි. ඇගේ පාසල් මිතුරිය වූ කුසුමා ගුණවර්ධනත් සමඟ එක්වී වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන රැස්වීම් හා සාකච්ඡාවලට සහභාගි වෙමින් එවකට පැවැති සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තාය. එය ඇගේ ජීවිතයේ ඊළඟ විප්ලවකාරී තීරණයට හේතු විය. ඇයට ලෙස්ලි ගුණවර්ධන හමු වන්නේ මේ රැස්වීම් සාකච්ඡාවලදීය. ලෙස්ලි ලන්ඩනයේ උසස් අධ්‍යාපනය හදාරන කාලයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වූ ඇන්.ඇම්., එස්. ඒ. වික්‍රමසිංහ, කොල්වින් සහ පිලිප් යන අය මිතුරන් විය. මේ සියලු දෙනා මෙන්ම ලෙස්ලි ද උසස් අධ්‍යාපනය නිමවා ලංකාවට පැමිණ පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූහ. ලෙස්ලි උගත් ධනවත් ප්‍රභූ පවුලකින් පැවත ආවත් සිය බෑණා ලෙස පිළිගන්නට විවියන්ගේ පියා අකැමැති විය. ලෙස්ලිගේ කුල පදනම ඊට හේතු විය. තවත් වරක් ඇයට පියාගේ දැඩි රැකවල් මාධ්‍යයේ ජීවත් වන්නට සිදුවිය. එකල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කළේ නිෙවසට පැමිණෙන ලියුම්කරු මඟිනි. නමුත් ඒ බව දැනගන්නා ඇගේ පියා පසුව ඇයව නිවාස අඩස්සියේ ද තැබුවාය. මේ නිසා දැඩි මානසික කායික පීඩනයකින් ඇය පසුවූවාය.
විවියන්ව විවාහ කරගන්නට සූදානම් බවත් සතියක් ඇතුළත ඊට පිළිතුරු අවශ්‍ය බවත් දන්වා ලෙස්ලි ඇගේ පියාට ලිපියක් යැව්වේය. ඊට පිළිතුරු නොලැබිණි. විවියන් සිරකරගෙන සිටින බව දක්වමින් ඇගේ පියාට එරෙහිව හබයාස් කෝපුස් ආඥාවක් ඉල්ලා ලෙස්ලි උසාවි ගියේය. ඔහුගේ නීතිඥවරයා වුයේ පසුව මෙරට විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාය. විවියන් ඇය විඳි මානසික පීඩාව උසාවියට විස්තර කළාය. පිළිතුරු දෙමින් පියා ප්‍රකාශ කළේ ඇය ලෙස්ලි සමඟ විවාහ වුවහොත් ඔහුගේ දේශපාලනය නිසා ඇගේ දිවිය කාලකණ්ණි වන බවයි. දැනටමත් තමා එම දේශපාලන දර්ශනය සහිත පක්ෂයේ සාමාජිකාවක්වන බවත් තමාට එය ප්‍රශ්නයක් නොවන බවත් ඊට පිළිතුරු ලෙස ඇය උසාවියට දන්වා සිටි නිසා ඇගේ පියා නඩුවෙන් පරාජය විය. නඩුවෙන් සතියකට පසු 1939 ජනවාරි 30 දා විවියන් හා ලෙස්ලි කොළඹ දී විවාහ දිවියට එළඹුණි.
විවියන් සිය නිවෙසින් ඇරඹූ විප්ලවකාරී බව මුළු ජීවිතය පුරාම පැතිරුණි. තම සැමියා සමඟ දේශපාලනයේ නිරත වූ ඇයට අත්විඳින්නට වූයේ සුන්දර දේවල් නොවේ. සිරගතවීම්, වෙස්වලාගැනීම්, නීති විරෝධී ගමන් හා අභියෝගයන්ට මුහුණ දීමට ඇයට නිතරම සිදුවිය. මේ නිසා ඇයට පෞද්ගලික ජීවිතයක් නොතිබූ තරම්ය. කාන්තාවක් ලෙස ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදුකරන්නට වූයේ ද දැඩි බාධා මාධ්‍යයේය. ඒ ලෙස්ලිගේ පසුපසින් පොලිසිය හඹා යමින් සිටි නිසාය. වරක් ඇය රෝහලේ සිටියදී ලෙස්ලි ඇයත් කුඩා බිලිඳියත් බැලීමට පැමිණියේ වෙස්වලාගෙන රැකවලුන්ට නොපෙනෙන්නටය. පොලිසියේ ලුහු බැදීම් වැඩි වනවිට ඔවුන් දෙදෙනා වෙස්වලාගෙන ඉන්දියාවට ගිය අතර එහිදී ද දේශපාලනයේ නිරත වූ නමුත් ඔවුන්ට එහි ගත කරන්නට වූයේ ඉතා දුෂ්කර ජීවිතයක්ය. අවසානේ සිය කුඩා දියණිය ඇගේ මව්පියන් වෙත හොර රහසේ නැවත ලංකාවට එවීමට ද සිදුවිය. නමුත් මේ සියලු අභියෝග මැද ඇය දේශපාලනයේ නිරත වූවාය.
දුප්පත් ජනතාවගේ ප්‍රශ්න සොයා බැලු නිසා එකල ඇය මහත් ජනාදරයට පත් වූ අතර ඇය හැඳින්වූයේ විවී යන ආදරණීය නාමයෙනි. ඇය 1950 දී කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වූවාය. එයින් ලැබූ පන්නරයෙන් 1956 මහ මැතිවරණය ඉතා විශිෂ්ට ලෙස ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. 1964 ජනවාරි 18 පැවැති අතුරු මැතිවරණයට වාමාංශික එක්සත් පෙරමුණෙන් තරග කරමින් බොරැල්ල ආසනය ජයග්‍රහණය කළාය. පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳව උප ඇමැති පදවියට පත් වන්නේ ඉන්පසුවයි. ඇය උප ඇමැති පදවියකට පත් ප්‍රථම කාන්තාවයි. 1970 දී දෙහිවල ගල්කිස්ස ආසනය ද ජයග්‍රහණය කරන්නට ඇයට හැකි විණි. ඇය රටේ කාන්තාවන් වෙනුවෙන්, නිර්ධන පංතිය වෙනුවෙන් අසාධාරණයන්ට එරෙහිව මහා හඬක් බවට පත් වූවාය. මෙම වීර එඩිතර විප්ලවකාරී කාන්තා නායිකාව 1996 මාර්තු 10 දා දැයෙන් සමු ගත්තාය.ත්‍යාගා ශ්රීමාලී බණ්ඩාර