වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අපේ ප්‍රේම සම්බන්ධය පටන් ගන්න කාලේ සනත් කිවුවෙ එයා හොයන්නේ Bullet Proof කෙල්ලෙක් කියලා
සිත් සසල කරන අනුවේදනීය අනතුරක් ගැන නැවත සිිහිපත් කිරීම මහත් වේදනාත්මකය. කවුරුත් නොසිතන මොහොතක පසුගියදා සිදු වූ අමාත්‍ය සනත් නිශාන්ත මුහුණ දුන් රිය අනතුරද එවැන්නකි. කවුරුන් කෙසේ කුමක් කිවුවත් මෙවැනි රිය අනතුරක් දකිනා විට සංවේදි හදවතක් ඇති අයෙකුට ඇති වන්නේ මහත් වේදනාවකි. එම අමිහිරි සිදුවීම හමුවේ එම අනතුර පිළිබඳ විවිධ කතා බොහෝ පැතිර ගියේය. එම සිද්ධිය පිළිබඳ සටහනක් තැබීමට අපි මෙහි ඉඩ වෙන් නොකරමු. මන්ද සනත් නිශාන්ත ඇමැතිවරයා දැන් මෙලොව හැරගොස් අවසන්ය.
ඒ අමිහිරි සිදුවීම පසුකර අපි අතීතයට පියවර තබමු. එම අතීතය සැබැවින්ම සොඳුරුය. ඉතාම හැඟීම්බරය, බෙහෙවින්ම සංවේදීය. සනත් නිශාන්ත නම් ක්‍රියාශීලී දැවැන්ත පුද්ගලයාගේ ජීවිතය හා බැඳුණු සොඳුරු වූ කාල පරිච්ඡේදයක සටහනක් වෙයි. ඒ අතීතය තුළ සනත් නිශාන්ත නම් දේශපාලන චරිතයට එහා ගිය සොඳුරු මිනිසෙකුගේ ආදරණීය හදවතේ වූ ළෙන්ගතුකම ගැන කතාවක්, අපූරු ප්‍රේම වෘත්තාන්තයක සටහන් ගොන්නක් තිබෙයි. මේ ප්‍රේම කතාවේ කතා නායිකාව බවට පත් වන්නේ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ ආදරණීය බිරිය අධිනීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මියයි.
තම අාදරණීය සැමියාගේ හදිසි වියෝව හමුවේ මහත් සේ කම්පාවට පත්ව සිටින ඇය සැබෑම ධෛර්යවන්ත කාන්තාවකි. කිසි ලෙසකින්වත් සිතා ගන්නටවත් බැරි මොහොතක තම සැමියාගේ සමු ගැනීම හමුවේ අසරණව සිටින ඇය ඉතාම ශක්තිවන්තව තම ශෝකය දරාගෙන සියලු දුක තම හදවත තුළ සඟවාගෙන ලෝකය ඉදිරියේ සනත් නිශාන්ත නමැති දක්ෂ දේශපාලනඥයාගේ භූමිකාවේ අඩුව පුරවන්්නට උත්සාහ ගැනීම ඉතාම අගය කළ යුත්තකි. තම සැමියාගේ වියෝව හමුවේ හඬා වැටෙනවා වෙනුවට ඇය දිරියෙන් ඔහු ගිය ගමන නොනැවතී ඉදිරියට තබන්නට ගත් උත්සාහය සමස්ත කාන්තා පරපුරටම අාදර්ශයකි. ඒ ආදර්ශවත් කාන්තාව තම හදවතේ තෙරපෙන දුක සඟවාගෙන නෙතෙන් හැලෙන කඳුළු කැට සිරකරගෙන දරුවන් හතරදෙනෙකුගේ ආදරණීය අම්මා ලෙසින් අභියෝගාත්මක ගමනකට මුල පුරයි. ඒ අභියෝගාත්මක ගමන් මඟට මුල පුරන ඇය මේ අමිහිරි සිදුවීම සිහිනයක් ලෙසින් දකිමින් සොඳුරු අතීත අාවර්ජනයකට මුල පිරුවේ සනත් නිශාන්ත නම් සොඳුරු මිනිසා සමඟ බැඳුණු 20 වසරක අතීත මං තලාවේ සොඳුරු මතකයන් අවදි කරමිනි.
“මට සනත් නිශාන්තව මුලින්ම මුණ ගැසුණේ මාදම්පේ දේවස්ථානයකදී. ඊට පස්සේ කිහිප වරක්ම උසාවියේදී මම එයාව දැක්කා. ඒ කියන්නේ 2005 වර්ෂයේදී තමයි අපගේ මුල්ම හමුවීම සිදුවුණේ. මේ කාලයේ දේශපාලනය ටිකක් වෙනස්ම කාලයක්. වයඹ මැතිවරණය පැවැත්වුණේ මේ කාලයේදීමයි. මම හිටියේ කොළඹ නීති පීඨයේ. නීති පීඨයේ ඉගෙන ගන්නා අතර මාස තුනක පුහුණු කාලයකට මම හලාවත උසාවියේ හිටියා. මේ කාලයේදී තමයි ඔහු උසාවියට එන්නේ. සනත් ඒ කාලයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්.
දවසක් අපූරු සිද්ධියක් වුණා. එදා මගේ අතින් පෑනක් බිම වැටුණා. මේ පෑන ගිහින් නැවතුණේ එයා හිටිය පුටුව ළඟ. පස්සේ මං ගිහින් ඒක ගන්න නැවෙනකොටම එයා මට සුවපත් වේවා කිවුවා. ඇත්තටම මට ඒ වෙලාවේ හිනා ගියා. පස්සේ මාස කිහිපයක්ම එයා මට හමුවුණේවත් දැක්කේවත් නැහැ. නමුත් තව දවසක මට එයාට ගමේ වැඩකට කතා කරන්න සිද්ධ වුණා. එදා ඒ කතා කරනකොට අපිට අහම්බෙන් වුණු සිද්ධියත් එයාට මතක් කළා. අපේ සම්බන්ධය පටන් ගන්නේ ඒ විදිහට. අන්තිමට මේ හිතවත්කම අාදර සම්බන්ධයක් බවට පෙරළුණා.
ඇත්තටම මම එයාට මුලින්ම කැමැති වෙන්න හේතුව වුණේ එයාගේ දක්ෂ කතා විලාශයට. එයා හැම දෙයක්ම කතා කරන්නේ හරියටම මාතෘකාවට පිළිවෙළට. හිත් අැදගන්නා විදිහට හරිම ආකර්ෂණීය විදිහට හැම කෙනෙකුටම ගරු කරලා හරිම ළෙන්ගතු විදිහට කතා කරනවා.
මේ කාලේ අපේ සම්බන්ධය හුඟාක් දෙනකුට අලුත් කතාවක් වුණා. සනත් තරුණ මන්ත්‍රී කෙනෙක් නිසා එයාගේ හිතවත් අය හම්බ වුණාම මන්ත්‍රීතුමා කවදද මැරි කරන්නේ.... කාවද කසාද බඳින්නේ කියලා අහනවා. එතකොට එයා කියන්නේ මම බඳින්න හොයන්නේ බුලට් පෘෘෆ් කෙල්ලෙක්ව කියලා. එතකොට හුඟ දෙනෙක් දන්නවා ඒ කියන්නේ මං ගැන තමා කියලා.
සොඳුරු අතීතය ගැන ඇය සිහිපත් කරන්නේ මහත් හැඟුම්බරවය. ඔහු හා ඇයගේ හමුවීම් අතරේ බොහෝ සොඳුරු අතීත සටහන් විය. ඒවා බොහෝ විට නොගැළපීම් වෙනුවට ගැළපීම්ය. ඒ නිසාම මේ ප්‍රේම වෘත්තාන්තය මිහිරි සිද්ධි ගොන්නක් සමඟ වසර තුනක්ම ඉදිරියට ගලාගියේ ඉතාම සතුටිනි.
“ඇත්තටම එයා මාව හම්බ වෙන්න එනකොට මොකක් හරි පුංචි තෑග්ගක් ගේනවා. දවසක් එයා CD එකක් ගෙනත් තිබුණා. ඒ කාලේ CD තමයි ජනප්‍රියම. ඒ CD එක ගෙනත් එයාගේ වාහනේ ඇතුළේ දැම්මා. අයියෙ.... මේ මොකක්ද කියලා මම එයාගෙන් ඇහුවා. ඇත්තටම එයා හිතලා තියෙන්නේ මම කැමැති ඒ වගේ ගීතවලට කියලා. නමුත් එයා කැමැති සුභාවිත ගීතවලට. පණ්ඩිත් අමරදේව, අමරසිරි පීරිස්, නන්දා මාලිනිගේ ගීත තමයි එයා කැමැති. මමත් කැමැති ඒ ගීතවලට. ඒ වගේ අපි දෙන්නා අතරේ හැමවෙලාවේම තිබුණේ නොගැළපීමට වඩා ගැළපීම තමයි.
සනත් දේශපාලනයේ හුඟාක් අභියෝගවලට මුහුණ දුන්න කෙනෙක්. එයාගේ පවුලේ අය දේශපාලනය නිසා හුඟාක් බැටකාපු අය. නමුත් අපේ පවුල සාමාන්‍ය ජීවිත ගත කරන අය හිටපු පවුලක්. ඒ කාලේ අපේ පළාතේ දේශපාලනය දැන් වගේ නෙමෙයි හරි වෙනස්. ඒ නිසා පවුලේ අය අපේ සම්බන්ධයට කැමැති වුණේ නැහැ. සනත් මට වඩා සමාජ අත්දැකීම් වැඩි කෙනෙක්. එයාට විශාල ජනතා පිළිගැනීමක් තිබුණා. හැම වෙලාවෙම එයා හිටිියේ සාමාන්‍ය ගමේ මිනිස්සු අතර. ඒ නිසා සනත් මට වඩා සමාජීය වශයෙන් හුඟාක් ඉදිරියෙන් හිටියේ. කොහොම හරි අපි අවුරුදු 3ක් අාදරය කරලා 2008 දී විවාහ වුණා.
අපි විවාහ වුණාට පස්සේ මම උසාවියේ කටයුතුවලින් ඉවත් වුණා. සනත්ට ඕනේ වුණේ රැකියාවක් ලෙස නීතිඥවරියක් වුණු බිරියක් නොවෙයි. එයාට ආදරයෙන් ඉන්න, දරුවන්ට ආදරය කරන අම්මා කෙනෙක්. ඒ නිසා එයා අපේ ලොකු දුව ලැබුණු දවසේ පටන්ම මට කිවුවේ අම්මා කියලා. ඒ තරමටම එයා අපට අාදරයෙන් හිටියේ.
සනත් විවාහ වුණාට පස්සේ අපේ බැඳීම තවත් වැඩි වුණා. එයාගේ දේශපාලනයට හයියක් වෙන්න මාව එයාගේ පෞද්ගලික ලේකම් හැටියට පත් කළා. සනත්ට ඕනේ වෙලා තිබුණේ මාව හිර කරලා ගෙදර උයන පිහන වැඩ ටිකයි, දරුවන්ගේ වැඩ ටිකයි කරගන්න විතරක් නොවෙයි. එයා මට සම තැනට වඩා හැම වෙලාවෙම නිසි තැන දුන්නා. සනත් මාව රාමුවකට කොටු කරලා හිර කරලා තියන්න කවදාවත්ම හැදුවේ නැහැ. හැම වේලාවෙම එයාගේ හිතවතුන්ට මාව හඳුන්වලා දුන්නා. අවශ්‍ය තැනට මාව යැව්වා. ඒ වගේ හොඳ දැක්මක් ඇතුව තමයි එයා පවුල් ජීවිතය ගත කළේ.
හැබැයි එයාගේ නියෝගවලට බැඳිලා ඉන්න ගතියක් මට තිබුණා. ඔහු හරියට කෙළින් කතා කරන කෙනෙක්. ඒ වගේම කිවුවොත් යමක් කරන චරිතයක්. ඒ නිසා එයා කිසිම දවසක ආයාචනා කරන්නේ නැහැ. පුළුවන් නම් පුළුවන් කියලා කියනවා. බැරි නම් බෑ කියලා කෙළින්ම කියනවා. ඇත්තටම එයාගේ ඒ සෘජු පෞරුෂයට තමයි මම හුඟාක් ආකර්ෂණය වුණේ. සනත් නිශාන්ත කියන්නේ මහ පොළොවේ පය ගහලා ජීවත් වුණු මනුස්සයෙක්. ඒ නිසා එයාට කවුරු මොනවා කිවුවත් අහිංසක දුප්පත් ගමේ මිනිස්සු හදවතින්ම අාදරය කළා. ඒ අාදරය ලබන්න හැමෝටම බැහැ.
මට මේ තරම් ජීවිතයට හයියක් ලැබුණේ සනත්ගෙන් ලැබුණු ආභාෂය නිසයි. එයාට ඉඩක් ලැබුණු හැම මොහොතකම මාත් එක්ක දරුවොත් එක්ක ඉන්න තමයි ආසා කළේ. සිද්ධිය වුණු දවසේ පාන්දර 1.15ට මම කෝල් කළා. අම්මා මම වෙඩින් එකෙන් පිටත් වුණා. මම පැයෙන් ගෙදර කියලා කිවුවා. පැයක් විතර ගියාට පස්සේ මම කෝල් කළා. මම හිතුවේ එයාට නින්ද ගිහින් කියලා. නමුත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ..”
ඇයගේ ඒ වදන් පෙළත් සමඟ ඇය බොහෝ හැඟුම්බර විය. ඒ හැඟුම්බර වදන් අතුරින් ඇය ධෛර්යයෙන් යුතුව සනත් නිශාන්තව නමැති චරිතය ගැන කතා කළේ මහත් වේදනාත්මකව.
“මගේ දරුවන්ටයි මටයි අහිමි වුණේ ආදරණීය පියෙක් විතරයි. නමුත් ඔහු අපේ රටට හුඟාක් වැඩ කරන්න හැකියාව තිබුණු පුද්ගලයෙක්. එයාට කිසිම දවසක මහන්සියක් දැනුණේ නැහැ. හරිම එඩිතරයි. අයුක්තිය, අසාධාරණයට එයා කිසිම දවසක නැමුණේ නැහැ. අපේ රටට ලොකු වැඩක් ගන්න හැකියාව තිබුණු මේ වගේ උතුම් මනුස්සයෙක් අහිමි වීම අපේ ජාතියේම අවාසනාව කියලයි මම හිතන්නේ.”