වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අලුත් විදිහට හිතුවොත් වැටි වැටි යන කොස්වලිනුත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්
කොස් ගස ‘බත් ගස’ ලෙසින් හැඳින්වීමට අපේ මුතුන් මිත්තන් පෙළඹී ඇත්තේ, වේලක් පිරිමසා ගැනීමට සාමාන්‍ය පවුලකට කොස් ගෙඩියක් ඕනෑ තරම් ප්‍රමාණවත් වූ බව නිසාම වන්නට ඇත.
නිකම් ලැබෙන දේ අගයක් නැහැ කියන්නා වගේ නිකම් ලැබෙන කොස් ගෙඩිය හැමදාමත් ගස් පල්ලේ වැටිලා කුණු වෙලා ගියා. හැබැයි ගස් පල්ලේ වැටිලා යන කොස් ගෙඩියට වටිනාකමක් දුන් කෙනෙක් ගැනයි අද කියන්න යන්නේ. ඔහු කොස් ඇට සහ කොස් මුල්කරගෙන කොස් ඇට නූඩ්ල්ස් ඇතුළු පෝෂණීය ආහාර රැසක් නිෂ්පාදනය කළ jackfruit ceylon pvt ltd අායතනයේ කළමනාකාර අධ්‍යක්ෂක දුලංජන විතානගේ. ගාල්ල ඉහළ කීඹිය ඔහුගේ උපන් ගමින් ඇරැඹි මේ ව්‍යාපාරය දැන් ශ්‍රී ලංකාව පමණක් නොව විදෙස් රටවල ද කතාබහට ලක්වන ව්‍යාපාරක් බවට පත් වෙලා. නව නිෂ්පාදනයට වගේම ස්වයං රැකියාවලට උනන්දුවක් දක්වන ඔබට ඔහුගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි. කොස් ඇටය, කොස් නූඩ්ල්ස් දක්වා විකාශය වූ හැටි අපි ඔහුගෙන්ම අසා දැන ගනිමු.
කොස් නූඩ්ල්ස්.. වෙනස්ම විදිහේ නූඩ්ල්ස් වර්ගයක්.. මේ ව්‍යාපාරය පටන් ගන්න මොකක්ද අඩිතාලම වුණේ?
ඒක දිග කතාවක් Jackfruit ceylon ආයතනය ආරම්භ කිරීමට මුල් පියවර වන්නේ අපේ ගම්මානයයි. ගාල්ල දිස්ත්‍රික්කයේ තුවක්කුදෑහේන කියන ගම අතිදුෂ්කර ගම්මානයක්. මේ ගම්මානයේ මාර්ග දෙපසම තියෙන්නේ කොස් ගස්. කොස් වැටුණාම මේ පාරවල්වල ගමන් කරන්නත් අමාරුයි. ඒ ගම්මානයේ තියෙන්නේ පටු ගුරු පාරවල්. ඒ අත්දැකීමට මම කුඩා කාලයේ ඉඳලා මුහුණ දුන්නා. ඒ කාලේ අපි හිතුවේ මේ කොස් ගස් අපිට වද දීපු ශාකයක් විදිහටයි. ඉතින් මම පාසල් යද්දි... පන්ති යද්දි හරි වෙන කොහෙ හරි යද්දි මේ මාර්ග පද්ධතිය පසුකරගෙනයි යන්නේ. ඉතින් කොස් සම්බන්ධයෙන් මට තිබුණේ ඉතා දුෂ්කර කටුක අත්දැකීමක්. ඒ කටුක අත්දැකීම තමයි මේ ගමනට හේතු වුණේ.
ඒ කටුක අත්දැකීම විපුල ඵල ලබා ගන්නා මාර්ගයක් බවට පත්කර ගත්තේ කොහොම ද?
උසස් පෙළට මම ඉදිරිපත් වුණේ වාණිජ විෂයය ධාරාවෙන්. විභාගය ඉවර කළාට පස්සෙ කල්පනා කළා. හැම තිස්සෙ දකින මේ කොස්වලට මොකක්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන කිසිම අදහසක් නැතුව ඉද්දි ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාඛාවට යනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් මට බොහෝ දැනුමත් උනන්දුවකුත් ලබා දුන්නා. ඊට පස්සේ මම වාණිජ විෂයය ධාරාවෙන් මගේ උපාධිය කරන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළු වෙනවා.
පීඨයට ගිහින් මම මුලින්ම කරපු දේ තමයි මගේ ආචාර්යවරුත් එක්ක මගේ මේ අදහස ඉදිරිපත් කරපු එක. ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ මම සමීක්ෂණයක් කළා ඇයි මිනිස්සු කොස් කන්න උනන්දුවක් නැත්තේ කියලා. ඒ ප්‍රතිඵලවලින් අත්දැකීමක් අරගෙන මම හොයන්න ගන්නවා කොස්වලින් මොන වගේ නිෂ්පාදනයක් කළොත් ද මිනිස්සු කන්නේ කියලා. ඒ තොරතුරුත් එක්ක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණය දෙපාර්තමේන්තුවට ගිහින් මම එයාලත් එක්ක කතා කරනවා මම මේ ගැන ඉගෙන ගන්න ආසයි ඒ නිසා මට මඟපෙන්වීමක් කරන්න කියලා. ඉතින් ඒ සියලු දේත් එක්ක මට විශ්වවිද්‍යාලයෙන් අවස්ථාව ලැබෙනවා ඒ දැනුම ලබා ගන්න. ඒ දැනුමත් එක්ක අලුත් නිෂ්පාදන කරන්න මම පෙළඹෙනවා..
මේ පටන් ගත් ගමනේ වැටුණු තැනුත් තියෙන්න ඇති?
මම මුලින්ම කොස්වලින් ටොෆී එකක් නිෂ්පාදනය කළා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් ඒකෙන් ගත්ත අත්දැකීම් හරි විශාලයි. ඒ ව්‍යාපාරය පටන් ගනිද්දි මගේ අතේ තිබුණේ රුපියල් 5000ක් වැනි සුළු මුදලක්. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දි මම පාට් ටයිම් ජොබ් කීපයක් කළා. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙනුත් මට මාසිකව සුළු මුදලක් ලැබුණා. මම ඒ මුදල ඉතිරි කරගත්තේ මගේ කෑමට බීමට. පාට් ටයිම් ජොබ් කරපු 5000න් මම මේ දැන් ව්‍යාපාරය කරගෙන යන ඉඩමෙම පුවක් කොටන් දාලා අඩි 10- 10 ප්‍රමාණයේ කොටසක වටේට ටකරන් දාලා පොඩි මඩුවක් වගේ එකක් හැදුවා. වහලෙට මාළු දැල් දැම්මේ. ඒකෙ තමයි මුලින්ම ව්‍යාපාරය පටන් ගත්තේ.
ටකරන් මඩුවකින් පටන් ගත් මේ ව්‍යාපාරය කර්මාන්ත ශාලා කිහිපයක හිමිකරුවෙක් වෙන්න තරම් වාසනාව ලැබුණේ කොහොම ද?
ඒ විදිහට පටන් ගත්ත ව්‍යාපාරයේ හැම වසරකම මම එක පියවර බැගින් ඉදිරියට තැබුවා. ඒ විදිහට ව්‍යාපාරය ටිකෙන් ටික පුළුල් වුණා. ඊට පස්සේ ලෑලි ගහලා පොඩි කර්මාන්ත ශාලාවක් හැදුවා. 2019 වසරේදී තමයි හරි විදිහට මුල්ගලක් තියලා කර්මාන්ත ශාලාවක් හැදුවේ.
ඒ සමඟ මම කොස් ආශ්රයෙන් අලුත් අලුත් නිර්මාණ කරන ගමන් ඒවා වාණිජකරණය කරන්න යම්කිසි මාර්ගයක් හොයන්න ගත්තා. කොස් පෝෂ කියන නිෂ්පාදනය ලංකාවට හඳුන්වා දුන්නා. ඊට පස්සේ කොස් ඇට ආශ්රයෙන් නිෂ්පාදනය කරන කොස් නූඩ්ල්ස් නිෂ්පාදනය කළා. කෘත්‍රිම රසකාරක දාන්නේ නැතුව සෞඛ්‍යාරක්ෂිතව සකසන නිෂ්පාදනයක් එය. IDB ආයතනයෙන් මේ ව්‍යාපාරයට රිදී සම්මානයක් හම්බුණා. ජාතික සම්මානයක් විදිහට අපිට ලැබුණු ප්‍රථම සම්මානය. ඉතින් ඒක අපි ලබාගත් ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි අපිට මේක තවත් උනන්දුවෙන් කරගෙන යන සන්ධිස්ථානය වුණේ. ඉන්පසු ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් පවත්වන සම්මාන උෙලළේදී හොඳම සුළු අපනයන සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතරට එන්නත් අපිට හැකි වුණා. ඉන්පසු 2023 දකුණු පළාතේ විශිෂ්ඨතම තරුණ ව්‍යවසායකයා සම්මානය ලැබුණා. දැන් විදෙස් රටවල් කිහිපයකටම අපේ නිෂ්පාදනයන් අපනයනය කරනවා. සේවකයින් 30කට වැඩි ප්‍රමාණයකුත්, සැපයුම්කරුවන් 400කට වැඩි පිරිසකුත් අපිට ඉන්නවා.
කොස් කර්මාන්තය වෙනුවෙන් පවතින වෙළෙඳපොළ තත්ත්වය කොහොම ද?
2020 වසරේදි කොස්වලට ලොකු ට්‍රෙන්ඩ් එකක් ඇති වුණා. කොවිඩ් වසංගතයත් එක්ක තමයි ඒක ඇති වුණේ. ඒ වෙනකොටත් අපේ කොස් ව්‍යාපාරයේ යම්කිසි මට්ටමක් පසුකරගෙන තිබුණා. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල් ලංකාවට වඩා කොස් ගැන ලොකු උනන්දුවක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ අය ලංකාවෙන් තමයි කොස් ගැන ඉගෙනගෙන එහෙ ව්‍යාපාර පටන් ගන්නේ. ඒ ගැන දැනගනිද්දි මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා. ලංකාවෙන් කොස් ගැන ඉගෙන ගත්ත ඔවුන් විශාල කර්මාන්ත දක්වා දියුණු කරගෙන තියෙනවා. ඉතින් අපිට අධිෂ්ඨානයක් තියෙනවා ලංකාවේ කොස්වලට වටිනාකමක් එකතු කරන්න සහ කොස් කියන දේ ලංකාවේ ඉතා හොඳ කර්මාන්තයක් බවට පත්කර ගන්න.
කර්මාන්තයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් සමඟින් සමාජයට දෙන්න තියෙන පණිවිඩය කුමක් ද?
කර්මාන්තයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ රට ඇතුළේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවල් ගත්තම සමහර රටවල් තියෙනවා සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන. කාලයකට පමණක් ඉර පායන රටවල් තියෙනවා. එහෙම බලද්දී මේ රට ඇතුෙළ් තියෙන සම්පත් ප්‍රමාණය අති විශාලයි.