වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ධර්මය නමැති ඔසුව ඔබේ සියලු රෝග නිවාලයි
පින්වතුනි, තරුණී සදහම් සෙවණ පත් ඉරුව තුළින් ඔබ ධර්ම කරුණු ජීවිතයට එකතුකර ගන්නවා. ඒක බොහොම පින්වන්තයි. සැබැවින්ම ධර්මයට සමාන ඖෂධයක් ලොව නැත. ලෝකයේ නොයෙක් බෙහෙත් වර්ග ඇතත් ඒවා ශාරීරිකව හැදෙන අසනීපවලට යොදාගත හැකි ඒවා පමණි.
සිත තුළ පවතින ලෝබ-ද්වේශ- මෝහ ආදී අකුසල් නමැති රෝග සුවකරගෙන සංසාරයෙන් ගැළවෙන්න නම් ධර්මය නමැති ඖෂධය පානය කළ යුතුමයි. එහෙම නැත්නම් බණ ඇසිය යුතුයි. එහෙමත් නැත්නම් මෙලෙසින් ධර්ම කරුණු කියවා දැනගත යුතුයි. ඔබ ඒ ධර්මය පිළිපැදිය යුතුයි.
ඉදින් පින්වතුනි, මේ ලෝකය මායාවකි. මායාවක් බඳු ලෝකය තුළ අප විසින් ලුහුබැඳ යන ලෞකික ඉලක්ක සියල්ල නිසරුය. ඒ බව අවබෝධකර ගැනීමෙන්ම ලෝකය පිළිබඳ යථාවබෝධය පහළ වේ.
පින්වත් ඔබට අද ධර්ම කරුණු කීපයක්ම පැවසීමට තීරණය කළා. ඒවා තුළින් සමාජය පිළිබඳ ඔබ හරි දැක්මක් ඇතිකර ගැනීමට උත්සාහ ගන්න.
තැනට සුදුසු නුවණ
පෙර කල සෙන් ආරාමවල සුවිශේෂී චාරිත්‍රයක් අනුගමනය කරනු ලැබුණි. ආගන්තුක භික්ෂුවකට යම් ආරාමයක නවාතැන් ගැනීමට අවසර ලැබෙනුයේ ඒ ආරාමයේ භික්ෂුවක් වාදකර පරාජය කළොත් පමණි.
වාදයෙහි දක්ෂ එක් භික්ෂුවක් ගමනක් ගොස් රෑ බෝවූ බැවින් ළඟ තිබු සෙන් ආරාමයකට වැඩියේය. වාදයෙහි දක්ෂ භික්ෂුව දුටු විහාරාධිපති හිමියන්ට මේ වාදයෙන් මඟහැර යෑමට අවශ්‍ය විය.
“අර අලුත මහණ වෙච්ච හාමුදුරුවෝ වාදයට හොඳයි “ හේ අලුතින් මහණ වූ භික්ෂුවක් හා වාදයට යන ලෙස ආගන්තුක භික්ෂුවට උපදෙස් දුන්නේය.
අලුත මහණ වූ භික්ෂුව උපන්ගෙයි මෝඩයකු විය. ඔහු දබරයට යාම පි‍්‍රය කළ අයෙකි. ඒ හේතුව නිසාම ඔහුගේ ඇසක් අහිමි වී තිබුණි. ඇසක් අහිිමි වූ ඔහුට රක්ෂාවක් හොයාගැනීමට අපහසු වූ බැවින් මහණ දම් පුරන්නට පැමිණ සිටියේ ය.
වාදයෙහි දක්ෂ භික්ෂුව එකැස් කණ භික්ෂුව සමඟ වාදයට මුල පිරීමට උත්සාහ කළේය. තම නූගත්කම දත් එකැස් කණ භික්ෂුව නිහඬවම සිටියේ ය. මේ නම් මහ උගතෙකි. ‘පිරුණු කළේ දිය නොසැලෙයි’ කියන්නාක් මෙන් මොහු නිසලව සිටියි. මා කෙසේ හෝ හස්ත සංඥා මඟින් වාදකර ඔහු පැරදවිය යුතුය යන හැඟීම වාදයෙහි දක්ෂ භික්ෂුවට ඇතිවිය. හේ එක ඇඟිල්ලක් උළුක් කොට සංකේතයක් විදහා පෑවේය. ඊට පිළිතුරු ලෙස එකැස් කණ භික්ෂුව ඇඟිලි දෙකක් විදහා පෑවේය. ඊළඟ ප්‍රශ්නය ලෙස වාදයෙහි දක්ෂ භික්ෂුව ඇඟිලි තුනක් පෙන්නුම් කළේය. එකැස් කණ භික්ෂුව ඇඟිලි 4 ක් දිගු කිරීමෙන් ඊට පිළිතුර ලබා දුන්නේය. තෙවැනි ප්‍රශ්නය ලෙස ඇඟිලි 5 ක් දිගු කරනු ලැබීය. ඊට පිළිතුරු ලෙස අත මිටිකර පෙන්වන ලදී.
“ඔහේගෙ ගෝලයා පුදුම දක්ෂයෙක්නේ. මම වාදයෙන් පරාදයි. මම දැන් ආපසු යනවා” විහාරාධිපති හිමියන් හමුවී වාදයෙහි දක්ෂ භික්ෂුව කියා සිටියේය. මෙය ඇසූ විහාරාධිපති හිමියන් පුදුමයෙනුත් පුදුමයට පත්විය.
“කොහොමද කියමු බලන්න වාදය ඇති වුණේ” විහාරාධිපති හිමිගේ එම පැනයට පිළිතුර ලැබුණේ මෙසේය.
බුද්ධරත්නය පෙන්වන්න මම එක ඇඟිල්ලක් දිගු කළා. ඔබතුමාගේ ශිෂ්‍යයා ධර්මරත්නය හා සංඝරත්නය පෙන්වන්න ඇඟිලි දෙකක් දිගු කළා. මම ත්‍රිවිධරත්නය පෙන්වන්න ඇඟිලි තුනක් දිගු කළා. ඔහු චතුරාර්ය සත්‍ය පෙන්වන්න ඇඟිලි 4 ක් දිගු කළා. මම ඊළඟට කළේ පංච ශීලය පෙන්වන්න ඇඟිලි 5ම දිගු කිරීමයි. ඔබගේ ගෝලයා එවිට වාදය ජයගත්තා. ඔහු මේ සියලු දෙය තුළ තනි යථාර්ථයක් ඇති බව පෙන්වන්නට අතමිටි කරලා පෙන්නුවා.
මෙසේ කී වාදයෙහි දක්ෂ භික්ෂුව වහාම ඒ ආරාමය හැර ගියේය. තම ගෝලයා මෙවන් දස්කමක් කිරීම ගැන විහාරාධිපති හිමියෝ උද්දාමයට පත්වූහ. හේ එකැස් කණ භික්ෂුව තමා වෙත කැඳවා වාදය ගැන කරුණු විමසීය.
“ඔව් එයා මාත් එක්ක වාදයට ආවා තමයි. මම පුළුවන් තරම් මඟ හරින්න බැලුවා.. ඒත් එයා ලේසියෙන් මඟ හැරියේ නෑ. මට එක ඇසක් ඇති බව පෙන්වන්න එයා ඇඟිල්ලක් දිගු කළා. ඊට පසු මම එයාට ඇස් දෙකක් ඇති බව පෙන්වන්න ඇඟිලි දෙකක් දිගු කළා. අපි දෙන්නටම ඇත්තේ ඇස් තුනක් බව පෙන්වන්න එයා ඇඟිලි තුනක් දිගු කළා. මම ඇඟිලි හතරක් දිගුකර එයට සංඥාවක් කළා හතර හන්දි කඩාගන්න එපා කියලා. එයා හොඳටම බය වුණා. එයා අත උස්සලා සංඥා කළා ගහන්න එපා කියලා. මම අතමිට මොළවා ගන්න තර්ජනය කළාම මිනිහා නැඟිටලා ගියා.”
මේ කතාව ඇසූ විහාරාධිපති හිමියන්ට සිනාව නවතාගත නොහැකි වුණා. එතැන් සිට එකැස් කණ භික්ෂුව වාදයෙහි දක්ෂයකු බවට රට පුරා ප්‍රසිද්ධ වුණා.
පින්වතුනි, මෙම කතාව තුළින් සියුම් අර්ථ කිහිපයක්ම පැන නැඟෙයි. එකම දෙයක් ගැන දෙදෙනෙක් දෙවිධියකට බලන බවත් දෙවිධියකට තේරුම් ගන්නා බවත් පැහැදිලි වේ. එබැවින් සමාජයේ පුද්ගලයන් හමුවේ අපි අපේ වචන භාවිතය හැසිරීම සිදුවිය යුත්තේ කෙසේද යන්න මෙමඟින් තහවුරු කරයි.
ඉවසිය යුතුම තැනත් ඉවසීම
ලෝකයේ දක්ෂතම කඩු හරඹකරුවන් සිටිනුයේ ජපානයේ ය. ජපන් කඩු හරඹ ශිල්පය දීර්ඝ කාලයක් තුළ ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු කලාවකි. හොඳින් කඩු හරඹ පුහුණු වූ ශිල්පියකුට එක් කඩු පහරකින් මිනිසකු මරු තුරුලට යැවිය හැකියි.
එක් පුද්ගලයකුට ජපන් කඩු හරඹ ඉගෙනීමේ තදබල ආශාවක් විය. හේ එකල වඩාත්ම ප්‍රසිද්ධියක් ඉසිලු කඩු හරඹ ගුරුවරයා වෙත ගොස් තමාට කඩු ශිල්පය උගන්වන ලෙස
ඇවිටිලි කළේය. බලවත් සේ පෙරැත්ත කළ පසු ගුරුවරයා ඊට කැමැති කරවා ගැනීමට ඔහුට හැකිවිය. කඩු හරඹ පුහුණු වන මිනිසාට මුල් අවුරුදු දෙකම ගත කිරීමට සිදුවූයේ ගුරුවරයාගේ කෝකියකු ලෙසය. ඉවුම් පිහුම් වැඩවලට අමතරව ගුරුවරයාගේ නිවෙසේ වත්ත සුද්ධ පවිත්‍ර කිරීම ද ඔහුට පැවරුණු කාර්යයන් අතර විය. කඩු හරඹ ඉගෙනීමට පැමිණි ඔහුට තවදුරටත් ඉවසිය නොහැකිය. තව කල් නොයවා තමාට කඩු හරඹ උගන්වන මෙන් හේ ගුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ය. ගුරුවරයා ඊට එකඟ වූයේ ය.
එදින රාත්‍රී ඔහු කුස්සියේ ආහාර සකසමින් සිටින විට වේගවත් පොලු පහරක් ඔහුගේ පිට මැදට වැදුණි.
ගුරුවරයා පිටුපසින් පැමිණ ලී කඩුවකින් ඔහුට පහර දුන්නේය. හේ සෑම පහරකින්ම බේරීමට එහෙ මෙහෙ පැන්නේය. මේ ක්‍රියාව දිනපතා සිදුවිය. ක්‍රම ක්‍රමයෙන් ලී කඩුවල සිට සැබෑ කඩුවලට මාරු වු ගුරු සිසු දෙපළ සැලකිය යුතු වේලාවක් පුහුණුවීම්වල නිරත වූහ.
මේ මිනිසා පසු කලෙක ජපානයේ දක්ෂතම කඩු ශිල්පියා බවට පත්විය.
පින්වතුනි, මේ කතා පුවතින් අපට මතක් කර දෙන්නේ කිසියම් ශිල්පයක් හදාරා එහි කෙළ පැමිණීමට අධික ඉවසීමක් අවැසි බවයි. නොසිතූ මොහොතක අප ඉදිරියට කඩා පනින කරදර ගැන සෑම විටම ඉවසිලිමත් විය යුතු බවත්ය.
ඔබ මේ ධර්ම කරුණු කාරණා මැනවින් වටහාගෙන කටයුතු කරන්නේ නම් ජීවිතය ඉතා සුවදායකය. සරල සැනසුම්දායි ජීවිතයක් ගෙන යාමට පහසුම මඟ මෙයම වේ.
අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ