පැවිදිවූ පසු සත්‍ය ක්‍රියා කරන්නට බලය ලැබුණේ කොහොමද?

කර්මය පිළිබඳව බුදු හිමිගේ පැහැදිලි කිරීම අවබෝධ කරගනිමු.
අගෝස්තු 12, 2020

ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක් ඇසුරිණි.

කර්මය කියන වචනය අපට නිතරම ඇසෙන අප නිරතුරුවම කතාබහ කරන එකක්. එහෙත් බොහෝ වෙලාවට අපි මේ වචනය කියන්නේ හරි අවබෝධයෙන් නොවෙයි.

ඒ නිසා එය නිවැරැදිව දැන සිටීම අපට බොහෝ ප්‍රයෝජනවත්.

අපේ බුදුරජාණන් වහන්සේ මේ කර්මයට අපූරු නිර්වචනයක් දුන්නා.

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි''

මහණෙනි, මොකක්ද මේ කර්මය කියන්නේ ? සමහරු හිතනවා කර්මය කියන්නෙ ක්‍රියාවක් කියලා. එහෙත් ක්‍රියාව සිදුවන්නේ කර්මය එක්කයි. චේතනාව කර්මයකි. අපේ කායික ක්‍රියාව තුළ චේතනාවක් තිබේ. අපි කතා කරන සෑම සිතුවිල්ලක්ම චේතනාවක් එක්ක බැඳෙනවා. අපේ සිත, කය, වචනය කියන තුන් දොරම ක්‍රියාත්මක වන්නේ චේතනාවක් සමඟයි. එම චේතනාවයි කර්මය බවට පත්වන්නේ.

මේ කර්ම විපාක දෙන විදිහකුත් තියෙනවා. ''අරයා මේ වගේ දේවල් කරලත් හොඳට ඉන්නවා. කෝ අනේ අපිටමනෙ මෙහෙම වෙන්නෙ. කෝ එයාට එහෙම කරදර නෑනෙ.'' අනන්තවත් ඔබ මේ වගේ දේවල් හිතනවා ඇති. මේ තර්ක විතර්ක අපි කෙතරම් කළත් ඒවා අපේ නුවණින් වටහා ගන්න බැහැ. අචින්ත්‍ය කර්ම විපාක ගැන වටහා ගත හැකිවන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට පමණි. උන්වහන්සේගේ දස බල ඥාන අතරත් පැහැදිලි වනවා. අතීත, අනාගත, වර්තමාන කාල කර්ම විපාක, හේතුපල සියල්ල අවබෝධයෙන් දැකිය හැකි බව.

නමුත්, බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසාට තේරුම් ගත හැකි පරිදි කර්මය විස්තර කර දී තිබෙනවා. ඒ ටික තේරුම් ගෙන ජීවත් වීම හොඳටම ප්‍රමාණවත්.

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි''

චේතනා පහළ කරලා රැස්කර ගන්නා කර්මයන්ගෙන් කොටසක් මෙලොව මතු වී විපාක දෙනවා. එනම් 'දිට්ඨ ධම්ම වේද' කර්මයයි. සමහර කර්ම මේ ජීවිතයේ නෙමෙයි ඊළඟ ජීවිතයේ විපාක දෙනවා. තවත් කර්ම කොටසක් එක ආත්මෙන් දෙකෙන්, තුනෙන්, නෙමෙයි සියයකින් වත් ඉවර වෙන්නෙ නැහැ. නිවන් දකින කල්ම විපාක දෙනවා. අවසාන ආත්මයෙත් විපාක දෙන කර්ම ති‍යෙනවා.

තවත් තියෙනවා 'අහෝසි කර්ම' කියලා. එනම් කර්මය අහෝසි වී යාමයි. මේක සමහරු වැරැදියට වටහා ගන්නවා. කරපු පවක් පිනකින් වසාගත හැකියි කියලා. සමහරු හොරකම් කරලා කරලා අන්තිමේදී දානයක් දීලා හිතනවා ඒ පිනෙන් අර කළ හොරකම කැපී යනවා කියලා එහෙම වෙන්නෙ නැහැ. කළ හොරකමේ විපාක වෙන ම ලැබෙනවා. කළ පින්කමේ විපාක වෙන ම ලැබෙනවා. අහෝසි කර්ම ලෙස ධර්මයේ පෙන්වනු ලබන්නේ ධර්මාවබෝධයක් එක්ක අහෝසි වෙලා යාම නැතිනම් විපාක දීමට පරිසරයක් නැති නිසා අහෝසි වීමක්. අපි හිතමු කෙනෙක් වීර්ය වඩා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා. ඒ කෙනා උපත ලැබුවොත් උපත ලබන්නේ ආත්ම හතයි. ඒ ආත්ම හත තුළත් අපායගාමී වන්නේ නැහැ. සෝවාන් වෙද්දී සතර අපායෙන් එයා නිදහස් වෙනවා. පෙර සසරේ තිබූ අපායගාමී සියලු කුසල් සෝවාන් වෙද්දීම අහෝසි වී යනවා. කෙනෙක් මේ ජීවිතයේ වීර්ය වඩා සකෘදාගාමි වෙනවා කියලා හිතන්න. ඒ කෙනා කාමලෝකයේ උපත ලබන්නේ එක වතාවයි. එතැනින් එහාට සකස් වුණ සියලු කර්ම ඔහුට අහෝසි වී යනවා. කෙනෙක් අනාගාමී පලයට පත් වෙනවා කියලා හිතන්න. දිව්‍ය, මනුෂ්‍ය, සතර අපාය කියන කාම ලෝකවල නැවත උපත ලබන්නේ නෑ කියන එකයි අනාගාමී කියන්නේ. එයා බඹ ලොව පමණයි උපත ලබන්නේ එහෙදී අරහත්භාවයට පත්වී පිරිනිවන් පානු ලබනවා. අපි හිතමු මේ ජීවිතයේ කෙනෙක් රහත් වනවා කියලා. රහතන් වහන්සේලාටත් පිරිනිවන් පාන තෙක් මතුවන විපාක තියෙනවා.

බොහෝ දෙනකුට අංගුලිමාල කතාව ගැටලුවක්. පැවිදි වුණ ගමන් විපාක අහෝසිවුණාද? අච්චර මිනී මරපු කෙනාට රහත් වෙන්න පුළුවන් වුණේ කොහොමද ?

ඒක වුණේ මෙහෙමයි. අංගුලිමාල මිනිසුන් මරා ඇඟිලි එකතු කරන මේ පුවත සැලවුණ රජතුමා අංගුලිමාල මැරීමට රාජ පුරුෂයන් යැවුවා. ඒ ආරංචිය අංගුලිමාලගේ අම්මා දැන ගත්තා. එතැනදී තමයි අම්මා අංගුලිමාල සොයා ගියේ. අම්මා වුණත් මරා ඇඟිලි 1000 සම්පුර්ණ කර ගන්න අංගුලිමාල දෙවතාවක් හිතුවේ නැහැ. දැන් ඔබට මේ කතාව අහද්දී හිතෙනවා ඇති ඇයි බුදු හාමුදුරුවෝ අංගුලිමාල මෙච්චර මිනිසුන් මරණකන් බලන් හිටියෙ කියලා. නැහැ ඔබේ ඒ සිතුවිල්ල වැරැදියි. බුදුවරයෙක් බලන්නේ කවුද අද දවසේ ධර්මාවබෝධයට පින මතුකර ගන්නේ කියලයි. ඒ වෙනකල් අංගුලිමාලට පින පලදීමට පරිසරය සැකසී තිබුණේ නැහැ. කෙනකුට ජීවිතයේ එපා වෙන, අත්හරින්න හිතෙන මොහොතක් උදාවෙනවා. අන්න එදාට ධර්මයට යොමු වන අය ඉන්නවා. අංගුලිමාලටත් කොහොමහරි ඇඟිලි මාලෙ සම්පූර්ණකර ගැනීමේ ඉලක්කය විතරයි තිබුණේ. එහෙත් මිනිස්සු මරා වේදනා දෙන එක ඒ වෙනකොටත් ඔහුට එපාවෙලයි හිටියේ. බුදුන් ලොව බලන අවස්ථාවේදී අංගුලිමාල මව මරා හෝ ඉලක්කය සම්පුර්ණ කරගන්න සූදානම් වන බව දකිනවා.. ඒ ආනන්තරීය පාප කර්මය වුයේ නම් අංගුලිමාලට ධර්මාවබෝධයට ඇති ඉඩ කඩ ඇහිරී යනවා. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුන්ගෙ ලේ සෙලවීම, සංඝ භේදය කිරීම යන ආනන්තරීය අකුසලයක් කර ගත හොත් සසර නිවන් අවබෝධය ගිලිහී යනවා. අංගුලිමාල සොයා ලොව්තුරා බුදුන් වැඩියේ ඒ නිසයි. ඒ වනවිටත් අංගුලිමාල මාලය සම්පුර්ණ කිරීමට වෙහෙසෙනවා. බුදුන් දුටු අංගුලිමාල බුදුන් පසුපස ද එළවන්නට වුණේ ඒ අදහස සම්පූර්ණ කරගන්න. බුදු රදුන් සෘදි පාතිහාර්ය පාමින් අංගුලිමාලට එකතැන දුවන්නට සැලසුවා. අංගුලිමාල දුවලා දුවලා හති වැටුණා. පසුව "නවතින්න මහණ" යැයි කෑ ගැසුවා.

" මම නැවතී සිටිමි. ඔබ නවතින්න." යැයි ලොව්තුරා බුදුන් වදාළහ. එයාගේ නම අහිංසක. එදා ගුරුගෙදර සිසුන් අතර සිටි දක්ෂතම සිසුවා අංගුලිමාලයි. එයට ඊර්ෂ්‍යා කළ සිසුන් කේලාම් කියල ගුරුවරයා නොමඟ යවලා අංගුලිමාලගෙන් පලිගන්නට සැලසුවේ. අංගුලිමාලගේ නුවණට බුදුන් කී වදන සැලවුණා.

"ශ්‍රමණයෝ බොරු කියන්නේ නැහැ. එහෙත් ඔබ බොරු පවසනවා." අංගුලිමාල බුදුන්ට කීය.

" නැත, අංගුලිමාල. මම මේ ඉපදෙමින් මියැදෙමින් යන සසර ගමන නවතා දැමු කෙනෙක්. නුඹ අකුසල් කරමින් දීර්ඝ සංසාර ගමනක යන කෙනෙක්. නුඹ නවතින්න." අන්න ඒ බුදු වදන අංගුලිමාලට හොඳීන්ම අවබෝධ වුණා. අංගුලිමාල නැවතී බුදුන් පාමුල වැඳ වැටුණා. බුදුරජාණන්වහන්සේ කරුණු පහදා දී අංගුලිමාල පැවිදි කළා. ඔබ මේ කතා පුවත ඕනෑ තරම් අසා ඇති. දැන් ඔබ හිතනවා අංගුලිමාල පැවිදි වුණාම අර කළ පව් සියල්ල අහවර වුණා කියලා. නැහැ. අංගුලිමාල හාමුදුරුවන් පැවිදි වුණත් කරදර ප්‍රශ්න ආවා. පිණ්ඩපාත වඩින විට මිනිස්සු රැකලා ඉඳලා ගහනවා. ඒත් උන්වහන්සේ ''සුවපත් වේවා.!" යැයි මෛත්‍රී වැඩුවා. මගේ හිතේ කිසිවකු ගැන ද්වේෂ සහගත තත්ත්වයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අංගුලිමාල තෙරුන්ගේ පාප කර්ම කොතෙක්ද කිවුවොත් ළමයි ගස්වලට ගහන ගල්මුල් ද උන්වහන්සේට වදිනවා. එහෙත් උන්වහන්සේ එයින් කෝප ගත්තේ නැහැ. පැවිදි බිමට ඇතුළත් වූ පසුව උන්වහන්සේ දැඩි සිල්වතෙක් වුවා. පුංචි සතකුටවත් හිංසාවක් කළේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට හැකි වුයේ දරුවකු ලැබෙන්න සිටි මවක් වෙනුවෙන් සත්‍ය ක්‍රියාවක් කිරීමට.

" මම බුද්ධ ශාසනයට ඇතුළත් වූ දවසේ පටන් ම පුංචි සතෙක්වත් මරලා නැහැ. මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් ඔබට දරුවා සුවසේ ලැබේවා." මේ ආශීර්වාදය කරන කොටම වේදනාවෙන් විලාප දුන් අම්මා සුවසේ දරුවා බිහි කළා. කෙනෙක් ජීවිතයේ තම වැරැදි අඩුපාඩු සාදාගෙන ජීවත් වේ නම් යහපත්ව හොඳීන් සිටිය හැකියි. වීර්යය වඩා යහපතෙහි යෙදෙන්න. පෙර සසර පින් වුව මතුකරගෙන සාර්ථකත්වය ළඟාකර ගත හැකියි.

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න