බුදු හාමුදුරුවෝ කිව්වත් එකපාරටම පිළිගන්න එපා ද?

ඔක්තෝබර් 27, 2021

බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ පොත්වල තිබ්බ දේවල් වුණත් එකපාරටම පිළිගන්න එපා කියල” කියා අපහාස කිරීමෙන් රැස්වන්නේ අකුසල කර්මයක් ම පමණි.

‘බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ උන්වහන්සේ කිව්වත් එකපාරටම පිළිගන්න එපා කියලා” කියන මේ ප්‍රකාශය බෞද්ධ කිහිප දෙනෙක් අතර පැතිර යන කතාවක්.

බොහෝ අබෞද්ධ පිරිස් බුද්ධ දේශනාවලට පහර ගැසීම සඳහාත්, නාමික බෞද්ධයන් විසින් තමන් කරන පව්කාර ක්‍රියා සාධාරණීකරණය කරගැනීම සඳහාත් මෙම මතය ඉස්මතුකරයි. ඔවුහු මේ බව ‘‘කාලාම” සූත්‍රයේ තිබෙනවා කියා කටමැත දොඩවති. සැබැවින් ම ඔවුන් එසේ පවසන්නේ කාලාම සූත්‍රය දේශනා කරන්නට හේතු වූ පසුබිම, සූත්‍ර දේශනාවේ අර්ථය හෝ එහි ප්‍රතිඵල ගැන හෝ නිවැරැදි වැටහීමක් ඇතිව නො වෙයි. අඩු ගණනේ ඔවුන් පාලි භාෂාව පිළිබඳ නිසි දැනුවත්කමක් ද නොමැතිව ‘‘බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ උන්වහන්සේ කිව්වත් එකපාරටම පිළිගන්න එපා කියලා” කාලාම සූත්‍රයේ තියෙනවා කියා පවසයි.

අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ ලොවට පහළවූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව මිස අනවබෝධයෙන් නො වෙයි. එමෙන් ම ධර්මය දේශනා කරන ලද්දේ නිධාන සහිතව කරුණු සහිතව ම යි. තව ද අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසුවේ ප්‍රාතිහාර්ය සහිතව ම යි. ප්‍රාතිහාර්ය රහිතව නො වෙයි. එම නිසා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ පැවිදි ශ්‍රාවක පිරිස ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස, මහත් වූ ශාස්තෘ ගෞරවයෙන් යුතුව ඇරියුම් කළේ මෙලෙස පවසමින්.

“ස්වාමීනී, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මූලික කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ නේත්‍ර කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තේ ය. එම නිසා ඔය පැවසූ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙන ආකාරයට භික්ෂූහු මතක තබා ගන්නාහ” යනුවෙන්.

 

නිවනට කැමැති ශ්‍රාවකයා හට

 

එසේම නිවනට කැමැති ශ්‍රාවකයා විසින් ශාස්තෘ ගෞරවය ඇතිකර ගත යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අයුරින්.

“මාගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය (සත්ථා මේ භන්තේ භගවා). මම වනාහී ශ්‍රාවකයා වෙමි. (සාවකෝ හමස්මි). භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. (ජානාති භගවා). මම වනාහී (කිසිවක්) නො දනිමි (අහං න ජානාමි) කියා යි.

“බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා ධර්මයේ සඳහන් වෙනවා කියන මේ ප්‍රකාශයට පදනම් වූ, කාලාම සූත්‍ර දේශනාව ගැන නිවැරැදි වටහා ගැනීමක් තිබීම අප කාටත් ප්‍රයෝජනවත් වේවි.

 

කාලාම සූත්‍රයේ  නිධාන කතාව

 

කාලාම සූත්‍රයේ නිධාන කතාව පිළිබඳ කෙටියෙන් සඳහන් කළහොත් භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟින් කාලාම වැසියන්ගේ කේසපුත්ත කියන නියම් ගමට වැඩම කළහ. කාලාමයන් බුදුරජාණන් වහන්සේ දුටු පළමු වතාවේ දී ම වන්දනා කොට පසෙකින් වාඩි වී ඇසුවේ මෙවැන්නකි.

“ස්වාමීනී, අපට ලොකු ගැටලුවක් තියෙනවා. මේ කේසපුත්ත ගමට නොයෙක් මත දරන තීර්ථකයන්, ශ්‍රමණයන් පැමිණෙනවා. ඇවිත් තමන්ගේ මතය විතරයි නිවැරැදි , අනෙක් ඒවා වැරැදියි, හිස් කියලා තමන්ගේ වාදය විතරක් ඉස්මතු කරනවා. අනෙක් මත හෙළා දකිනවා. බැහැර කරනවා. ඒවාට පරිභව කරනවා. ඉතින් ස්වාමීනී, ගෞතමයන් වහන්ස, ඒවායින් හරි මොකක්ද? වැරැදි මොකක්ද? කියා සිතාගන්න බෑ. අපට සැකයක් ම යි, විචිකිච්ඡාවක් ම යි ඒවා ගැන ඇතිවන්නේ.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“කාලාමයනි, සැක කළ යුතු තැන ම යි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැන ම යි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. ඔබට ඇතිවෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.”

 

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙසේ අනුශාසනා කොට වදාළා.

“කාලාමයනි,

• අහපු පමණින් ගන්න එපා

(මා අනුස්සවේන).

• පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා

(මා පරම්පරාය).

• මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න

එපා (මා ඉතිකිරාය).

• අපේ පොත්වල තියෙනවා කියූ පමණින්

ගන්න එපා (මා පිටකසම්පදානේන).

(මින් අදහස් කළේ වේද ග්‍රන්ථ ආදි බාහිර

පුස්තක මිස ත්‍රිපිටක බුද්ධ දේශනා නො වේ)

• තර්කයට ගැළපුණු පමණින් ගන්න එපා

(මා තක්ක හේතු).

• ගළපා ගත්තු න්‍යායට ගැළපුණු පමණින්

ගන්න එපා (මා නය හේතු).

• මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා

කල්පනා කර ගොඩනගා ගත්තු මතයට

ගැළපුණු පමණින් ගන්න එපා

(මා ආකාරපරිවිතක්කේන).

• දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා

(මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).

• බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා

ගන්න එපා (මා භබ්බරූපතාය).

• ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා

හෙවත් අප ගරු කරන ශ්‍රමණයන් වහන්සේ

කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ).

 

මෙහි දී කිසිම අයුරකින් “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා සඳහනක් හෝ එවැනි අර්ථයක් ද ඉස්මතු නොවේ.

සමහරුන් එසේ පවසන්නේ “මා සමණෝ නෝ ගරූ” යන පදයේ ව්‍යඤ්ජනය ද අර්ථය ද වැරැදියට වටහා ගැනීමෙන් විය යුතුයි. එම වාක්‍යයේ අර්ථය වන්නේ ගුරුවරුන් වූ පමණින් කියන සියල්ල ඒ ලෙසටම පිළි නොගතයුතු නිසාය. මන්දයත් මේ ලොව සියලු මිත්‍යාදෘෂ්ටික ආගම් බිහිවී ඇත්තේ ද ගුරුවරුන් මූලික කර ගෙනය.

පිරිසුදු ථේරවාදය විකෘති කරමින් මහායානය වැනි කොටස් බිහිවූයේ ද මෙසේ ගුරුවරුන් යැයි කියාගන්නා අය නිසා ය. එයට හේතු වූයේ ඔවුන් සියලුදෙනා කෙලෙස් සහිත පුද්ගලයන් වීම නිසාය. සියලු කෙලෙස් දුරු කළා වූ ද අද වුව ද ඕනෑම අයකුට මේ ජීවිතයේදී ම කෙලෙස් මුළුමනින් ම දුරුකළ හැකි මාර්ගය කියාදුන් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ එම කෙලෙස් සහිත ගුරුවරුන්ගේ කුලකයට දැමීම බරපතළ අකුසලයකි.

දීඝ නිකායේ පාසාදික සූත්‍ර දේශනාවේ මෙසේ සඳහන් වෙනවා. “මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාක්ඛාත වූ මේ ශ්‍රී සද්ධර්මය කිසිදු අඩුවක් නොමැතිව පරිපූර්ණ ව පිරිසුදු නිවන් මඟ පෙන්වා දෙයි. එහි දී නිවැරැදි ලෙස ව්‍යඤ්ජනය ද අර්ථය ද වටහා ගත යුතු ය.”

අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන) යන කරුණ ගත්කල බුදුරජාණන්වහන්සේගේ යුගයේදී ත්‍රිපිටක ධර්මය පැවැතියේ කටපාඩමින් බවත්, එය ග්‍රන්ථාරූඪ කෙරුණේ ලංකාවේ වළගම්බා රජුගේ යුගයේදී බවත් ඔබ දන්නවා ඇති. ඉතින් එය එසේ ‍වෙද්දී මා පිටකසම්පදානේන යන කරුණ කාලාමයන්ට පැවසුවේ උන්වහන්සේගේ ධර්මය ගැන නොවන බව යන්තම් හෝ කල්පනා ශක්තියක් ඇති අයකුට වුවද වටහා ගත හැකියි.

එම අනෙක් පොත් වුව ද ලියා ඇත්තේ කෙලෙස් සහිත අය ම ය.

නමුත් අපගේ ත්‍රිපිටක ධර්මය දරාගෙන ග්‍රන්ථාරූඪ කර පවත්වාගෙන ආවේ කෙලෙස් සහිත අය නොව මහරහත් උතුමන් වහන්සේලා, මාර්ගඵල ලාභීන් වහන්සේලා සහ ස්ථවිර මහතෙරුන් වහන්සේලා ය.

උන්වහන්සේලා බැමිනිතියාසාය යුගයේ කරකොළ සහ වැටකෙයියා යුෂ වලඳමින්, ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන අවෝය.

 

අද වුවද ඕනෑම අයකුට මේ ජීවිතයේදී ම කෙලෙස් මුළුමුනින් ම දුරුකළ හැකි මාර්ගය ඇති මෙම ත්‍රිපිටක, අටුවා සහිත ශ්‍රී සද්ධර්මය සහිත ඒ පොත්වහන්සේලා හට ‘‘බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ පොත්වල තිබ්බ දේවල් වුණත් එකපාරටම පිළිගන්න එපා කියල” කියා අපහාස කිරීමෙන් රැස්වන්නේ අකුසල කර්මයක් ම පමණි.

ඔවුන් හට සසරේ බොහෝ කාලයක් දුක් විපාක පිණිස ම එම අකුසලයන් පවතිනු නොඅනුමාන ය.

අනුශාසනාව

පූජනීය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ

 

ඡායාරූපය- අංජන ප්‍රදීප්

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ