‘මල් සේල් කරලා දියුණු වෙන්න බෑ' කියන අයට මෙන්න උත්තරය

ඇන්තූරියම් වගාවෙන් ජීවිතය දිනූ ප්‍රීමාලි මදාරා
ජුනි 6, 2022

 

ගෙමිදුල වගේම ගෘහ අභ්‍යන්තරය වර්ණවත් කරන ඇන්තූරියම් වගාව අතමිට සරුකරන ව්‍යාපාරයකි. මේ සඳහා මඟ පෙන්වීමක් ලබා දෙමින් ඇන්තූරියම් වගාවට අවශ්‍ය වන දැනුම ඔබ වෙත ගෙන ආවෙමු. එය දැක වගාවට පිවිසෙන්න හිතන අය වගේම අදිමදි කරන අයත් ඉන්නවා. ඒ නිසාම අද වගාවක් සාර්ථකව පවත්වාගෙන යන කාන්තාවක් ඇගේ වගාව සමඟ ඔබට හඳුන්වා දෙනවා. එලෙස හඳුන්වා දෙන්නේ ඔබටත් ඇය සේම සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වන්නට හැකිබව පෙන්වා දීමටයි.

 

ප්‍රීමාලි මදාරා නම් වූ ඇගේ ‘ප්‍රීමාලි නර්සරි' ඇන්තූරියම් වගා භූමිය පිහිටියේ කුරුණෑගල, මාවතගමයි. අපි ඇගෙන් ඇන්තූරියම් වගාවට යොමු වීම පිළිබඳ විමසීමක් කළෙමු. මේ ඔබ වෙනුවෙන් ඇය දැක්වූ අදහස් ය.

“බබාලා එක්ක දවසම ගෙදරට වෙලා ඉඳිද්දි හිත රිලැක්ස් කරගන්න තමයි මුලින්ම මල් වගා කරන්න ගත්තේ. ඇන්තුරියම්වලට පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි. ඒ ආසාව තමයි මෙච්චර දුරක් ආවේ. වගාව නිසා මං ලොකු ස්ථාවරයක් මටම කියලා ගොඩනගා ගත්තා. දැනට තියෙන ලොකු නෙට් හවුස් එක ගහපු ඉඩම, මටම කියලා වාහනයක් වගේ හැම දේම මල් නිසා මල්ඵල දරපු, සැබෑ වුණු හීනයි.

මල් වගාව අරඹලා දැන් අවුරුදු 6 කට වැඩියි. මුලින්ම මාවතගම සුවහස් එකට තමයි බැඳුණේ. එයට එකතු වී ප්‍රදර්ශන කිපයක් කළා. ඒත් එහි නීතිරීති තියෙනවා. ඒ වගේ නීතිරිතිත් එක්ක එහෙම තැනකට හිර වෙලා ඉන්න බෑ කියලා හිතුණා. දවසින් දවස අපි යමක් කරනවා කියලා දැනුණාම එතැන අය ගැටලු මවාගන්න උත්සාහ කළා. ඒනිසා සුවහස් එකෙන් අයින් වෙලා මගේ ගෙදර තියෙන පොඩි ඉඩේ නර්සරිය ‘ප්‍රීමාලි ප්ලාන්ට් නර්සරි' නමින් ආරම්භ කළා.

කියන්න ඕනෙ ලොකුම කතාව තමයි මගේ පළවැනි නෙට් හවුස් එක අඩි 10-8 වගේ ඇති. ඒකේ ඉඩ මදි වෙනකොට ඉතිරිව තිබුණු ඉඩේ තවකාලිකව නෙට් එකක් ඇදන් අවුරුද්දක විතර සේල් කළා අදටත් මං ඒක තියාගෙන ඉන්නවා. මගෙ නම හැදුණේ ඒකාලෙයි. සමහර මල් ගන්න එන අයම අහලා තියෙනවා “මේ පොඩි ඉඩෙන් ද නංගි ඔයා දවස ගාණේ මෙච්චර සේල් කරන්නේ?" කියලා.

ඇන්තූරියම් කියන්නේ ස්වාභාවික මල් වර්ගයක්. ඒ නිසාම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ප්‍රායෝගිකව අත්දැකීම් සමඟින් තමයි ඒවාට සාර්ථක ක්‍රමවේද හොයා ගන්නේ. වෙළෙඳපොළේ කොයි තරම් බෙහෙත් තිබුණත් තවානකට ලෙඩක් ආවොත් බෙහෙත් ගහලා හොඳ කරන්නම බෑ. දවස ගාණේ මොනතරම් උත්සාහ කළත් සමහර වේලාවට ලොකු පැළ ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. කාලයක් යද්දී තමයි සාර්ථකම ක්‍රමය අපට දැනෙන්නේ. ඒ නිසා ලෙඩ හැදිලා මැරෙනවා කියලා වගාව අත්හරින්නේ නැතුව පාඩු දරාගනිමින් තමයි මෙච්චර දුරක් ආවේ.

මගේ අලෙවිසලට බැංකොක්, නෙදර්ලන්ඩ් සහ මැලේසියන් යන රටවලින් මල් එනවා. එහෙම රටින් මල් ආව දවස්වලට අපිට කන්නවත් වෙලාව නැති තරම්. එහෙම වේලාවට අම්මා ඇවිත් ළමයි ටික බලා‍ගෙන හිතට දුන්න ඒ හයිය මහමෙරක් තරම් වටිනවා. අපිට සේවකයෝ නැහැ. දැනට මල් හදන්නේ මමයි මගේ මහත්තයයි දෙන්නා එකතු වෙලා. ඒත් සමහර වෙලාවට පෝච්චිවල වල් පැළ ගලවන්න, ඒවා ශුද්ධ කරන්න වගේ පොඩි දේවල්වලට අහළපහළ කෙනෙක් උදව්වට එනවා. ඒනිසා පළමුව තමා තනිවමත් පසුව පවුලේ අයගේ සහාය අරගෙන තමයි මේ වැඩකටයුතු කරගන්න ඕනේ.

ඇත්තටම ඇන්තූරියම් මල් වගාව කියන්නේ හිතේ සැනසීමත් එක්ක හරිම සතුටින් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම කාන්තාවකට හොඳ ස්වයං රැකියාවක් විදිහටයි මං එය දකින්නේ. කාගේ හෝ යටතේ රැකියාවකට යනවාට වඩා මේ ගැන හරි දැනුමක් ලබලා දවසක හැබැ වෙන හීනයක් දකින්න. ඒ සඳහා ලස්සන පුංචි තවානක් පටන් ගන්න. ඒ මානසික සතුට ඔබටත් අත්දකින්න පුළුවන්.

ගෙදරට වෙලා ඉන්න මල්වලට ආදරේ කරන ඕනෙම කෙනෙක්, තියෙන්නේ ලේඩිජෙන් ද බැංකොක් ද ලෝකල් ද ආසාවෙන් ආදරයෙන් ලස්සනට හදන්න. කවදාවත් වරදින්නේ නම් නැහැ. ඒ ආසාව දවසින් දවස ඔයාව අලුත් බලාපොරොත්තුවලට එක්කන් යාවි. මල්වලට ආධුනික කාලේ රටින් මල් එද්දි ලක්ෂ ගණන්වල මල් ගෙනත් දවසෙන් මැරිලා තියෙනවා. ඒත් මං වැටුණේ නෑ. මං අද යම් තැනක ඉන්නවා නම් ඒ වෙනස් නොවෙන ආධිෂ්ඨානය නිසයි.

මගේ මල් වත්තෙන් මං ආසම මල් ටික හැමදාම වෙන්කර ගන්නවා. කීයක් කිව්වත් මං ඒවා දෙන්නේ නෑ. ඒ වගේ අවුරුදු ගාණකට කලින් මං එහෙම ආසාවෙන් හොයාගෙන සේල් නොකර උදේ හවස බල බලා ආදරයෙන් හදපු රුපියල් 2000/3000 ගණන්වලට තිබුණ මල් පහුගිය කාලේ රුපියල් 30000 /50000/1000000 ට ගිය අවස්ථා තිබුණා. ඒත් මං මිල නො කරපු ඒ සමහර මල් අදටත් මං ළඟ හරි ලස්සනට හිනහෙනවා. ජීවිතේ කියන්නේ සල්ලිම බිස්නස් එකක්ම නො කර ගත්ත මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. මේ අවට ඕනෙම කෙනෙක්ට පුළුවන් ඇවිත් මගෙන් දැනුම ලබාගන්න. ඒ අයට මං දන්න දැනුම නොමිලේම කියලා දෙනවා.

දවසින් දවස දියුණු වෙද්දි ‘මල් සේල් කරලා එච්චර දියුණු වෙන්න බැනේ. කවුද අනේ ඔහොම මල් ගන්නේ?' කිය කියා ගම වටේටම කියවන් යන සෙට් එකක් හැම ගමක ම වගේ අපේ ගමෙත් ඉන්නවා. ඉතිං අපි ඕවාට උත්තර දෙන්න ගියොත් එ්කෙන් පාඩු වෙන්නෙත් අපිටමයි."

ප්‍රීමාලි ගේ කතාවෙන් ඔබට කියන්නේ අපතේ යන කාලයට වටිනාකමක් දෙන්න, අමතර ආදායමක් උපයා ගන්න, ගෘහණියක් විදිහට ගෙදර වැඩ, ළමයින්ගේ වැඩත් එක්ක මානසික සුවය ලබාගන්න මේ ව්‍යාපාරය කදිමයි කියා නොවේ ද?