එන්න, අපි බුලත් දඬු ඉන්දමු

අගෝස්තු 8, 2022

“නාගවල්ලී දලූපේතං” කියලා බුදුන්ට පූජා කරනවා. කතාවට කියන්නේ නාග ලෝකේ ඉඳලා නාග කන්‍යාවක් මේ ලෝකෙට ගෙනාවා කියලා යි. උපතේ සිට මරණය දක්වා ම වූ හුදු මහත් සෑම සංස්කෘතික කටයුත්තකට ම එය උවමනා වෙනවා. ඉතින් ඔබට දැනටමත් තේරෙනවා ඇති අපි අද කතා කරන්න යන්නේ කවුරුන් ගැන ද කියලා. අප අද කතා කරන්නේ බුලත් ගැන.

 

බුලත් කනවට වැඩියෙන් ම අකැමැති අපේ කාන්තාවන්. ඒ බුලත් කෙළ හැමතැනම ගහන නිසයි. ඒත් අපි අද කතාකරන්නේ ඊට එහා ගියපු එදිනෙදා ආදායමක් පවා උපදවා ගන්න, ඒ වගේම පිටරටින් විදේශ විනිමය පවා ගෙන්වා ගන්නත් පුළුවන් බුලත් වගාව ගැන යි.

 

අපි දන්නේ මොනවද?

ක්‍රි. පූ. 350වැනි සියවසේ දී පවා අපි බුලත් වවලා තියෙනවා. කාලත් ති‍ෙයනවා. ඒත් මේ වෙන කොට අපේ බුලත් පිටරටට පටවන්න අපිට හොඳ පොටක් පෑදිලයි තියෙන්නෙ. අපේ ප්‍රධාන ගැනුම්කරුවා වන්නේ පාකිස්ථානය. ඊට අමතරව ප්‍රංශය, ජර්මනිය, ලෙබනනය, මාලදිවයින වගේ රටවල් පොඩි ප්‍රමාණවලින් ගන්නවා. ඉතින් බුලත් ටිකක් වවා ගත්තොත් ඔබට වගේම රටේත් අතමිට සරුකර ගන්න ඔබට පුළුවන් නේද?

 

කොහෙද වවන්නේ?

හොඳට වැස්ස තියෙන අඩි 3000ක උසක් දක්වා වන ඕනෙම තැනක බුලත් වවන්න පුළුවන්. හැබැයි හොඳට හිරු එළිය තියෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාප නම් ඒ සඳහා හොඳට ම ගැළපෙනවා. අනෙක් පැතිවලත් බැරි කමක් නෑ. හැබැයි ඉතින් හොඳට වතුර දාන්න ඕනේ.

 

හොඳ පොළොවක්....

සමතලා බිමක් නම් මේ සඳහා හොඳට ම හොඳයි. ඒ වගේම හොඳින් හිරු එළිය වැටීමත් අත්‍යවශ්‍ය යි. හැබැයි වතුර රැඳිලා තියෙන්න බැහැ. වතුර බැහැල යන්න ඕනෙ. බොරළු පසක් මේකට හොඳට ම ගැළපෙනවා.

 

පාත්තිය හදමු....

මේ සඳහා පළල අඩි හතරක් හොඳට ම ප්‍රමාණවත්. දිග ඔබේ කැමැත්ත මත තීරණය කරනවා. අඩි එකහමාරක් විතර ගැඹුරට හොඳට පස පෙරළලා පස්කැට තියෙනවා නම් හොඳින් පොඩි කර ගන්න. සෙන්ටිමීටර් 10ක් විතර ගැඹුරට (අඩි භාගයක් කියලා හිතාගන්නකෝ) ගිළුණු පාත්තියක් විදිහට ඔබේ පාත්තිය සකස් කරගන්න. බුලත්වලට හරි ඉක්මනට ලෙඩ එනවා. මේ හින්දා පසේ විසබීජ විනාශ කර ගන්න එක අනිවාර්යයෙන් ම කරන්න ඕනෙ. මෙන්න මේ වැඩේ කරොතින් ඔබට පහසුවෙන් ම පසේ තිබෙන විසබීජ විනාශ කරන්න පුළුවන්. මුලින්ම ඔබ හදපු පාත්තිය වතුර දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඒ පාත්තිය සම්පූර්ණයෙන් ම අඟල් හයක් විතර වෙනකන් දහයියා හා පිඳුරුවලින් තට්ටු තට්ටු අසුරා ගන්න. ඊට පස්සේ ගිනි තියන්න. හොඳට ගිනි ගත්තට පස්සේ, දින 07ක් ගියාම හිටවන්න පටන්ගන්න සුදුසු ම කාලය වෙනවා.

 

වෙළෙඳපොළ සඳහා.....

අපි බුලත් කියලා හිටවන්නෙ ඇත්තට ම බුලත් දඬු. පැළ හිටවන්නත් පුළුවන්. ඒත් ඔබේ අරමුණ අනුව හිටවන දණ්ඩ වෙනස් වෙනවා. අපේ රටේ වෙළෙඳපොළට බුලත් යවන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ සිටුවන බුලත් වැලේ ගැට පරතරය අඩු ළා කොළ පාට කුඩා බුලත් දඬු හොයාගන්න ඕනේ. විදේශීය වෙළෙඳපොළට ඔබ බුලත් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් තද කොළ පාට ගැට අතර පරතරය වැඩි විශාල බුලත්කොළ සහිත දඬු හොයාගන්න ඕනේ. ඊට පස්සේ අඩි එකහමාරෙන් එකහමාරට දඬු හිටවන්න අවශ්‍ය යි. බුලත් කියන්නේ වැලක්නේ. ඉතින් ආධාරක අත්‍යවශ්‍ය යි. මේ සඳහා මහෝගනී, තේක්ක වගේ ගහක හරස් අතු පාචිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අඟල් 2 x 2 පළාගත් ලීත් මේ සඳහා සුදුසු වෙනවා. මේ එක් ඉන්නකට (මේ ආධාරක ශාකයට කියන්නේ “ඉන්න” කියලා.) බුලත් දඬු දෙක බැඟින් හිටවන්න මතක තියා ගන්න. බුලත් හිටවන්න කලින් පසට, කාබනික පොහොර, විශේෂයෙන් ම දිරාගිය ගොම තට්ටුවක් යොදන්න පුළුවන් නම් බොහොම වටිනවා. බුලත් දඬු හිටෙව්වා ට පස්සේ පොල් අතුවලින් වහලා හෙවණක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. හොඳට ජලය යොදන්න.

 

පොහොර යෙදීම......

බුලත් කියන්නෙ රසායනික පොහොරවලට හොඳට ම සංවේදී භෝගයක්. ඔබ නිතර ම බුලත් කඩන නිසාත්, වෙළෙදාමක් විදියට වගා කරන නිසාත් රසායනික පොහොර යොදන්න ම වෙනවා. මේකට යූරියා, THP, MOP, කීසරයිට් කියන මිශ්‍රණය පහත ප්‍රමාණයන්ගෙන් දාන්න ඕනෙ.

 

ඉණි සීයකට අවශ්‍ය පොහොර ප්‍රමාණය

යූරියා ග්‍රෑම් 195ක්, THP ග්‍රෑම් 100ක්, MOP ග්‍රෑම් 65ක්, කීසරයිට් ග්‍රෑම් 60ක්.

මෙය ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් ගොමත් සමඟ කලවම් කර පොළොවට යොදන්න. බුලත් වැල අඩි පහක් විතර උස ගියාට පස්සේ, අස්වනු නෙළාගන්න පුළුවන්. දිගට ම ජලය යොදන්න. ඒ වගේම ප්‍රධාන කඳේ හා ශාඛාවල (මේවට “පළුකං” කියලා අපි කියනවා.) මේරූ කොළ ඉවත් කරන්න අමතක කරන්නත් එපා. ඉතිං මේ විදිහට සති දෙකෙන් දෙකට ඔබට අස්වැන්න ගන්නත් පුළුවන් වේවි. බුලත් කියන්න ලෙඩවලට හරිම සංවේදී භෝගයක්. ඒ නිසා මේ කියලා තියන දේවල්වලට අමතරව බාහිර වෙනත් කිසිම දෙයක් බුලත් වගාවට යොදන්නේ නැත්නම් හොඳයි. ඒ ව‌ගේම ඔබ වතුර දාන කොට පොදු ජල ප්‍රවාහන පද්ධතියක තියන වතුර දාන්න එපා. ඒ ජලය දානවා නම් අවම වශයෙන් පැය 24ක් වත් ගබඩාකර තබා දාන්න. උත්සාහ කරලා බලන්න. ඔබට හොඳ බුලත් වගාවක් හදාගන්න පුළුවන් වේවි. බුලත් ඉණි 100කින් එක් වතාවකට බුලත් කොළ 6000ක් විතර කඩා ගන්නත් පුළුවන්.

ගණන් හදලා බලන්න. අද දවසේ වෙළෙඳපොළේ බුලත් කොළයක මිල අනුව ඔබට කොපමණ ආදායමක් ගන්න පුළුවන් ද කියලා. ගෘහණියක් විදිහටත් මවක් විදිහටත් ගෙදරට අතිරේක ආදායමක් හොයා ගන්න ඕනෙ නම්, මේ දවස්වල බෙහෙවින් ම වටිනවා නේද?

 

වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න. නැත්නම්, [email protected] යන විද්‍යුත් ලිපිනයට ලියන්න.

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය