අරපිරිමැස්ම අගයනවා නම් අණ්ඩ දමන්නත් ඉගෙන ගන්න

පවුලටම ගෘහවිද්‍යාව
ඔක්තෝබර් 10, 2022

 

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

 

මේ ගෙවෙන කාලයේ ගෘහණියට පැවරී ඇති කාර්යභාරය සුළු පටු නොවේ. කාලයෙන් නියම ප්‍රයෝජන ගෙන පවුලේ දියුණුවට කටයුතු කළ හැකි නම් ඔබ දිනුම්. හිතන්න, ඔබගේ රෙදි පිළි විවිධ හේතු නිසා පළුදු විය හැකියි. ඒවා අලුත්වැඩියා කරගෙන පාවිච්චියට ගැනීම කළ යුතුයි. දරුවන්ටත් ඒවා කියා දිය යුතුයි. නැතිනම් වටිනා ඇඳුමක් වුවද ඉවත දැමීමට සිදුවේවි. කුඩා සිදුරක් නම් එළලීම මඟින් ද ලොකු සිදුරක් නම් අණ්ඩ දැමීම මඟින් ද අලුත්වැඩියා කළ හැකියි.

 

රෙද්දක හෝ ඇඳුමක ඇතිවූ සිදුරක් අණ්ඩ දැමීම ඒ වර්ගයේම රෙදි කැබැල්ලක් යොදා ගැනීම යෝග්‍ය වේ.

උදා - සුදු රෙදි අණ්ඩය

චීත්ත රෙදි අණ්ඩය

ප්ලැනල් අණ්ඩය

 

සුදු රෙදි අණ්ඩය මසන ආකාරය ඉගෙන ගනිමු. මුලින්ම රෙද්දේ සිදුරු වුණ තැන වටේ නූල් කපා සිදුර හතරැස් ලෙස කපා ගත යුතුයි. එය අඟලක් දෙකක් විය හැකිය. එය ඉරී ඇති ප්‍රමාණය අනුව වෙනස් වේ.

ක්‍රමවත්ව කපාගත් සිදුරේ කොන් හතරින් කර්ණාකාර කැපුම් 4ක් කපන්න. එම කැපූ කොටස් නමා තියා ගන්න.

සිදුර එලෙස සකසා ගැනීමෙන් පසු එම සිදුරේ ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් අණ්ඩය සඳහා රෙදි කැබැල්ල කපා ගත යුතුයි.(හතරවටට අඟල් 1/2 පමණ පරතරයක්) දැන් අණ්ඩය සවි කරමු. පළමුව නමන ලද සිදුරේ කණපිටින් රෙදි කැබැල්ල තබා කොන් හතරේ අල්පෙනෙති ගසා සවිකරන්න. අණ්ඩය සඳහා රෙදි කැබැල්ල තබන විට සිදුර සහිත රෙද්දේ දිග හරස් පැති නොවරදවා තබා ගැනීමට සැලකිලිමත් වන්න. ඉන්පසු බොරු නූල් ඇද සවිකරන්න.

අණ්ඩය මේ ආකාරයට සකස් කරගෙන එහි හොඳ පිට වාටි මැස්මෙන් මසාගන්න. මුළු හතර මසන විට මුල්ලේ අයිනට කෙළින් මැස්ම බැගින් යොදා මුල්ල ශක්තිමත් කරගන්න. එනම් කෙළින් මැහුම් පහරක් බැගින් ගසන්න. පැති හතරේම වාටි මැසීමෙන් අනතුරුව ආපසු මැහුම් පහරවල් 6ක් ගසා මැහුම අවසන් කර බොරු නුල් ඇද ඉවත් කරන්න. ඉන්පසු මැහුමේ නොපිට හරවා අණ්ඩය කැබැල්ලේ වාටි සිහින්ව නවා වාටි මැස්මෙන් මසන්න.

චීත්ත රෙද්දක අණ්ඩය මසා ගැනීමට ද මේ ආකාරයට ම රෙද්ද සකස් කරගන්න.

චීත්ත අණ්ඩය දැමීමේදී ද එම රෙද්දේ වර්ගයෙන්ම එම මෝස්තරය සහිත රෙද්දක් යොදා ගත යුතුය. සුදු රෙදි අණ්ඩය යෙදූ ආකාරයටම චීත්ත රෙදි කැබැල්ලේ සිදුර කපා සකස් කරගන්න. චීත්ත රෙද්දේ මල් හෝ මෝස්තරය නොවෙනස් වන ආකාරයට හොඳ පිටින් ඍජුව තබා පෙර සේම මුළු හතර අල්පෙනෙති ගසා සවි කර බොරු නූල් ඇදගන්න. වාටි මැස්මෙන් මසන්න. ඉන්පසු නියපිටින් මැහුම හොඳින් සමතලා කරගෙන බොරු නූල් ගලවා නොපිට හරවා ගන්න. ඉන්පසු කණපිට සිදුරේ වාටිය බ්ලැන්කට් මැස්මෙන් මසාගන්න. හොඳ පිටට මැහුම් පහර නොවදින ලෙස මසා ගැනීමට සැලකිලිමත් වන්න.

ප්ලැනල් රෙද්දක මෙවැනි සිදුරක් ඇති වූ විට ද අණ්ඩයක් දමා අලුත්වැඩියා කරගත හැකිය. මෙහිදී මැහුම් ක්‍රමය වෙනස් වේ. එසේ වන්නේ අනෙක් රෙදිවල වගේ වාටි නවා මැසීම මෙහිදී කළ නොහැකි නිසයි.

 

පෙර පරිදිම සිදුර හතරැස් කර කපා ගෙන අණ්ඩය සඳහා යොදන ප්ලැනල් රෙදි කැබැල්ල සිදුරට වඩා අඟල් 1/4 පමණ හතර වටේට වැඩියෙන් තබා කපාගන්න. ඉන්පසු පෙර පරිදි සිදුර මත තබා බොරු නුල් අඳින්න. ඉන්පසු සිදුරේ වාටියේ අද්දරට අඟල් 1/8 පමණ ලකුණු කරන්න. හැඩය වෙනස් කර නොගන්න. ඉන්පසු එම සිදුරේ අද්දර වාටිය අසුවන පරිදි වම් පැත්තේ ඉහළ කෙළවරින් ඉදිකටුව ගසා පහත රූපයේ පෙන්වා දී ඇති පරිදි හෙරිංබෝන් මැස්මෙන් මසාගන්න.

 

මේ ආකාරයට ඉරුණු ඇඳුමක් අණ්ඩ දමා හෝ ප්‍රයෝජනයට ගත හැකි නම් මේ අමාරු කාලයේ ඔබට යම් තරමකවත් සැනසීමක් ලැබේවි.

 

උපදෙස් :

හේවාහැට රහතුන්ගොඩ

මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි

ඉන්ද්‍රානි විජයබණ්ඩාර