ශාරීරික අපහසුතා විඳ දරා ගැනීමෙන් රෝග රැසක් ඇති වන බව දන්නවා ද?

මැයි 5, 2021

 

සති අන්තයේ වජිරා සැමියා ජගත් සමඟ ඔහුගේ කාර්යාලයේ මිතුරු මිතුරියන් සමඟ විනෝද සවාරියක් ගියේ සෑහෙන කාලයකට පසුවයි.

සීතල නිසංසල පරිසරයක පිහිටි හෝටලයක පිරිස නවාතැන් ගත් අතර වඩාත් විනෝදාත්මක අවස්ථාව වුණේ රාත්‍රියේ ඔවුන් ගේ නර්තන සාද. සෑම දෙනෙක්ම පාහේ සිතේ හැටියට විනෝද වුණත් වජිරාට හැදුණු දරුණු හිසරදයත් එක්ක ඇයට සියල්ලක්ම එපා වුණා. රාත්‍රියට ආහාර ගන්නවත් ප්‍රියතාවයක් නොතිබුණු නිසා ඇය වේලාසනින් නින්දට ගියා.

පහුවදා ආපසු එන අතරතුරදීත් ඇය සිටියේ නිදාගත් ගමන්මයි. නිවෙසට පැමිණි සැණින් ජගත් ඇයව වෛද්‍යවරයකු කරා රැගෙන යන්න උත්සාහ කළත් ඇය ඊට ඇකැමැති වුණේ ‘‘ඕක ටික වෙලාවකින් ඇරිලා යයි‘‘ කියමින්.

ගතේ මහන්සියට ටිකක් නිදා ගත් ජගත් යළි පිබිදුණු විට දුටු දසුනින් පුදුමයට පත්වුණා. වජිරා සුපුරුදු කඩිසරකමින් කෑම පිසිමින් සිටි අතර, ජගත් පිබිදුණු බව දුටු ඇය තේ එකක් රැගෙන ආවේ සිනා මුසු මුහුණින්.

‘‘ ඔයාට දැන් හොඳයි ද?‘‘

‘‘ ඔව් අනේ. මට ලෙඩක් තිබුණේ නැහැ.‘‘

‘‘එහෙනම් මොකද වුණේ‘‘

‘‘මට එහෙම පිට තැන්වලදී ටොයිලට් යන්නේ නැහැ. ඒකට ගෙදරම එන්න ඕන. ඒ නිසා තමයි මට හිසරදේ හැදුණේ ‘‘

කාන්තාවක් ලෙස ඔබත් මෙවැනි අවස්ථාවලට මුහුණ දී තිබෙනවා ද? සැබැවින්ම එලෙස ශාරීරික අපහසුතා ආයාසයෙන් විඳදරා ගැනීම හොඳ ද? එලෙස ශාරීරක වුවමනාවන් දරා සිටීම නිසා ඇතිවන අයහපත් විපාක මොනවාද?

මේ සමාජයේ ප්‍රසිද්ධියේ කතා බහ නොකරන මාතෘකාවක්. ශරීරයෙහි ස්වභාවික වුවමනාවන් හෙවත් වේග වලින් සමහරක් දරා සිටීම තුළින් අපට විඳින්නට සිදුවන ප්‍රථිවිපාක ගැන අප පසුගිය තරුණී කලාපයකින් සාකච්ඡාවට බඳුන් කළා මතක ඇති.

අද අප කතා කරන්නේ බොහෝ දෙනා ප්‍රසිද්ධියේ කතාකිරීමට අකැමැති නමුත් දරා සිටීම මඟින් ඉතා අයහපත් විපාක වලට මුහුණ දීමට සිදුවන වේග කිහිපයක් සම්බන්ධවයි.

මල පිටකිරීම, මුත්‍ර පිට කිරීම, වාත පිටකිරීමට ඇතිවන වුවමනාව අනෙක් ශාරිරික වුවමනා මෙන්ම ශරීරයෙහි ඇතිවන ස්වභාවික වුවමනාවන් ය. නමුත් සමාජයෙහි බොහෝ දෙනා විශේෂයෙන්ම කාන්තාවක් මෙම වේග පාලනය කරගෙන සිටීම දක්නට ලැබෙන සුලබ කාරණයකි. විශේෂයෙන්ම නි‍‍ෙවසින් බැහැර රාජකාරි වලට යන ළඳුන් එම වේග ආයාසයෙන් දරාගෙන සාමාන්‍ය ලෙස සිය කටයුතු කරගෙන යන අවස්ථා එමටය. බොහෝ විට එයට නිදහසට කාරණය ලෙස කාන්තාවන් පවසන්නේ කාර්යබහුල ජීවන රටාව අතර තුර මෙම වේග පිටකිරීමට සුදුසු ස්ථානයක් නොලැබීම, ප්‍රසිද්ධ කැසිකිළි, වැසිකිළි භාවිතයට ඇති ලැජ්ජාව, නිවෙසින් බැහැරව වැසිකිළි කැසිකිළි භාවිතා කිරීමේදී පිරිසුදුකම පිළිබඳව ඇතිවන ගැටලු ය. නිවෙසින් බැහැරව මල, මුත්‍රා, වාත පිටකිරීමට යෑමේදී ඔබට මුහුණ දෙන්නට සිදුවන එම ගැටලු බෙහෙවින් සාධාරණ විය හැකිය. නමුත් මෙම වේග පිට නොකර දරාගෙන සිටීම ඔබගේ නිරෝගී ජීවිතයට සෘජුවම අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා.

 

මුත්‍රා පිට කිරීමේ වේගය දරා සිටියොත් මොකද වෙන්නේ?

 

මුත්‍රාශය එයට දරා සිටීමට හැකි ප්‍රමාණයට වඩා මුත්‍රා වලින් පිරීගිය විට මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ලෙස එය සංඥා කරනු ලබනවා. කාර්යබහුල බව, අවධානයෙන් යුතුව කිසියම් කාර්යයක් කරන විට, කම්මැලිකම, දුර ගමන් බිමන් යෑමේදී, සභාවක් මැද දී අවශ්‍යතාවය කීමට ඇති ලැජ්ජාව වැනි හේතු නිසා එම අවශ්‍යතාව දරා සිටින්නට බොහෝවිට පුරුදු වී සිටිනවා. මුත්‍රා පිටකිරීමේ වේගය දරා සිටීම නිසා මොකද වෙන්නේ. යටිබඩ වේදනාව, මුත්‍රා දැවිල්ල, හිසරදය ඇති වන අතර බොහෝ වේලා දරා සිටියහොත් සිහිසුන් වීම පවා සිදුවේ. එසේම දිගින් දිගටම මෙලෙස මුත්‍රා පිට නොකර දරාසිටියහොත් කල් ගත වන විට වකුගඩු රෝග, ලිංගික අවයව විකෘති වීම සිදුවිය හැකියි. එසේම මුත්‍රා ගල් සහ ශරීරයේ අනෙකුත් කොටස් වල රෝගයන් ඇති කිරීමටත් එය හේතුවක් වනවා.

 

මල පිටකිරීමේ වුවමනාව දරා සිටීම නිසා රෝග රැසක්

 

මල පිටකිරීම සඳහා ඇති පෙළඹවීම මැඬ පවත්වාගෙන සිටීම නිසා හිසරදය, මලබද්ධය, උදරයේ කැක්කුම, බඩ දැවිල්ල, මුඛ දුගඳ, ගුද මඟ ආසාදන, ආහාර අරුචිය, වමන තත්ව, ශරීරයේ වේදනාව මෙන්ම කල් ගත වෙත්ම මන්දපෝෂණය ඇතුළු තවත් රෝග රැසක් ඇතිකරලීමට හේතු වනවා. එසේම එම අපහසුතාව දරා සිටීම නිසා මුහුණේ නොරිස්සුම් බව, කේන්තියාම වැනි තත්ත්වයන්ටද මුහුණ දීමට සිදුවනවා. දිගින් දිගටම මේ ලෙස මල පිටකිරීමේ වුවමනාව දරා සිටින විට මුහුණ කළුවීම නිසා ඔබේ රූපයේ ලස්සන පවා මැකී යා හැකිය.

 

වාත පිටකිරීමේ වුවමනාව දරා ගෙන බැහැර නොකර සිටීමෙන් උදරයේ වේදනා

 

මෙය සාමාන්‍යයෙන් ඔබට නුහුරු දෙයක් ලෙස දැනුණත් පුද්ගලයෙක් දිනකට 10 - 20 ත් අතර වාර ගණනක් වාත පිට කිරීම සිදුකරනවා. මෙහිදී වාතය ඉහළට පැමිණීමෙන් ඔක්කාර ලෙස මුඛයෙන් හෝ පහළට ගමන් කිරීමෙන් ගුද මගින් පිටකිරීම සිදුවිය හැකිය. මෙලෙස වාතය පිට වන්නේ ඇයි.? ශරීරයේ එලෙස වාතය සෑදෙන්නේ කෙසේද? මේ අප බොහෝ දෙනකුට ඇතිවන ප්‍රශ්නයක්.

අපිට ස්වාභාවිකව ගිලෙන වාතයට රුධිරයෙන් නිස්සාරණය වී එන වාතය සහ ජීර්ණයේදී පිටවන වායූන් එක්කාසු වී මෙම වාතය නිපදවෙනවා. විවිධ වායු වර්ග සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඒවා බොහෝවිට දුගඳ සහිතය. සුදුසු පරිදි නියමිත ස්ථානයකට ගොස් එය බැහැර නොකර නිතර නිතර දරා සිටීමෙන් උදරයේ වේදනා, බඩ පුරවා දැමීම, මල බද්ධය, මුත්‍රා ආබාධ, බඩ රිදීම් ඇතිවිය හැකියි.

 

මෙවැනි වේග නිතර නිතර දරාගෙන සිටීමෙන් මුහුණ කළු වීම, නොරිස්සුම ක්‍රියාශීලීබව අඩුවීම වැනි දේ සිදුවන අතර එය කාන්තාවක ලෙස ඔබගේ රුව අවලස්සන වීමට ද හේතුවක් වන බැවින් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

 

වෛද්‍ය ගයා ලක්මාලි

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි

මිණුවන්ගොඩ