ආහාර ‍ෙව්ලේ යකඩ නො නසමු

ඉදුණු ගස්ලබු, ඉදුණු අන්නාසි හැමවිටම අාහාරයට ගන්න
මැයි 5, 2021

 

උසට සරිලන මහතකින් බරකින් යුතු හිරණ්‍යාට ගැබිනි සමයේ දී සාමාන්‍ය ආහාරපාන වර්ග ගන්නටයි වෛද්‍ය උපදෙස් ලැබුණේ.

 

ඇගේ BMI අගය සාමාන්‍ය මට්ටමක පැවතුණා. ඒ වගේම හිමොග්ලොබින් මට්ටමත් සාමාන්‍යයි.

"බබා ඔයාට ඔන්න මං අපේ ඔෆීස් එකේ යාළුවෙකුගේ වත්තෙම හදන පලා ජාති ගෙනාවා. එයා සතියකට සැරයක් අපිට ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න... මිටි කිහිපයක් දේවි. මම මිනිහට වැඩිපුරත් එක්ක සල්ලි දුන්නා. වසවිස ගහන්නේ නැතිව හදන පලා ජාති එළවළු, පලතුරු තමයි ඔයා කන්න ඕන"සේමිතගේ යාළුවාගේ වත්තෙ හැදෙන ගස්ලබු, අඹ, නාරං වගේ පලතුරු කිහිපයකුත් සතියකට වතාවක් ලැබුණා.

හිරණ්‍යාගේ කුසේ හැදෙන පුංචිම පුංචි කිරිකැටියාට වසවිසෙන් තොර ආහාරවලින් ලැබෙන පෝෂණය ගැනමයි සේමිත හිතුවේ.

ගර්භණී අම්මා කෙනෙක් කිව්වම බොහෝ දෙනෙක් හිතන්නේ පුළුවන් තරම් මේ අම්මට කවන්න. දන්නෙම නැතිව ගැබිනි සමයේ අවසන් මාස කිහිපයේදී ගැබිනි අම්මා ගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවෙලා. ඇත්තටම වැදගත් ‍වෙන්නේ වෙනදට වඩා පෝෂණ ගුණයෙන් වැඩි ආහාරවේලක් ගැනීම.

ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කෙටි ආහාරවේල් දෙක තුනක් ගැනීමත් වැදගත්. විශේෂයෙන්ම මුල් මාස තුනේ ගන්නා ආහාර දරුවාගේ මොළය වර්ධනයට සෘජුවම බලපානවා.

කැල්සියම් සහ යකඩ පෙත්ත බැගින් දිනකට වතාවක් ගැනීම ගැබිනි මවකට අනිවාර්යය වෙලා තියෙන්නේ එහි අවශ්‍යතාව නිසාමයි. මේ නිසා යකඩ අඩංගු ආහාර ගැනීම වගේම එම ආහාර ඇඟට උරා ගැනීම වැඩි කිරීමත් කළ යුතුයි.

තේ, කෝපි, කැල්සියම් අඩංගු ආහාර සමඟ යකඩ අඩංගු ආහාර ගැනීමෙන් යකඩ උරා ගැනීමක් වෙන්නේ නැහැ. ආහාරවල අඩංගු යකඩ ප්‍රමාණය උරා ගැනීමට විටමින් 'සී' උදව් වෙනවා. රතු පැහැති මාළු, මස්, බිත්තර, බෝංචි, ඇට වර්ගවල අඩංගු යකඩ සංයුතිය වැඩියි. ලංකාව වගේ ආසියාතික රටවල උදවිය වැඩිපුරම ගන්නේ ශාකමය ආහාර. හොඳින් මතක තබාගන්න ශාකමය ආහාරවලට වඩා සත්ත්වමය ආහාරවල අඩංගු යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීම වැඩියි.

යකඩ අවශෝෂණය වැඩි කරගැනීමට ගන්නා විටමින් 'සී' අඩංගු ආහාර අතරට පැඟිරි කුලයේ පලතුරු, සියඹලා, තක්කාලි වගේ දේවල් අයත්. මීට අමතරව විටමින් A, D, B12 මේ දේවල් අඩංගු ආහාරත් ප්‍රධාන ආහාරවේල් තුනෙහි තිබිය යුතුයි.

හැකි තරම් පලතුරු කන්න. මේවා සලාද, බීම වශයෙන් ගනිද්දි සීනි එකතුකරන නිසා අනවශ්‍ය සීනි ප්‍රමාණයක් සිරුරට එකතුවේවි. ඒ නිසා පලතුරු හොඳින් සෝදා කපා කෑම ප්‍රමාණවත්.

පලා, අමුවෙන් කෑ හැකි එළවළු හැකිතරම් සලාද, සම්බෝල ලෙස පිළියෙල කරගන්න. පෝෂණ ගුණය හැකිතාක් නොනැසී පවතීවි.

ඉදුණු ගස්ලබු සහ හොඳින් ඉදුණු අන්නාසි හැමවිටම ආහාරයට ගන්න. ඇස්කෝර්බික් අම්ලය අන්නාසිවල අඩංගු නිසා මුල්මාස තුනේ හැකිතරම් ඉදුණු ඒවා නොකෑමෙන් ගබ්සාවන් කෙරෙහි යම් බලපෑමක් ඇතිවේවි.

සෝස් වර්ග, අච්චාරු, අබ, විනාකිරි දැමූ වෙනත් ආහාර ගැබිනි මවකට එතරම් සුදුසු වන්නේ නැහැ. කෘත්‍රීම බීම වර්ග, ශක්ති ජනක කෑම බීම වර්ග වුවත් සුදුසු නැහැ. හැකිතරම් ජලය පානය කරන්න. මෙය මලබද්ධය වළක්වාලන්නත් හේතුවක් වේවි. දරුවාගේ අස්ථි පද්ධතිය, දත් ශක්තිමත් කරලීමට අවශ්‍ය වන්නේ කැල්සියම්. හාල්මැස්සන්, කුඩා මාළු (ගැඹුරු තෙලේ බැදගත්), නැවුම් කිරි කැල්සියම් ඌනතාව මඟහරවාවි.

සමබල ආහාර වේලක අඩංගු විය යුතු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, ඛනිජ ලවණ, විටමින් අඩංගු ආහාර වේලක් ගන්නේ නම් ගැබිනි මවක් ආහාර සම්බන්ධයෙන් පසුතැවිලි වන්න අවශ්‍ය නැහැ.

 

කෙටි ආහාර වේල්

ගැබිනි මවක් ගතයුතු කෙටි ආහාරවේල් ද පෝෂණීය බවින් අනූන විය යුතුයි. මේ සඳහා ඇට වර්ග සුදුසුයි. රැකියාවට යන මවකට වුවත් කුඩා පෙට්ටියකට කඩල, කව්පි, මුං ඇට, කොල්ලු වැනි ඇට වර්ගයක් තම්බා හැන්දකින් කෑම රැකියාව කරන අතරතුරේ වුවත් වරින්වර කළ හැකියි. විශේෂයෙන් ම නිර්මාංස මවුවරුන් මෙවන් ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

සාමාන්‍යයෙන් කලලයට වැඩි පෝෂණ ප්‍රමාණයක් අවශ්‍ය වනේනේ සති 20 න් පසුව. මේ වෙද්දි බොහෝමයක් අම්මලට උදෑසනට ඇති අපහසුතා මඟ හැරිලා. හැබැයි හැම ගැබිනි මවක් ම එසේය කියන්න බැහැ. මන්ද ඇතැම් ගැබිනි මවුවරුන්ට මාස 9 පුරාවටම දවසේ ඕනෑම වෙලාවක ඔක්කාරය එන්නත් පුළුවන්.

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ