රෝග ඉතිහාසයක් නැතත් ඩෙල්ටා නිසා හදවත ලෙඩ වෙන්න පුළුවන්

සැප්තැම්බර් 8, 2021

 

*ඩෙල්ටාවල එක අතුරු ආබාධයක් වන්නේ මයොකාඩයිටිස් ලෙස හඳුන්වන හදවත් ප්‍රදාහය යි

 *හදවත දුර්වල වී අකර්මණ්‍ය වී ක්ෂණිකව මරණයට පත් වේවි

*නව කොරෝනා වෛරස් ප්‍රභේදය ට වඩා ඇල්ෆා පනස් ගුණයක් වේගයෙන් ද ඇල්ෆාට වඩා පනස් ගුණයක් වේගයෙන් ඩෙල්ටා ද පැතිරෙනවා

 

වසංගතයක් කියන්නේ මොනතරම් මාරාන්තික දෙයක්ද? වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණයේ බල මහිමයෙන් බොහෝ මාරාන්තික රෝග දැන් උණ , සෙම්ප්‍රතිෂ්‍යාව තරම් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. මෙතෙක් එසේ සැහැල්ලුවට කිව්වත් කෝවිඩ් - 19 වසංගතය අපට උණ, සෙම්ප්‍රතිශ්‍යාව යන ලක්ෂණ පවා සිතට මහ මෙරකට වැඩි බරක් එක් කරලා.

ඩෙල්ටා ප්‍රභේදය සිතට දැනෙන බිය වැඩි කරලා. ඩෙල්ටා ප්‍රභේදය යන වචන දෙකම ටොනාඩෝවකටත් වඩා වේගයෙන් කන් පසාරු කරගෙන යද්දී එකම පුද්ගලයාගෙන් ඩෙල්ටා ප්‍රභේද තුනක් ම තියෙන පුද්ගලයන් හමු වීම වැසි සීතලටත් වඩා සිරුර සීතලෙන් සෙල් පිළිමයක් කරන කාරණාවක්.

තවමත් ඩෙල්ටා කියන යක්ෂයා මොන තරම් කළු ද කියමින් සොයා ගනිමින් සිටිනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම අති භයානකයි.

සමහර නව කොරෝනා වෛරස් ප්‍රභේද තරුණ අයට බලපෑමක් කළේ නැහැ. දරුවන් ට හැදුණ බවක් වත් හොයා ගන්න බැරි වුණා.

ඒත් ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වන පුද්ගලයාට වයස ගැන සිතා රෝගය ගැන අවතක්සේරුවක් කරන්න බැහැ.

මුල්ම නව කොරෝනා වෛරස් ප්‍රභේදය ට වඩා ඇල්ෆා පනස් ගුණයක් වේගයෙන් ද ඇල්ෆාට වඩා පනස් ගුණයක් වේගයෙන් ඩෙල්ටා ද පැතිරෙනවා. ලංකාවේ නම් පැතිරීමේ වේගය 60% - 70% ක් තරම් වෙනවා.

තදබල ලෙස රෝගී වීමට, වැඩි රෝග ලක්ෂණ ගණනක් පෙන්වීම‍ට, ඔක්සිජන් මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමට මේ ඩෙල්ටා ප්‍රභේද විකෘතීන් වැඩි පුද්ගලයන් හමු වීම හේතුවී තියෙනවා.

අපේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් ඇසුරින් කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මින් පෙර කිසිදු හදවත් රෝග ලකුණක් පෙන්වා නැති බාල, තරුණ පුද්ගලයන් පවා මේ භයානක ප්‍රභේදය නිසා හදවත් රෝගවලට ගොදුරුවන්නට පටන් ගෙන ඇති බවය.

අධි රුධිර පීඩනය, දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පරම්පරාගතව රෝගය තිබීම වැනි විවිධ හේතු හදවත් රෝගයකට බලපෑවත් මේ අයට එකම හේතුව වී තිබෙන්නේ ඩෙල්ටා ආසාදනය වීමයි. ෆයිසර් වැනි එන්නතකින් ඉතා කලාතුරකින් හදවත ප්‍රදාහයට පත් වීමට හැකි නමුත් ඊට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් හදවත ප්‍රදාහයට පත් වීමේ ඉඩ ඊට වැඩියි.

ඩෙල්ටා නිසා තරුණ හා බාල අය මාරාන්තික හදවත් රෝගවලට ගොදුරු වීම ලෝකය පුරාම දකින්න ලැබෙනවා. ඩෙල්ටාවල එක අතුරු ආබාධයක් වන්නේ මයොකාඩයිටිස් ලෙස හඳුන්වන හදවත් ප්‍රදාහය යි.

ප්‍රදාහය දරුණු වූ විට හදවත දුර්වල වී අකර්මණ්‍ය වී හදවතේ රිද්මය අසාමාන්‍ය වී ක්ෂණිකව මරණයට පත් වීමට පුළුවන්. ඉන්දියාවේ රෝගය ලැව්ගින්නක් මෙන් පැතිරෙද්දී සුව උපදෙස් පිළිපදිමින් එන්නත් මාත්‍රා දෙකම ගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දුන්නේ මේ නිසයි.

පාදයේ ඇතිවන රුධිර කැටියක් හදවතට හෝ පෙණහලුවලට යාමෙන් ද මෙවැනි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. රෝගියා බරපතළ ලෙස රෝගී නැතත් නිදන්ගත හදවත් රෝග තත්ත්වයක් නොතිබුණත් තරුණ රෝගීන් මේ කවර ආකාරයකට හෝ ක්ෂණිකව මිය යනවා. අවුරුදු 20 - 39 වැනි වයස් කාණ්ඩවල අය මියයන්නන් අතර සුලබයි.

අමෙරිකාවේ වයස අවුරුදු 12 - 17ත් අතර නව යෞවනයන් අතර ද හදවත් ප්‍රදාහයන් දක්නට ලැබී ඇති අතර වැඩි දෙනෙක් පිරිමින්.

මයෝකාඩයිටිස් අවදානම ඇති නිසා හදවතේ සුළු හෝ අපහසුතාවක් ඇති වන කෝවිඩ් - 19 රෝගීන් වහාම රෝහල් ගත විය යුතුයි. එන්නත් මාත්‍රා දෙකම ගත් අයට ඉතා ඉක්මනින් රෝගය සුව අතට හැරෙනවා. ඒ වාගේම එන්නත් ගත් අය මේ තත්ත්වයට ගොදුරු වන්නේත් අඩුවෙන්.

ඩෙල්ටා ප්‍රභේදයේ ඇති තවත් භයානක කමක් වන්නේ රෝග ලකුණු එකක්වත් නැතිව වෙනත් අයට රෝගය බෝකිරීමට ඇති හැකියාවයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන්ගෙන් සියයට හැත්තෑපහක් පමණ අයත් වන්නේ මේ කාණ්ඩයටයි. රෝග ලකුණු මතු වීමට දින දෙකකට පෙර රෝගය වැඩිපුරම අන් අයට ආසාදනය වෙනවා.

අප ඉදිරියේ සිටින්නා නිරෝගී ලෙසින් පෙනුනත් තවත් දින දෙකකින් ඔහු / ඇය රෝගියකු විය හැකි බව අප අමතක නො කළ යුතුයි.

එන්නත් ලබා ගත්ත ද නො ගත්ත ද දොර ජනෙල් වැසුණු සීත කාමරයක පිරිසක් මැද සිටින විට සෙනඟ පිරුණු තැනක සිටින විට මුහුණු ආවරණ පැලඳීම අනිවාර්යයෙන් කළ යුත්තක්.

 

 

අන්තර්ජාලයෙනි