නින්දට යන්න සුදුසු ම වෙලාව දන්නවද?

ලෙඩ අඩු කර ඇඟ හැඩ කරන අලුත්ම ක්‍රමය
අප්‍රේල් 4, 2022

 

 

අද අපිට අහිමිව යන ප්‍රධාන ම දේ අතර නින්දත් එකක්. නින්ද අපේ ජීවිතයේ නිරෝගී බවට හේතු වන බව ඇතැම් විට ඔබ හොඳින් ම දන්නවා වෙන්නත් පුළුවන්. ඇතැම් විට එහි වැදගත්කම මේ වන විට අමතක වී ඇතුවා වන්නටත් ඇති. එසේත් නැතිනම් ජීවිතයේ වෙනත් දේ නිසා නින්ද අමතකව ගොස් හෝ කැප කිරීමට ලක් වී තිබෙන්නටත් පුළුවන්.

ඒත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම රෝග වැළඳීමට මෙන්ම සිරුරේ තරබාරු බවටත් හේතු වෙන බව ඔබ නොසිතන්නට ඇති. මිනිස් සිරුර සැකසී ඇත්තේ දහවලෙහි ක්‍රියාකාරීව සිටීමටත් රාත්‍රියේ දී නින්ද මඟින් සිරුරට විවේකයක් ලබා දීමටත් ය. මෙසේ රාත්‍රී නින්දේදී සිරුරේ අලුත්වැඩියා කටයුතු පවා සිදුවන නිසා අපට නින්ද ඉතාමත් වැදගත් ය.

නින්ද හා අපේ සෞඛ්‍ය තත්ත්වය එකිනෙකට සම්බන්ධ ය. අලුත උපන් බිලිඳුන් වැඩියෙන් නිදා ගන්නා බව ඔබ දැක ඇති. ඔවුන්ට වැඩියෙන් නින්ද අවශ්‍ය වේ. එම දරුවන්ගේ වර්ධනය සිදු වන්නේ නින්දත් සමඟිනි.

ක්‍රීඩකයන්ට ද නින්ද බෙහෙවින් වැදගත් ය. සාමාන්‍යයෙන් වෘත්තීය ක්‍රීඩකයකු පැය 8කට වඩා නින්ද ලබා ගත යුතුය. මේ කාලය පැය 8-10ක් අතර කාලයකි. සාමාන්‍ය වැඩිහිටි අයකුට පැය 7ක වත් අවම නින්දක් නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සාධකයකි.

 

රාත්‍රී 10ට පෙර නින්දට ගොස් උදේ 5න් පසුව අවදිවිය යුතුය. මේකට හේතු වන්නේ අපේ සිරුරේ ඇති හෝමෝන චක්‍රවල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමයි.

කාන්තාවන්ගේ සිරුරේ මාස් ශුද්ධිය මසකට වරක් (දින 28කට වරක්) සිදු වේ. එය සිරුරේ ඇති එක් හෝමෝන චක්‍රයක් පමණි. නමුත් අප නොදන්නවාට අපේ සිරුරේ පැය 24කට වරක් ක්‍රියාත්මක වන හෝමෝන චක්‍ර බොහෝ ගණනක් පවතී. අපේ නින්ද හා අවදිවීම පවා ක්‍රියාත්මක වන්නේ මේ හෝමෝන චක්‍ර නිසයි.

නින්ද සඳහා අවශ්‍ය වන හෝමෝනය වන්නේ මෙලටොනින් හෝමෝනයයි. මෙලටොනින් ශ්‍රාවය වීම ඇරඹෙන්නේ බාහිර පරිසරය කළුවර වීමත් සමඟිනි. අප මධ්‍යම රාත්‍රිය වන තෙක් රූපවාහිනිය නරඹමින්, පරිගණකවල වැඩ කරමින් හෝ ජංගම දුරකථනවල තිරයේ දෑස් රඳවාගෙන සිටීමෙන් නින්ද යාම වළකී. ඒවායෙහි ඇති එළිය නිසා මොළය සංඥා නිකුත් කරන්නේ තවමත් අඳුර වැටී නැති බවයි. එමනිසා මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය නොවීම නිසා නිදිමතක් නොදැනේ.

අපි රාත්‍රී 10ට නිදා ගැනීමට ඒ වෙලාවට ම ඇඳට ගියත් නින්ද නොයන්නේ ඔබ ඇඳට එන වේලාව තෙක් ම එළිය විහිදුවන තිරයක් (රූපවාහිනී, පරිගණක, දුරකථන) මත දෑස් රඳවාගෙන සිටීම නිසයි.

ඔබට රාත්‍රී 10ට නිදා ගැනීමට අවශ්‍ය නම් රාත්‍රී 8 පමණ සිට එළිය විහිදුවන තිර මතින් දෑස් ඉවත්කර ගත යුතුයි. නිවෙසේ දල්වා ඇති විදුලි පහන් තරමක් අඩුකර අඳුරු පරිසරයක් ඇති කිරීමෙන් මෙලටොනින් ශ්‍රාවය වී ඔබට ක්‍රම ක්‍රමයෙන් නිදිමත ඇති වේ. මේ සූදානමින් පසුව කිසිදු අපහසුවකින් තොරව ඔබට නිදා ගැනීමට හැකිවේ.

අනිත් කරුණ වන්නේ පුරුද්දක් නැතිව එක් වරම රාත්‍රී 10ට නිදා ගැනීමට අසීරු වීමයි. අද බොහෝ දෙනෙක් ජංගම දුරකථන, අන්තර් ජාල පහසුකම්, පරිගණක ආදිය නිසා බාහිර ලෝකය ගැන ඇත්තේ අඩු විමසිල්ලකි.

කිලෝ 100ට වැඩි සියලුම දෙනාගේ, එලෙසින් බර වැඩි වීමට හේතු වී ඇත්තේ රාත්‍රියේ නිදි වැරීමයි. එනම් රාත්‍රී12 පසුවී නින්දට යාමයි. ඔබ රාත්‍රී 10 වන විට නින්දට ගොස් උදෑසන 5 පසුවී අවදි විය යුතුයි. උදෑසන 5ට පෙර අවදි වන්නට එපා යැයි පවසන්නේ සිරුර අවදි වීමට අවශ්‍ය වන තත්ත්වයට පත්වන්නේ උදේ 4.30න් පසුව වීම නිසයි. මෙලටොනින් ශ්‍රාවය සෙමින් නිමා වී සිරුර අවදිවීමට අවශ්‍ය ලෙස සැකසෙන්නේ මේ කාලයේ දීයි.

රාත්‍රී 10 ට පෙර නිදා ගැනීමට හේතු අපි ඔබට පැහැදිලි කළෙමු. එසේනම් උදෑසන 5න් පසුව අවදි වීමට හේතු මොනවාදැයි ලබන සතියේ දී දැනගනිමු.

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු