නව වසරේ සීනිවලින් පුළුවන් තරම් දිව නිදහස්කර ගනිමු

අප්‍රේල් 11, 2022

 

 “ මිදි තිත්තයි වගේ සීනි ඇඹුල් කියන්න කාලය ඇවිත්. “ උදා වෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි. බතින් බුලතින් වගේම පැණිවලින්, සීනිවලින් උතුරා යන කාලයක්. පැණි රස කෑම එපා වෙන තරමට කට්ටිය කැවිලිවලින්, පිටි කෑමවලින්, පැණි බීමවලින් සප්පායම් වෙනවා. ඒත් දිව පමණට වඩා සීනිවලින් පිනවනවා කියන්නේ දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝගවලට අතවැනීමක්.

 

අපට එළවළු, පලතුරු, ධාන්‍යවලින් ස්වාභාවිකව සීනි ලැබෙනවා. ඒ සීනි අපට නීරෝගිව ජීවිතය පවත්වා ගෙන යාමට හොඳට ම ප්‍රමාණවත්. ගැටලුව ඇති වන්නේ අප විසින් කිසිදු ලෝබ කමක් නැතිව ආහාර පානවල‍ට එක් කරන සීනි හැඳි ගණනින්. වෙළෙඳ පොළේ ඇති බොහෝ නිෂ්පාදනවල රසය වැඩි කිරිමට, නිෂ්පාදනයේ ආයු කාලය වැඩි කිරීමට සීනි එක් කරනවා. ග්ලූකෝස්, ෆෘක්ටෝස්, සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්, ඩෙක්ස්ට්‍රෝස්, පිටි ( ස්ටාච් ) යනුවෙන් ආහාර ලේබලවල ඇති ද්‍රව්‍ය සියල්ල ම අයක් වන්නේ සීනි ගණයටයි. මීට අමතරව බිස්කට්, කැවිලි පමණක් නොව තක්කාලි සොස්, යෝගට් වැනි ආහාරවලටත් සීනි එක්කර තිබෙනවා. සමහරු දවසකට සීනි හැඳි 24 කට වඩා භුක්ති විඳිනවා.

සීනි වැඩි ආහාර ගන්නා තරමට කෙනෙක් හදවත් රෝගයකින් මිය යාමේ ඉඩ වැඩි වෙනවා. අධික සීනි භාවිතය දියවැඩියාවට හේතු වෙනවා. දියවැඩියාව හදවත් රෝගවලට ප්‍රධාන හේතුවක්. සීනි වැඩිපුර ගන්නා විට රුධිර පීඩනය ඉහළ යනවා. සිරුරේ දිගින් දිගට ම ප්‍රදාහ තත්ත්වයන් ඇති වෙනවා. මේ කාරණා දෙකත් හදවත් රෝග වැලඳීමට හේතු වෙනවා. අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය හෙවත් ෆැටි ලිවර් රෝග තත්ත්වය ( fatty liver disease ) හදවත් රෝග හා ආඝාතය ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

මොළය හා සීනි අතර මොනතරම් සබඳතාවක් තිබෙනවාද ? ක්ලාන්ත වූ විටක ග්ලූකෝස් ස්වල්පයක් ගැනීමෙන් ක්ලාන්ත ගතිය නැති වෙනවා.

කේක් කෑල්ලක්, පැණි රස ආහාරයක් ගත් විගස ප්‍රබෝධයක් ඇති වුණත් ආහාරයෙන් ඉහළ ගිය සීනි මට්ටම ( ග්ලූකෝස් මට්ටම ) මිනිත්තු 20 න් පමණ පහළ බසිනවා. එවිට අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩුවී අවධානය වෙනතකට යා‍මේ ඉඩ වැඩි වෙනවා. නොරිස්සුම් සහගත බව සීනි කෑම ගත් විට වැඩිවන බව ඔබට දැනී තිබෙනවාද ? මතක ශක්තියටත් සීනි බාධාවක්. අධික ලෙස සීනි පරිභෝජනය කරන්නන් අතර ඇල්ෂයිමර් රෝගය සුලබ බව අමෙරිකානු පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

සීනි අධික ආහාර අධිකව ගැනීමෙන් ආතතිය වැඩි වෙනවා. වැඩි සීනි විටමින් බී වැනි සිරුරට නැතිවම බැරි විටමින උරා ගැනීමට බාධා කරනවා. ඒ නිසා පුද්ගලයා ගේ ස්වභාවය වෙනස් වන්න පුළුවන්.වෙනදා නො රිස්සුම් සහගත නැති පුද්ගලයෙක් නො රිස්සුම් සහගත වීමට පුළුවන්.

සීනි ඇබ්බැහි කාරකයක්. ඒ නිසා සීනි ආහාරවලට ඇබ්බැහි වීම පහසුවෙන් සිදු වෙනවා. මොළය මෙහෙයවා කරන කටයුතුවලට මේ ඇබ්බැහිවීම බාධාවක්.

කෝවිඩ් වැනි වසංගතයක් පවතින කාලයක සීනි එක් කළ ආහාර හැකි තරම් අඩු‍වෙන් ගත යුතුයි. පමණට වඩා සීනි අධික ආහාර ගත් විට අපේ ප්‍රතිශක්තිය අඩාල වෙයි. අපේ සිරුරේ සුදු රුධිරාණුවලට බැක්ටීරියා වැනි විසබීජ සමඟ සටන් කිරීමට ඇති හැකියාව අඩු වෙයි.

කාන්තාවන්ට සීනි සීමා කළ තරමට වයස් කල්‍යාණය රැකගත හැකිය. සීනි අධික ආහාර මුහුණේ වයස්ගත පෙනුම වැඩි කරයි.

සීනි කියන්නේ තාවකාලික ශක්තිජනකයක් පමණයි. එහි විටමින, ඛනිජ ලවණ වැනි වෙනත් කිසිදු පෝෂකයක් නැහැ.

සීනි අධික ආහාර ගැනීම උදරය විශාල වීමට හේතුවක්. විශාල උදරය අපේ ශරීර සෞඛ්‍යයට විශාල තර්ජනයක්. දියවැඩියාව, මිග්‍රේන්, ඇදුම වැනි ස්වසන ආබාධ උග්‍ර වීම මේ අය අතර වැඩියි. පෙණහලුවල නිසි ක්‍රියාකාරිත්වයට විශාල උදරය බාධාවක්.

අවුරුද්දට කෙතරම් කැවිලි පෙවිලි ලැබුණත් පමණ දැන ගත යුතුයි. දිනකට වැඩිහිටියකු සීනි ග්‍රෑම් 30 කට වඩා කෑමට ගැනීම සුදුසු නැහැ. වයස අවුරුදු 7 සිට 10 දක්වා දරුවකු ගත යුත්තේ සීනි ග්‍රෑම් 24 ක ප්‍රමාණයක්.

 

උපදෙස් -

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධනගෙන් හා හාවර්ඩ් සරසවි පත්‍රිකාවකිනි.