කාන්තා ඔබට වැඩියෙන් වධ දෙන හයිපොතයිරොයිඩිස්ම්

Hypothyroidism
ජුනි 6, 2022

 

කාන්තාවක ගේ ජීවිතය ම බැඳී ඇත්තේ හෝර්මෝන සමඟයි. මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා මේ බව හොඳින් ම දැනෙනවා. ඇය රෝගී කරන්නත් හෝර්මෝන හේතු වන අවස්ථා බොහොමයි. හයිපොතයිරොයිඩිස්ම් එවැනි තත්ත්වයක්.

 

මැදි වයසේ පිරිමින් දහසකගෙන් එක් අයකු මේ රෝගයට ගොදුරු වන අතර කාන්තාවන් දහසකගෙන් දහ අට දෙනකු ම රෝගී වන බව අනාවරණය වී තිබෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ඇති තරම් තයිරොයිඩ් හෝර්මෝන නිපදවන්නේ නැති විට හයිපොතයිරොයිඩිසම් තත්ත්වය ඇති වෙනවා. රෝග ලකුණු ඇති නොවී රෝගයට මුල පිරෙන නිසා වැඩි දෙනකුට රෝගය උත්සන්න වූ පසුවයි දැන ගැනීමට ලැබෙන්නේ. රෝගයට මුල පුරා තිබිය දී රුධිරයේ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම සාමාන්‍ය තත්ත්වයෙන් පැවතීම ඊට හේතුවයි. එහෙත් තයිරොයිඩ් හෝර්මෝන මට්ටම නියමිත මට්ටමින් පවත්වා ගන්න ඒ වෙන විට තයිරොයිඩ් ග්‍රන්ථිය දැඩි සටනක යෙදෙනවා. කාලයක් යන විට රෝගයට ගොදුරු වෙනවා.

හයිපොතයිරොයිඩිසම් ගෝලීයව කෙතරම් බලපා ඇත්දැයි කිවහොත් ඒ වෙනුවෙන් අන්තර්ජාතික දිනයක් ද වෙන්කර තිබෙනවා. ඒ දිනය යෙදී ඇත්තේ ජූලි 1 වැනි දිනටයි.

 

හයිපොතයිරොයිඩිසම් ඇතිවන්නේ කොහොම ද?

බොහෝවිට රෝගයට හේතුවන්නේ තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය බාහිරින් පැමිණි දෙයක් කියා හඳුනා ගෙන සටන් කිරීමයි. එතරම් සුලබ නැති හේතු කිහිපයක් ද තිබෙනවා. අයඩීන් ඌනතාව එක් හේතුවක්. අයඩීන් තයිරොයිඩ් හෝර්මෝනවල තිබිය යුතු ම දෙයක්. ඇතැම් ඖෂධ ද තයිරොයිඩ් ග්‍රන්ථිය සැත්කමකින් ඉවත් කිරීම ද හයිපොතයිරොයිඩිසම් තත්ත්වයට හේතු වෙනවා. පිටියුටරි ග්‍රන්ථියේ රෝගාබාධ ද මේ කෙරෙහි බලපානවා. තයිරොයිඩ් ග්‍රන්ථිය අධි ක්‍රියාකාරී වූ විට දෙන ඖෂධ, තයිරොයිඩ් පිළිකා. විකිරණ ප්‍රතිකාර හයිපොතයිරොයිඩිසම්වලට හේතු වනවා.

රෝග ලකුණු මොනවා ද?

පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලකුණු වෙනස් වෙනවා. රෝගයේ බලපෑම ද වෙනස් වෙනවා. සුලබ රෝග ලකුණු වන්නේ වෙහෙස, බර වැඩි වීම, විෂාදය ඇති වීමයි. මෙය සෙමෙන් සෙමෙන් වර්ධනය වන රෝගයක් නිසා වසර ගණනාවක් යන තුරු තමන් හයිපොතයිරොයිඩිසම් තත්ත්වයට ගොදුරු වී ඇති බව හඳුනා ගැනීමට අපහසුයි. ආර්තවහරණය සිදුවූ කාන්තාවක් මෙලෙස ඇතිවන ලකුණු ආර්තවරණය නිසා ඇතිවූවක් කියා සිතන්න පුළුවන්. කෙසේවුණත් වෙහෙස, බර වැඩි වීම, විෂාදය, සීතල අධිකව දැනීම, සම වියළීම, කෙස් වියළීම, මාංස පේශි වේදනාව ඇත්නම් වෛද්‍යවරයකු ගේ උපදෙස් පැතීම ඉතා වැදගත්.

 

රෝගය හඳුනා ගන්නේ කොහොම ද?

හයිපොතයිරොයිඩිසම් ඇත්දැයි බැලීමට ඇති සුදුසු ම පරීක්ෂණය තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය බැලීමේ පරීක්ෂාවයි. මේ පරීක්ෂණයෙන් රුධිරයේ ඇති තයිරොයිඩ් උත්තේජක හෝර්මෝනය (TSH),තයිරොක්සින්, තයිරොයිඩ් හෝර්මෝන කෙතරම් තිබෙනවාදැයි බලයි. මේ හෝර්මෝන අඩු වුණත් වැඩි වුණත් එයින් අදහස් කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් ඇති බවයි.

 

ප්‍රතිකාර තිබෙනවා ද?

තයිරොයිඩ් හෝර්මෝන ලබාදීමෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීමට පුළුවන්. සමහරුන්ට දිනපතා තයිරොයිඩ් පෙති ගැනීමට සිදු වෙනවා.

 

 

 

*************************

දියවැඩියා රෝගයෙන් පෙළෙන විට, විටමින් B12 ඌනතාව නිසා ඇති වන රක්තහීනතාවෙන් පීඩා විඳින විට, රුමැටොයිඩ් ආතරයිටිස් ඇතිවිට, විකිරණ ප්‍රතිකාර ලබා ගත්විට ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිරෝධී රෝග පවතින විට ‍හයිපොතයිරොයිඩිසම් තත්ත්වය ඇති වීමේ ඉඩ වැඩි වෙනවා.

රෝගයෙන් පීඩා විඳිමින් සිටිය දී ගර්භණී වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ප්‍රතිකාර නො කළොත් එය මවටත් දරුවාටත් දෙදෙනාට ම බලපානවා.

කොලෙස්ටරෝල් අධික නම් හයිපොතයිරොයිඩිසම් සඳහා පරීක්ෂාකර ගන්න.

ඔසප් වීමේ දී අධික ලෙස රුධිරය පිටවීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, මඳසරු බව, හෘද ස්පන්දන වේගය මන්ද ගාමී වීම හයිපොතයිරොයිඩිසම් තත්ත්වයේ ලකුණු වීමට පුළුවන්.