පෙනහලු පිළිකා වැඩිහිටි පිරිමින් අතර බහුලයි

කල් ඇතිව හඳුනාගත්තොත් වළක්වා ගන්න පුළුවන්...
අගෝස්තු 8, 2022

 

අගෝස්තු පළමු වැනි දිනට යෙදී තිබුණු පෙනහලු පිළිකා දිනය වෙනුවෙනි

හුස්මක අගය දැනෙන්නේ අපට හුස්ම ගැනීම අසීරු වූ මොහොතකයි. නිරායාසයෙන් ගැනෙන හුස්ම ආයාසයෙන් ගැනීමට සිදු වීමේදී දැනෙන‍ වේදනාව, අපහසුතාව මරණීය වේදනාව සිහිගන්වයි. පෙනහලුවලට විවිධ වූ රෝගාබාධ වැලඳිය හැකියි.

අද අප ඔබ දැනුම්වත් කරන්නේ පෙනහලුවලට වැලඳිය හැකි බොහෝ දෙනා නම ඇසුවත් බියපත් වන රෝගයක් පිළිබඳයි. පිළිකා යනු මාරාන්තික රෝගයක් බව බොහෝ දෙනාගේ සිතිවිල්ලයි. නමුත් කල් ඇතිව හඳුනා ගැනීමෙන් පෙනහලු පිළිකා වුවද සුවකර ගැනීමට හැකියාව ඇත.

 

රෝගීන් අනුපාතය

පිළිකා වර්ග අතර ප්‍රධානතම පිළිකා වර්ගයක් ලෙසින් ද පෙනහලු පිළිකා හැඳින්විය හැකියි. පිරිමින්ට වැලඳෙන පිළිකා අතර දෙවැනි තැන මෙයට හිමිවන අතර කාන්තාවන්ට වැලඳෙන ප්‍රධාන පිළිකා වර්ග 10 අතරට ද මෙය අයත් වේ.

2005-2019 අතර කාලය තුළ පෙනහලු පිළිකා රෝගීන් වාර්තා වන ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබේ. වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ වැඩිහිටි වියේ දී ය. එනම් වයස 45න් පසුවයි. වැඩි වශයෙන් මේ පිළිකා රෝගීන් වාර්තා වන්නේ වයස 65-69 70-79 වයස් කාණ්ඩ අතරයි.

කෙසේ වුවත් ලංකාවේ පිළිකා නිසා මරණයට පත්වන රෝගීන්ගේ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පෙනහලු පිළිකාවලිනි. එය වසරකට පිරිමි පුද්ගලයන් 900 ක් පමණ හා කාන්තා මරණ 350ක් 360ක් පමණ වේ.

 

වළක්වා ගත හැකිද?

වළක්වා ගත නො හැකි හා වළක්වාගත හැකි පිළිකා වර්ග ඇති අතර පෙනහලු පිළිකා අයත් වන්නේ වළක්වා ගත හැකි පිළිකා කාණ්ඩයටයි. එමෙන්ම කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සුවකර ගත හැකි පිළිකා මෙන්ම ඖෂධ මඟින් පාලනය කරගත හැකි පිළිකා ද පවතී.

පෙනහලු පිළිකා වළක්වා ගත හැකි පිළිකා කාණ්ඩයට අයත් වන්නේ මේ රෝගී තත්ත්වය ඇති වීමට වැඩි බලපෑමක් සිදු කරන්නේ අපගේ ම අහිතකර පුරුදු නිසා වීමයි. විශේෂයෙන් ම දුම්පානය පෙනහලු පිළිකා ඇති කිරීමට හේතු වේ.

දුම් පානයෙන් වැළකී සිටින ලෙස කොතරම් සමාජය දැනුම්වත් කළත් තවමත් ලාංකේය පිරිමි පුද්ගලයන්ගෙන් 20%ක පමණ ප්‍රමාණයක් දුම්පානය කරයි. ඔවුන්ට දුම් පානයෙන් මිදීමට මව, බිරිය, පෙම්වතිය, යෙහෙළියන්, දියණියන් වැනි කාන්තා පාර්ශ්වයට යහපත් බලපෑමක් සිදු කළ හැකියි.

මන්ද පවුලේ හෝ තමා ළඟින් ඇසුරු කරන පිරිමි පුද්ගලයකු දුම්පානයේ යෙදීම එම කාන්තාවන්ට හා දරුවන්ට ද අහිතකර ලෙසින් බලපෑම් සිදු කරන බැවිනි. මේ නිසා ඔබේ සමීපතමයකු දුම්පානයට ඇබ්බැහි වී ඇත්නම් හා ඉන් වළක්වා ගැනීමට අවශ්‍ය නම් 1548 දුරකථන සේවාව අමතා උපදෙස් ලබා ගත හැකියි.

 

අනිත් අයගේ ජීවිතෙත් අනතුරේ

මේ අයහපත් පුරුද්දෙන් පාසල් දරුවන් ගළවා ගැනීමට මවුපියන් උනන්දු විය යුතුයි. පාසල් වයසේ දී දරුවන් මෙවැනි දේ අත්හදා බැලීමට ගොස් ඒවාට ඇබ්බැහි වන අතර එය ජීවිත කාලය පුරාම පැවතිය හැකිය. එමෙන්ම දුම් පානය නැති කිරීම සඳහා තද නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි.

බොහෝ විට කාන්තාවන්ට හා දරුවන්ට අක්‍රිය දුම්පානය සිදු වේ. එනම් දුම්වැටි භාවිත නො කළ ද දුම්බොන්නන් අසල ගැවසීම නිසා ඇතිවන තත්ත්වයකි. කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකාවලට පවා දුම්පානය හේතු වේ. එපමණක් නොව, හෘද්‍යාබාධ වැනි තවත් රෝග ගණනාවකට දුම්පානය සාධක සපයයි.

මෙයට අමතරව ඩීසල් දුමට නිරාවරණය වීමත් පෙනහලු පිළිකාවලට හේතු වේ. දුම් පරීක්ෂණ වාර්තා ගැනීම අනිවාර්යය කිරීම ද මේ තත්ත්වය සමනය කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගයකි. මෝටර් කාර්මික ශිල්පීන් තම සේවා කාලයේ දී මුව වැසුමක් භාවිත කරන්නේ නම් මේ අවදානම යම් තරමකට හෝ සමනය කරගත හැකියි.

 

පොලිතින් හා ප්ලාස්ටික්

එමෙන්ම ප්ලාස්ටික්, පොලිතීන් පිච්චීම නො කළ යුතු ක්‍රියාවකි. ඒවා පිලිස්සීම නිසා ඇතිවන දුම ආඝ්‍රාණය කිරීමෙන් පිළිකා කාරක වායු පරිසරයට මුදා හැරේ. එමනිසා හැකි සෑම විටෙකම නිසි පරිදි ප්ලාස්ටික්, පොලිතීන් ද්‍රව්‍ය අදාළ සුදුසුම ක්‍රමයට බැහැර කරන්න. හැකි තරම් එවැනි දෑ භාවිතයෙන් ඉවත් වන්න.

රබර් බුෂ්, පාවහන්, වැනි ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන කුඩා කර්මාන්තවලදී ද නිසි පරිදි මුව වැසුම් භාවිත නො කළහොත් අහිතකර ද්‍රව්‍ය ශ්වසන පද්ධතියට ඇතුළුවීමේ ඉඩක් පවතී.

මේ දිනවල බොහෝ දෙනෙක් නැවතත් දර ළිප්වල ඉවීමට උනන්දු වී ඇත. නමුත් දර ළිපක් භාවිත කරන්නේ නම් එම ළිපෙහි දුම පිටවිය හැකි පරිදි හොඳ වාතාශ්‍රයක් තිබෙන ස්ථානයක ළිප සාදා ගත යුතුයි. නැතිනම් එවැනි දුමට පවා දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් ඔබට පෙනහලු පිළිකා අවදානමක් ඇතිවිය හැකියි.

සක්‍රීය දුම්පානය හා අක්‍රිය දුම්පානය ගැන පමණක් අප දැන සිටිය ද දැන් ලෝකයේ තවත් දුම්පානයක් ගැන කතාබහක් ඇති වී ඇත. එය තෙවන පාර්ශ්වීය දුම්පානය ලෙස හඳුන්වයි. දුම්පානය නො කරන අයකු වුවත් දුම්පානය කරන පිරිසක් අතර වැඩි කාලයක් සිට නිවෙසට පැමිණීමේ දී ඔහුගේ හෝ ඇයගේ ඇඳුම්, හිසකේ ආදියෙහි තැවරී ඇති අංශු නිවෙසේ සාමාජිකයන්ගේ ශ්වසන මාර්ගගත වීමෙන් දරුවන්ට හා කාන්තාවන්ට ශ්වසන රෝග වැලඳිය හැකියි. මෙය නව සොයා ගැනීමකි.

 

රෝග ලක්ෂණ

පෙනහලු පිළිකාවක මූලික රෝග ලක්ෂණ ගැන දැනුවත් වීමෙන් එය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් පිළිකා තත්ත්වය සුවකර ගත හැකියි. කල් පවතින කැස්ස, කැස්ස සමඟ රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, හේතුවක් රහිතව උණ ඇතිවීම, කල් යාමේ දී බර අඩු වීම, බෙල්ල හා ඉකිලිවල වසා ගැටිති ආශ්‍රිත ප්‍රදේශ ඉදිමීම මේ රෝග ලක්ෂණයි. මේ රෝග ලක්ෂණ සියල්ලම හෝ ඉන් කිහිපයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වන්න.

මෙය දැනගත් විගසම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සුවකර ගැනීමට ද හැකියි. ඇතැම් පිළිකා සුව කළ නො හැකි වුවත් පාලනය කළ හැකියි. එමෙන්ම පිළිකාවක් ඇති අයකුගේ සිරුරේ ඇතිවන අපහසුතා දුරු කිරීමට ඖෂධ, ප්‍රතිකර්ම සිදු කළ හැකියි. මේ සඳහා ඔබට ඕනෑම රජයේ රෝහලකින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු හමුවීමේ හැකියාව ඇත.

ඔබ මතක තබා ගත යුත්තේ නිසි කලට ප්‍රතිකාර වෙත යොමු වීමෙන් රෝගය සුවකර ගෙන සාමාන්‍ය ජීවිත ගතකරන පිරිස් ද ඇති බවයි. මෙය වළක්වා ගත හැකි රෝගයක් වන නිසා ඒ සඳහා ද උත්සුක වන්න.

උපදෙස්

වෛද්‍ය සුරාජ් පෙරේරා

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ජාතික පිළිකා මර්ධන වැඩසටහන

සෞඛ්‍ය අමාත්‍යංශය