දෑත් සේදීමෙන් සුවපත් දිවියක්...

ඔක්තෝබර් 10, 2022

 

 

දරුවන්ට අප පුරුදු කරන හොඳ සෞඛ්‍ය පුරුදු වැඩිහිටි වියේ දී ද පවත්වා ගත යුතුයි. නමුත් අප සිතන්නේ වැඩිහිටියන් වූ පසුව කුඩා කල පුරුදු පුහුණු වූ හොඳ සෞඛ්‍ය පුරුදු එතරම් අවශ්‍ය නොවන බවයි.

 

අපේ සිරුරේ නිතර අපිරිසුදු වන අවයව වන්නේ දෑත් ය. එමෙන්ම නිතර බාහිර ද්‍රව්‍ය සමඟ ගැටෙන සිරුරට විසබීජ ඇතුළු වීමේ ප්‍රධානම සාධකයක් වන්නේ ද දෑත් ය. මේ නිසා නිරන්තරෙයන් දෙ අත් පිරිසුදුව තබා ගැනීම වැදගත් වේ.

 

සෞඛ්‍ය පුරුදුවලින් ඇති හොඳම පුරුද්ද වන්නේ දෑත් පිරිසුදුව තබා ගැනීමයි. එමෙන්ම මූලිකම සෞඛ්‍ය පුරුද්දක් වන දෑත් සේදීම අප කවුරුත් පුරුදු පුහුණු වන්නේ කුඩා කල දී මය. නමුත් වැඩිහිටියන් වූ පසු අප බොහෝ දෙනකුට අමතකව යන්නේ ද මේ මූලිකම හා වැදගත්ම පුරුද්දයි.

දෑත් සේදීම මඟින් මූලිකවම තමා ළඟ යම් විසබීජයක් ඇත්නම් එය අන් අයට බෝවීම අවම වේ. දෙවනුව අප දෑත් හොඳින් සෝදන්නේ නම් අන් අයගෙන් අපට විසබීජ ශරීර ගත වීම අවම ය. තෙවනුව යම් මතුපිටක ඇති විසබීජයක් අපේ දෑත්වල තැවරුණ ද දෑත් සේදීම නිසා ඉන් අප හෝ වෙනත් අයෙක් විසබීජ නිසා රෝගී වීම අවම වේ. මේ අනුව රෝග පැතිරීම වැළකී සෞඛ්‍ය රැක ගැනීමට දෑත් සේදීම වැදගත් වන්නකි.

බොහෝ විට දෑත් සේදීම නිසා අප ශ්වසන රෝග, පාචන රෝග ආදියෙන් මෙන්ම ඇතැම් චර්ම රෝග ආදියෙන් ද රැකෙයි. මේ රෝග පුද්ගලයාගෙන් පුද්ගලයාට වැලඳීම අවම වීමෙන් යම් රෝගයක ව්‍යාප්තිය අවම කරගැනීමට හැකියාව ඇත. මෙයට හොඳම උදාහරණය සපයන්නේ පසුගිය කාලයේ මුළු ලොව පුරා දරුණු වසංගතයක්ව පැතිරුණු කොවිඩ් 19 රෝගයයි.

කිසි විටෙක දෑත් සේදීමකින් තොරව ඔබේ ඇස්, නාසය, කට වැනි ඉන්ද්‍රියයන් ස්පර්ශ කිරීම නොකළ යුත්තකි. එමෙන්ම ඔබට සොටු දියර ගැලීමක්, කැස්ස, පීනස වැනි රෝග හෝ රෝග ලක්ෂණ තිබේ නම් නාසය, කට වැනි ඉන්ද්‍රියයන් ස්පර්ශ කිරීමෙන් පසුව දෑත් පිරිසුදු කරගන්න. එසේ පිරිසුදු නොකළ දෑත්වලින් යමෙක් හෝ යමක් ස්පර්ශ කිරීමෙන් ඔබෙන් යම් රෝගී විසබීජයක් අනෙක් පුද්ගලයන්ගේ සිරුරුවලට ඇතුළු වීමට හැකිය.

අප අත් සේදීම කළ යුතු ප්‍රධාන වේලාවන් පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දී ඇති අතර ඒවා සාමාන්‍ය ජීවිතයේ දී ඔබේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා මෙන්ම ඔබේ සමීපතමයන්ගේ සෞඛ්‍ය රැක ගැනීමට ද ඉවහල් වේ.

* ආහාර පිළියෙළ කිරීමට පෙර, පිළියෙළ කරන අතරතුර මෙන්ම ආහාර පිළියෙළ කිරීමෙන් අනතුරුව ද දෑත් සේදීම කළ යුතුය.

* ආහාර ගැනීමට පෙර හා පසුව

* නිවෙසේ සාමාජිකයෙක් හෝ ඔබේ සමීපතමයෙක් උණ, වමනය, පාචනය, ශ්වසන රෝග වැනි තත්ත්වයකින් පෙළෙයි නම් ඔවුන්ට ආවතේව කිරීමට පෙර හා පසු දෑත් සෝදන්න.

* ඔබේ හෝ වෙනත් අයකුගේ තුවාලයකට බෙහෙත් දැමීමට පෙර හා පසුව

* වැසිකිළි භාවිතයෙන් පසුව

* කුඩා දරුවකුගේ ඩයපර්ස් මාරු කිරීමට පෙර හා පසු ඔබේ දෑත් සේදිය යුතුය. දරුවන්ගේ වැසිකිළි කටයුතුවලින් පසුව ඔවුන් පවිත්‍ර කිරීමෙන් පසු ඔබේ දෑත් සේදිය යුතුයි.

* සතුන් ඇල්ලීමෙන් පසුව, ඔවුනට ආහාර ලබා දීමෙන් පසුව මෙන්ම ඔවුන්ගේ කූඩු ආදිය පිරිසුදු කිරීමෙන් පසුව දෑත් සෝදන්න.

* නිවෙස අස් කිරීමෙන් පසුව

* මිදුලේ, ගෙවත්තේ වැඩ කිරීමෙන් අනතුරුවද හොඳින් දෑත් පිරිසුදු කරගත යුතුය.

නමුත් කොවිඩ් වසංගතය නිසා ඔබ තවත් දෑත් පිරිසුදුව තබා ගත යුතු අවස්ථා ඇත. * පොදු ස්ථානයකට ගොස් පැමිණි විට, පොදු ප්‍රවාහන සේවා පරිහරණයේ දී, පොදු ස්ථානවල දී ද දෑත් පිරිසුදු කරගත යුතුය.

දෑත් සෝදන නිවැරැදි ක්‍රමය..

අප දෑත් සෝදන්නේ නිවැරැදි ආකාරයටදැයි බලන්න. පහත දැක්වෙන්නේ නිවැරැදිව දෑත් පිරිසුදු කරන ආකාරයයි.

1. පළමුව ගලා යන ජලයෙන් ඔබේ දෑත් තෙත් කරගන්න. දැන් සබන් හෝ දෑත් සෝදන දියර දෑත්වල තවරන්න. (බේසමක ඇති වතුරෙන් සේදීමෙන් නිවැරැදව දෑත් පිරිසුදු නොවේ.)

2. පසුව ඔබේ දෑත් හොඳින් අල්ල, පිටි අල්ල, ඇඟිලි පුරුක් අතර, ඇඟිලි, නියපොතු යට මෙන්ම අතේ මැණික් කටුවට මඳක් ඉහළට යන තෙක් එම සබන් තවරා අතුල්ලන්න.

3. තත්ත්පර 20ක පමණ කාලයක් මෙසේ දෑත් අතුල්ලා සෝදා ගත යුතුයි.

4. දැන් ඔබේ දෑත් ගලා යන ජලයෙන් සබන් ඉවත් වන සේ හොඳින් සෝදා ගත යුතුයි.

5. පසුව පිරිසුදු අත්පිස්නාවකින් ඔබේ දෑත් පිසදමන්න. එසේත් නැතිනම් වියළනයක් මඟින් දෑත් වියළා ගන්න. නැතිනම් තෙත දෑත් මත ඉතා ඉක්මනින් නැවතත් විසබීජ රැඳීමේ වැඩි ඉඩක් පවතී.

සබන් හෝ ජලය නැති අවස්ථාවක දී සැනිටයිසර් (විසබීජ නාසක දියර) භාවිත කළ හැකිය. ඔබ සබන් නැති අවස්ථාවක දී ජලයෙන් පමණක් දෑත් සෝදනවාට වඩා සැනිටයිසර් දියරවලින් දෑත් පිරිසුදු කිරීම සුදුසු ය. සැනිටයිසර් දියර ගැනීමේ දී 60%ක ඇල්කොහොල් ප්‍රතිශතයක් ඇති දියර ගැනීම වැදගත් වේ. මන්ද කොවිඩ් 19 වැනි රෝගවලින් ආරක්ෂා වීමට නම් වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබෙන සැනිටයිසර් මඟින් විසබීජ විනාස වීම සිදු වන බැවිනි.

වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, දීර්ඝකාලීන මානසික රෝග සඳහා ඖෂධ ලබා ගන්නා අයගේ ප්‍රතිශක්තිය අඩු බැවින් එවැනි අයට රෝග වැළඳීමේ වැඩි හැකියාවක් ඇති නිසා ඔවුන් මෙන්ම ඔවුන් හා නිතර ගැවසෙන අය නිතර දෑත් පිරිසුදුව තබා ගැනීම වැදගත් ය. දරුවන්ට ද වඩා මෙවැනි වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය බොහෝ විට දුර්වලය. එයට හොඳම උදාහරණය වන්නේ කොවිඩ් රෝගය නිසා වැඩි වශයෙන් වැඩිහිටියන් මරණයට පත් වීමයි.

දරුවන්ට අප පුරුදු කරන හොඳ සෞඛ්‍ය පුරුදු වැඩිහිටි වියේ දී ද පවත්වා ගත යුත්තේ ඒ නිසයි. නමුත් අප සිතන්නේ වැඩිහිටියන් වූ පසුව කුඩා කල පුරුදු පුහුණු වූ හොඳ සෞඛ්‍ය පුරුදු එතරම් අවශ්‍ය නොවන බවයි. නිරෝගී, සුවපත් ජීවිතයක් සඳහා රෝග වළක්වා ගැනීමට පිරිසුදුව සිටීම වැදගත් ය. දෑත් පිරිසුදුව තබා ගැනීම වඩාත්ම වැදගත් සෞඛ්‍ය පුරුද්දයි.

 

උපදෙස් - 
සඳගෝමිකා ආරියදාස
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය නිලධාරිනී