මන්දපෝෂණයට පයින් ගහන ක්‍රියෙටිව් ෆුඩ්ස්

දෙසැම්බර් 12, 2022

එදා ගෘහිණිය දඹල බෝංචි ආදී කොළ පැහැ එළවළු පිසගත් පසුවත් එහි කොළ පැහැය එලෙස ම රඳවා ගැනීමට උත්සාහ කරයි. අද වන විට වෙළෙඳුන් කූඨ උපක්‍රම යොදමින් මේරූ එළවළු විකුණුවත් ළපටි කරල් තෝරාබේරාගෙන මිලදී ගැනීමට ගෘහිණිය දක්ෂ විය යුතුයි.

 

පුවත්පත්වල සිරස්තලවලින්, ප්‍රවෘත්ති විකාශවලින් වැඩිපුරම කියැවෙන්නේ අපේ රටේ දරුවන්ගේ මන්දපෝෂණය පිළිබඳයි. මන්දපෝෂණයෙන් පෙළෙන්නේ අපේම දරුවන් නම් ඒ සඳහා ලැබෙන සහනයක් පේන මානයකවත් නැතිනම්, අපි ම ඊට විසඳුම් සොයනවා විනා තවදුරටත් දරුවන්ට ඌන පෝෂණ තත්ත්වයක් ගෙන දෙනවාද කියා ඔබම සිතා බලන්න.

පෙරදිග සංස්කෘතියට අනුව පීතෘ මූලික, මාතෘ කේන්ද්‍රීය පවුලක හැදී වැඩුණු අපි කවදත් බතින් බුලතින් අඩුවක් නොතිබුණු අයයි. පීතෘ මූලික යැයි කීවේ පෝෂණය, රැකවරණය, ආරක්ෂාව පියා අතින් සැපයෙන නිසයි. ඔහු නිවෙසට සපයන අඩුමකුඩුම හරහායි. පියා විසින් ගෙනෙන දෑ පෝෂණය රැකෙන පරිදි සකස් කොට කවන පොවන කාර්යය මව අතින් ඉටුවේ.

දැවැන්ත ප්‍රතිරූපයක් හරහා ගොඩනැඟුණු පියා පිළිබඳත් ආදරය දෝරේ ගලන මව පිළිබඳ පිළිබඳත් කීවේ

අප්පච්චී ගේ දොරකඩ කිතුල වගේ

අපේ අම්මා ඒ කිතුලේ පැණි වාගේ

ලෙසයි.

අම්මා අතින් එදා පටන් මනා කළමනාකරණයක් සිදු විය. එදා අම්මා පෝෂණය පිළිබඳ අර්ථගැන්වීම් දැන සිටියේ නැත. නොකා සිටියොත් ශක්තියක් නැහැ කියා දැන සිටි මව ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ආහාර ගත යුතු බව දැන සිටියාය. දරුවෝ උස යන්න, හොඳට වැඩෙන්න නම් ආහාර පාන ගත යුතු බවත් ඇය දැන සිටියාය. එසේ නම් ශක්තිය, වර්ධනය, ආරක්ෂාව සිරුරට සපයන්නේ ආහාරපාන නොවේද 'පුතේ දුවලා පැනලා සෙල්ලම් කරන්න නම් හොඳට හයිය හත්තිය තියෙන්න ඕන'.

එදා අප්පච්චි බත සරි කරමුත් අද ඒ හා සමානම දායකත්වයක් පවුලට මවගෙන්ද ලැබේ. මව පියා දෙදෙනාම ආර්ථික ශක්තිය සහ කළමනාකරණය මැනවින් පවත්වාගෙන යෑමට දායක වේ.නිවෙසට ගෙන ආ යුතු කළමනා ලැයිස්තුව සාදා දෙන්නේ අම්මා නම් ඒවා ගෙනැවිත් දෙන්නේ තාත්තා නම් තාත්තා ද පෝෂණය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙක් විය යුතුයි.

ශක්තිජනක, වර්ධක, ආරක්ෂක ආහාර ගෙන එමින් ඒවා මනාව කළමනාකරණය කරමින් පෝෂණය රැකෙන පරිදි උයාපිහා දීමට හැකි නම් මන්දපෝෂණය පිළිබඳ කතා කරන්නට වේවිද?

බලන්න නි‍ෙවසේ වැඩිම මුදලක් වැයවන පෝෂණයට ඝෘජුවම දායකත්වයක් දක්වන දෑ මොනවාද කියා. මේවා වෙ‍ෙළඳ පොළෙන් සපයා ගැනීමට ආර්ථිකය ශක්තිමත් නොවේ නම්,අපි හිතමු එළවළු යැයි කියා. වෙළෙඳ පොළෙන් සපයා ගැනීමට ඉඩකඩක් නොවේ නම්, ගෙවත්තක එළවළු, පලතුරු, පලා වර්ග හැකි පමණින් වගාකර එහි වාසිය ළඟාකර ගන්න. එය නගර බද ප්‍රදේශවල සීමිත ඉඩකඩක මහල් නිවාස ආදියෙහි ජීවත් වන අයට එතරම් ම ප්‍රායෝගික නොවුණත් ඔවුනටත් හැකි පමණින් home gardening සංකල්පය වෙත ළඟා විය හැකියි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මහජන සෞඛ්‍යය කාර්යාල හරහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ මඟ පෙන්වීම මත මවු හවුල් පවත්වාගෙන යයි. මේවාහි සාමාජිකයන් කුඩා දරුවන්ගේ මවුවරුන්ය.මේ හරහා තම ගෙවත්තට පෝෂණීය දේ එකතු කරගන්නට මවු හවුලේ මවුවරුන්ට පුළුවන. විවිධ රසවත් ගුණවත් කෑම වර්ග සෑදීමට ඔවුන්ට හුරු කිරීම සඳහාත් මෙහි වැඩසටහන් තිබේ.රසයෙන් වැඩි ගුණයෙන් අඩු ආහාර( fast food and junk food) වෙනුවට රසයෙන් මෙන්ම ගුණයෙන් ද වැඩි ආහාර නිවෙසේදීම පිළියෙල කරදෙන්නට ගෘහිණිය, මව සමත් වේ නම් දරුවන් බොහෝ දුරට මන්දපෝෂණ තත්ත්වයන් කර නොයාවි.

වීදී ආහාර(Street foods)නිවෙසට ගෙන එන පියා හෝ මව වෙනුවට එම ආහාරවල අමුද්‍රව්‍ය (raw materials) රැගෙන නිවෙසට එන මව හෝ පියා දරුවන්ට මහමෙරක් සේ නොපෙනුණත් විය යුත්තේ එයයි.

නිර්මාණාත්මක ආහාර කලාව (creative foods) පිළිබඳ ඉගෙනීම වත්මන් මවුපියවරුන්ට අතිශය වැදගත් කාරණාවක් වී තිබේ. සමාජ ජාලා වෙබ් අඩවි, යූටියුබ් නාලිකාවල ඕනෑ තරම් ආහාර පිසීම පිළිබඳව වීඩියෝ තිබේ. මාධ්‍ය කලාව ඉතාම ප්‍රවේශමෙන් පරිශීලනය කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ගන්න ගෘහිණිය ට පුළුවන. ලූනු, තෙල්, මිරිස් අඩු ආහාරවල රසයට නිවෙසේ සාමාජිකයන්ගේ දිව හුරු කිරීම ඔවුන් රෝගී බවට පත් කිරීමේ මාවතට බාධාවක් ගෙන දේවී. වියදම් අඩු ආර්ථිකයක පෝෂණයට රුකුලක් වන ආහාර පාන නිර්මාණාත්මකව පිළියෙල කිරීම යුගයේ අවශ්‍යතාවකි.

චීස් බටර්වල මිල බලා සිටියදී ඉහළ යෑමත් ඒවා දරුවන්ගෙන් තරමක් ඈත් කර වන්නට ආර්ථිකය හරස් වී ඇති නිසා එයත් මන්දපෝෂණයට හේතුවක් යැයි මවුපියවරු සිතයි. එළකිරිවලින් එම පෝෂණය ගන්නට හැකිනම් චීස් බටර් දෙන්නට නොහැකි වීමේ අඩුවක් නොදැනේවි. මුරුංගා කොළ වියළා කුඩු කර අමතර ආහාර පටන් ගන්නා කාලයේදී කුඩා දරුවන්ට රස බතට එක්කර හැකියි.දරුවන්ගේ බුද්ධි වර්ධනයට මුරුංගා කොළ අත්‍යවශ්‍ය පෝෂණ ගුණ සපුරා වි වී.

පෝෂණය පිළිබඳ අතීතයේ මවුවරුන් යමක්කමක් නොදන්නා කාලයේ දී වුව කොළ මැල්ලුමට, සලාදයට, සම්බෝලයට දෙහි යුෂ ටිකක් යහමින් එකතු කරන්නට විය. ආහාර වේලේ යකඩ අවශෝෂණය මැනවින් සිදු වීමට මෙය ඍජු දායකත්වයක් සපයන බව එදා ඈ නොදැන සිටියත් අද එය විද්‍යාත්මකව තහවුරු වූවකි. එදා ගෘහිණිය දඹල බෝංචි ආදී කොළ පැහැ එළවළු පිසගත් පසුවත් එහි කොළ පැහැය එලෙසම රඳවා ගැනීමට උත්සාහ කරයි. අද වන විට වෙළෙඳුන් කූට උපක්‍රම යොදමින් මේරූ එළවළු විකුණුවත් ළපටි කරල් තෝරාබේරාගෙන මිලදී ගැනීමට ගෘහිණිය දක්ෂ විය යුතුයි. මේවා පෝච්චියක හෝ සිටුවා ගැනීම උත්සාහයෙන් යුතුව කළ හැකියි.

බත් පිඟානේ භාගයක තිබිය යුත්තේ බත් ය. මේ සමඟ මඤ්ඤොක්කා වැනි දෙයක් තිබුණොත් බත් පිඟානේ භාගයක තිබිය යුත්තේ බත් සහ මඤ්ඤොක්කා ය.එනම් කාබෝහයිට්‍රේට් හෙවත් ශක්තිජනක ආහාර තිබිය යුත්තේ බත් පතින් භාගයක ප්‍රමාණයටයි.ඉතිරි තුනෙන් දෙක එළවළු, මැල්ලුම් වැනි දේ සඳහා වෙන් වේ.ඒවා ආරක්ෂක ආහාරය.ඉතිරි තුනෙන් එකක ප්‍රමාණය වර්ධක ආහාර සඳහා වෙන් වේ. එනම් කරවල කෑලි දෙකක්, හාල්මැස්සන් පහ හයක්, අඟලේ ප්‍රමාණයෙන් යුතු මස් කැබැල්ලක්, මාළු කැබැල්ලක් යනාදී එක් දෙයක් වශයෙනි.

ස්වභාව දහමින් සොයාගත් පලතුරු පැහැයන් පහකින් දරුවන්ට දිනපතා දිය හැකි නම් විටමින් අවශ්‍යතාව මැනවින් ඉටු වේ. එහෙත් අද මිල දී ගන්නට ඇත්තේ කාබයිට් ගැසූ පලතුරුය. විශේෂයෙන්ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන දරුවන්ට මේ දේවල් අහිමිය.

ආර්ථික ලාභය ගැන සිතමින් ඔවුන් තම මඩිස්සලය තර කර ගන්නට සිතුවත් පාරිභෝගිකයා රෝගී වීම යනු රටක්ම රෝගී වීම නොවේද?අපේම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා යනු රටක්ම කඳුළු සලන කාරණයක් නොවේද?

 

 

උපදෙස්:

එච්.එම්.බී.බී. හේරත්

දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී

කුරුණෑගල