Doctor door

මැයි 27, 2024

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවි ඉන්න, පවුලෙන් ගිලිහුනු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

කවුරුන් හෝ කොඳුරනවා මෙන් ඇසෙයි

 

ප්‍රශ්නය

මම 41 හැවිරිදි අවිවාහක කාන්තාවක්. මා රැකියාව ලෙස කරන්නේ ඇඳුම් මැසීමයි. ජීවත් වන්නේ මගේ මව සමඟයි. දැන් මාස දෙකක පමණ කාලයක සිට කවුරුන් හෝ මට කතා කරනවා ඇසෙයි. නිතර නිතර කොඳුරන හඬක් සමඟ විවිධ කටහඬවල් ඇසෙයි. මා මේ ගැන මවට පැවසූ විට ඇය පවසන්නේ කට්ටඬියකු හමුවට හොස් සෙත් ශාන්තියක් කිරීම හොඳ බවයි. ඇය දැඩි සේ හොල්මන් සහ අවතාර පිළිබඳ විශ්වාස කරන කෙනෙක්. ඇය පවසන්නේ මට පෙරේත ආත්මයක බැල්ම වැටී මෙලෙස සිදුවන බවයි. මා දවස් කිහිපයක් තනිවම කතා කරනවාත් ඇය දැක ඇත. මේ දේවල් එක්ක මට කලකිරීමක් සමඟ මොකක්දෝ මූසල ගතියක් දැනෙයි. මෙය මාගේ රෝගයක් කියායි මට සිතෙන්නේ. මේ ගැටලුව මා හට පහදා දෙන්න.

 

පිළිතුර

මෙම තත්ත්වය හින්නෝන්මාදය යනුවෙන් හඳුන්වයි. මෙම උග්‍ර මානසික රෝගී තත්ත්වය ප්‍රවේණිගතව ඇති විය හැකිය. පරිසරය අනුව ද සියයට 50ක් පමණ හින්නෝන්මාදය ඇති වීමට බලපානු ලැබේ. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑව ද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවමකර ගත හැකිය.

හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 15-16 අතර පසුවන පිරිමි දරුවන්ටත්, වයස අවුරුදු 25 පසු තරුණ දියණිවරුන්ටත් සමාජිය, අර්ථික ප්‍රශ්න හින්නෝන්මාදයට, ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම එදිනෙදා කටයුතුවලට බාධාවල් ඇති වීම අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි දේ ඇති වේ. ඊට අමතරව මැදි වයසේ අයට ද කලාතුරකින් මේ තත්ත්වය පැවතිය හැකිය. ඔබ පවසන පරිදි ඔබ මවත් සමඟ තනිවම ජීවිතය ගෙන යන කාන්තාවක් නිසාත් මෙය මානසිකව බලපෑ හැකිය.

මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ වන්නේ අස්වාභාවික ලෙස බාහිර පාර්ශ්වයන් සැක කිරීමට පටන් ගැනීමය.

මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගන්නා ඔවුහු, බාහිර පාර්ශ්වය තමන්ට විරුද්ධව කටයුතු කරන බව සිතති. තමාට වසදී මරාදමති යැයි සිතනා ඔවුහු තනියෙන් කතා කරති. සිනාසෙති.

එවැනි තත්ත්වයකදී තවත් කෙනකු තමා සමඟ නිතර කතා කරන බව ඇසේ. අනෙක් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් අසන්නට ලැබේ. තමන්ට විරුද්ධව කතා කරන බව හැඟෙන අතර පුද්ගලයකු සිටියත් නැතත් කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ.

 

මානසික රෝගවලට ගොදුරුවන බොහෝ දෙනකු රෝහල් ගත කෙරෙන්නේ බොහෝ කලක් ගොසිනි. මානසික රෝගයක් ලෙස රෝගය නිශ්චයකර ගැනීමට නොහැකි බොහෝ දෙනකු විසින් කරනු ලබන්නේ තමාට හෝ තම හිතවතාට හෝ භූත දෝෂයක්, යක්ෂ දෝෂයක් ඇතැයි සිතා රුපියල් ලක්ෂ ගණන් වියදම්කර බලි තොවිල් කිරීමයි. එතැනින් ද නොනවතින රෝගියාගේ රෝග ලක්ෂණ පහළවන විට මළගිය ඥාතිවරු ආරූඪ වී ඇතැයි, නැවත නූල් දැමීම, දෙහි කැපීම ආදී දේවලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් තිබේ. සමහරුන් බලිතොවිල් කරන්න ගිහින් මිය ගිය අවස්ථා පවා ඇත. තවත් කාලය නාස්ති නොකර මනෝ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න.

 

ඔහුට අනියම් සම්බන්ධයක්

 

ප්‍රශ්නය

අප විවාහ වී වසර 6කි. එය වසර 8ක පෙම් සම්බන්ධයකින් සිදු වූ විවාහයකි. අවුරුද්ද සහ අවුරුදු තුන වයස්වල දරුවන් දෙදෙනෙක් අපට සිටිති. මේ ගැටලුව සැමියා සම්බන්ධවයි. මෑතක්වන තුරුම ඔහු මට ඉතාම ආදරයෙන් හිටියා. දරුවන්ටත් එහෙමයි. ඒ නිසා මම ඔහුව කවදාවත් සැක කළේ නැහැ. නමුත් ඔහු මාස තුන හතරක සිට සති අන්තයේ දවස්වලටත් වැඩ කියා නිවෙසින් පිට වෙයි. මින් පෙර එසේ සිදුව නොමැත. දැනට සති තුනකට කළින් මට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණ. ඔහු පැවසුවේ මාගේ සැමියා සති අන්ත දිනවලදී වෙනත් කාන්තාවක් සමඟ මහල් නිවෙසක ජීවත්වන බවයි. ඒ ඇමතුම ලැබුණු දිනයත් ඉරිදා දිනයක්. මා ඔහුගේ ආයතනයට ඇමතුමක් දුන් විට එතැනින් පැවසුවේ මගේ සැමියා සති අන්ත දිනවලදී නොපැමිණෙන බවත් අද දවසේත් ඔහු නැති බවත් ය. ඉන්පසු මා සැමියාට ගත් පසු ඔහු පැවසුවේ ඔහු ආයතනයේ වැඩ කරන ගමන් ඉන්නා බවය. සිදු වූ දෙය පවසා මා ඔහු සමඟ රණ්ඩු කළෙමි. ඔහු ඉන් පැයකට පසු නිවෙසට ආවේ නිදහසට වෙනත් කරුණු කියමිනි. ඒ කියූ කරුණු එකිනෙකට පරස්පරය. ඔහු මා රවටා ඇති බව මගේ හිත කියයි. මා මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද? යළිත් ඔහු සමඟ පෙර සේ මට සිටිය නොහැකිය. දරුවන් ගැන මට ඇති වන්නේ කියාගත නොහැකි දුකකි. මා හට පිහිට වන්න.

 

පිළිතුර

ඔහුට අනියම් සම්බන්ධතාවක් තියෙනවද නැද්ද යන්න තවම ඔප්පු වී නැති නිසා කලබල නොවන්න. ඔබ කලබල නොවී සිටියානම් මෙහි සත්‍යතාවය ඉක්මනින් සාක්ෂි සහිතව සොයා ගැනීමට ද හැකියාව තිබුණා.

 

සමහර වෙලාවට ඇත්තටම ඔබේ සහකරුට සම්බන්ධයක් නැහැ. ඔබ සැකයකින් පීඩා විඳිනවා. සමහර වෙලාවට ඇත්තටම සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක එයට හේතුව හොයා ගැනීම අවශ්‍යමයි. හැබැයි එහෙම සහකරුගේ වෙනත් සම්බන්ධයක් තියෙනවා නම් ඔබට කියන්න දෙයක් තියෙනවා. කාලයක් ඔබ සමඟ ආදරයෙන් ජීවිතය බෙදා ගත් කෙනා එක් මොහොතකදි වෙනස් වුණාට නැවත ඔහු ඔබට ආදරය කරන තැනට උපදේශනයට පසු අරන් එන්න පුළුවන්. ඔබත් සිතිය යුතු දෙයක් තියෙනවා. ඉතා ආදරයෙන් සිටි ඔබේ සැමියා වෙනත් ආදරයක් සොයා ගියේ ඇයි කියන කාරණාව.

පෙම්වතෙක් හැටියට ඔහු ඔබට ආකර්ෂණය වුණේ ඔබේ යම් කිසි වටිනාකමක් දැකලා, ගුණාංග දැකලා. ඒවා විවාහයෙන් පස්සෙ වර්ධනයකර ගන්නවා මිස අඩුකර ගන්න එපා.ඔබ ගෘහණියක් වෙන්න පුළුවන්. ගෙදර වැඩ බොහොම තියෙනවා තමයි. හැබැයි ලස්සනට ඉන්න. පිරිසුදුව ඉන්න. රැකියාවට යන ස්වාමියා දකින්නේ පිළිවෙළකට ඉන්න ලස්සන ගැහැනු. නීතියට බැඳීම් තිබ්බට හිතට සීමා නෑ කියලා අමතක කරන්නම එපා.

හැබැයි නොකියාම බැරි දෙයක් තියනවා ලෝකයේ ඉන්න හොඳම කාන්තාව ලැබුණත් ඇය එක්ක නොඉඳ වෙනත් ඇසුරක් හොයන පිරිමිත් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ලිංගික ආකර්ෂණය, ඔහුට සවන්දීම, ඔහුගේ දේවල් බෙදා ගැනීම තුළින් ඔහු වෙනතකට යොමු වීම වළක්වා ගන්න පුළුවන්.

 

දැන් ඒ ගැනම හිතමින් ඔහු සමඟ රණ්ඩු කරන්න එපා. අම්මට,නැන්දම්මාට, යාළුවාට, මිතුරියට හැමතැනම කියමින් ගියොත් ප්‍රශ්නය තිබුණාට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආදරය ඔහුට ලබා දී නැවත ඔහුව ඔබට ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඔබ උපදේශනයකට යොමු වී ඔබේ ගැටලුවේ, ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. විශේෂම දේ මේ කාරණය ඔබව පෙළනවා නම් දිගටම පෙළි පෙළි ඉන්න එපා. උපදේශනය සහ ගැටලුව විසඳා ගැනීම ඉතා වැදගත්. ඔහුවත් රැගෙන යනවානම් මේ ගැටලුව ඉතා පහසුවෙන් විසඳා ගැනීම හැකි වේවි. දරුවන් ගැන සහ ඔබ ගැන සිතා හරි අවබෝධයෙන් කටයුතු කරන්න. මේ ඔබ ශක්තිමත්ව සිටිය යුතුම මොහොතයි.

 

උපදෙස් -

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ

විශේෂඥ මනෝ වෛද්‍ය

රුමි රූබන්