වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කිරි කැටි බිලිඳියගේ නික්මුණු සුසුම් පොදට පසුවදනක්...
නව වසර ලබා දිනයක් ඉකුත් වූවා පමණි. හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායෙන් දරුසෙනෙහස ඇත්තවුන්ගේ හදවත් කම්පා කරවන සිදුවීමක් වාර්තා වුණි.
ඒ සැමියාගෙන් පළිගන්න දින 28 ක බිලිඳියක් ඇගේ මව විසින් වළ දැමූ පුවතකි.
මෙලෙස අනුවේදනීය සිදුවීමකට මුහුණදීමට සිදුවුයේ සීතල දෙසැම්බරයේ ඉපදී කැටිවන්නට මවු උණුහුම ඉල්ලන බිලිඳියකටයි. සැබැවින්ම කිරිකැටියා දැන සිටියේ අම්මාගේ දෙතනින් උනන කිරි බිඳුවත් - ඇගේ ළය මඬලෙන් නැඟෙන මවු සෙනෙහසත් - මවු ඇකයේ උණුහුමත් ගැන පමණි. කිරි ඉල්ලා ඇඬූ සැණේදී කිරි දෙන්නට තුරුලු කරගත් අම්මාගේ ළයේ සාහසික සිතුවිල්ලක් ඇතිවී තිබුණේදැයි මේ බිලිඳිය දන්නේ නැත. බිඳුවෙන් බිඳුව ඉරූ මවු කිරෙන් ඇගේ සිඟිති බණ්ඩිය පිරෙන්නට ඇත. ඒ සමඟම වැටුණු සුව නින්දේදී සුරංගනාවියන් කිරිකැටි බිලිඳියව සහනාලමින් සිටින්න ඇත.
එනමුදු අම්මා නිදියහනේ තැබූ බිලිඳිය යළිත් අතට ගන්නේ සාහසික චේතනාවකිනි.
"කෙල්ලගෙ අප්පාට මං හොඳ පාඩමක් උගන්වන්නම්. ඒ මනුස්සයාට මාත් එක්ක තරහා වෙන්න පුළුවන් නම් එයාට මගෙන් ළමයකුත් එපා...!"
ඊළඟ මොහොතේ සුරංගනාවියන් සමඟ සිනාසෙමින් සිටි කිරිකැටි බිලිඳිය ගෙවත්තේ කැළි කසළ වළක වැළලෙන්නේ අම්මාගේ දෑතිනි. ඉන් මතු අහස පොළොව නොඋහුලනා අපරාධකාරී අම්මාට පෙනෙන්නේ පස් තුනී කළ පොළොවක් පමණි. එහෙත් ඒ පොළොව යට කැළි කසළ අතරින් සිඟිති අත්පය සොලවමින් පණ කෙන්ද රැක ගන්නට තම බිලිඳු දියණිය දරන අසරණ වෑයම පෙනෙන්නේ නැත. මේ අසරණ බිලිඳු දියණියගේ වේදනාකාරි දෛවය ඇගේ අම්මා හිලව් කරන්නේ සැමියාට ඉගැන්වූ යස පාඩමකට ය.
බිලිඳිය නිවසේ නොමැතිවීම ගැන මිත්තණිය හා ඥාතීන් සොයා බලද්දී අපරාධකාරී අම්මාට තමා සිදු කළ අපරාධයේ රහස හෙළිකරන්නට සිදු වී තිබේ. ඔවුන් වළෙන් ගොඩගන්නා විටත් බිලිඳිය සිට ඇත්තේ මරණයත් ජීවිතත් අතර සටනක ය. එහෙත් මේ කුරිරු සමාජයේ තවදුටත් නොරැඳෙන සිඟිත්තිය කිරි බිඳුවක් උරන්නැයි ළං කළ අම්මාගේ ළය මඬල මතම අවසන් ගමන් ගිය බව පැවසෙයි.
දින 28 ක බිලිඳියක් පණ පිටින් ගෙවත්තේ වළ දා ඝාතනය කිරීමේ අපරාධයට සැකකාර අම්මාත් එම අපරාධයට අනුබලදීම හා සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් සැකකාර මිත්තණියත් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"මේ සාහසික අපරාධයට වහ වහා දඬුවම් ලැබිය යුතුයි..." ඔබේ හදවත ඒකමතික තීරණයකට පැමිණ ඇතුවාට සැක නැත. සැබැවින්ම එය එසේ විය යුතුය. එනමුදු එය එසේ වීමෙන් පමණක් අපට සිත නිදහස් කරගත හැකිද? මොහොතක් සිතන්න. මේ කිරිකැටි දියණිය නොකළ වරදකට අමානුෂික දඬුවමක් ලැබුණේ අඹුසැමි ගැටුමක් හේතුවෙනි. එපමණකටම සාහසික නොවුණත් අපේ දරුවන් කොතෙක් නම් අම්මා තාත්තාගේ ගැටුම් නිසා තාඩන පීඩනවලට ලක්වන්නේද?
අම්මාත් තාත්තාත් දබර කරද්දී ගුටි බැට ඇනගනිද්දී "අනේ අම්මේ එපා..." "අනේ තාත්තේ එපා..." යැයි හඬා වැටෙන දූ දරුවෝ අපේ සමාජයේ බොහෝ සිටිති. තවත් විටෙක සැමියා හෝ බිරිය වෙනුවෙන් නැඟෙන කෝපය තුනී කරගන්න දරුවාට ද අතුල් පහරක් ලැබේ. ඒ දරුවා කළ සුළු වරදකට ලැබෙන දැඩි දඬුවමක් ලෙසිනි. එසේත් නැතිනම් අනෙකා කෙරෙහි තරහෙන් පසුවන විට දරුවාගේ සුරතල් බසක් පවා රැස්සන්නේ නැත.
දරුවකු පණපිටින් වළ නොලෑවාට අපේ අම්මලා තාත්තලා තම අඩදබර නිසා දරුවන්ව තාඩනයට පීඩනයට පත් කිරීමද මහත් අපරාධයකි. ඒ මෙවන් පසුබිමකදී දරුවාගේ වැඩෙන පෞරුෂත්වයට අහිතකර බලපෑම් ඇතිවන බැවිනි. නිතර නිතර අම්මා තාත්තාගේ ගැටුම්වලට මැදිවන දරුවකුගෙන් සමාජයට යහපත් පුද්ගලයකු බලාපොරොත්තු විය නොහැකියි.
ඔවුන් සුළු දෙයටත් කිපෙන, නිතරම අසුභවාදීව සිතන, අයහපත් ආකල්ප ඇති පුද්ගලයින් බවට පත්වීමට ඉඩ තිබේ. එමෙන්ම නිතරම මුළු ගැන්වෙන, බිය සුළු චරිත ලෙසින්ද මෙවැනි දරුවන් වැඩිහිටි වියට එළඹීමටත් ඉඩ ඇත.
තාත්තා නිතර පිටකරන කේන්තිය මෙන්ම අම්මා දරුවන් ඉදිරියේ නිරතුරුව හෙළන කඳුළද දරුවන්ගේ දුර්වල පෞරුෂයට හේතුවන බව බොහෝ දෙනකු නොසිතති.
ඔබේ සහකාරිය හෝ සහකරුවා නිවැරැදි නොවනවා විය හැකියි. එහෙත් හදිසි කෝපයෙන් ගැටලු විසදෙන්නේ නැත. ඔබ අනෙකාට එරෙහිව කෝප ගැන්වෙන්නේ අහිංසක දරුවන් ඉදිරියේදැයි වරක් දෙවරක් නොව තෙවරක්ම සිතන්න. බත් හැළිය ඉදෙන විට ඔබේ අඬදබර අහවර විය හැකියි. එහෙත් ඒ වන විට සිදු වූ අම්මා තාත්තාගේ කෝප සහගත හැසිරීම් නිසා දරුවන් හෙට දවසදී ද ප්‍රතිවිපාක විඳිනු ඇත.