වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
විකල්ප කිහිපයක් යොදාගනිමින් ඉදිරියේදී පාසල් අරඹනවා
අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
දරුවන් ඇල්මෙන් අකුරු කරනවාට වඩා දරුවන්ට අකුරු කරවීමට උත්සාහ ගන්නේ මාපියන්ය. 2020 වසරේත් මාපියන් දරුවන් පාසල් යැව්වේ දහසක් බලාපොරොත්තු ඇතිවයි.
එහෙත් මාර්තු 18 වැනිදා සිට මේ වන තෙක්ම කොවිඩ් - 19 වසංගතය නිසා පාසල් වසා දැමීමේ හේතුවෙන් මේ වනවිට දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබුණු දින දෙසිය හැත්තෑ ගණනක් අහිමි වී තිබේ. එය දරුවන්ගේ අධ්‍යාපනයට වැදුණු හෙණ පහරක් බඳුය. මැයි 11 වැනිදා පාසල් නැවත විවෘත කරන සුබ ආරංචිය මාපියනට ඇති එකම අස්වැසිල්ලයි. නැවත පාසල් ඇරැඹීම සුබ ආරංචියක් වුව ද ගෝලීය වසංගතය සියයට සියයක්ම මර්දනය වී නැති කාලවකවානුවක වෙනදා මෙන් නිදහසේ දරුවන් පාසල් යැවීමට ද නොහැකිය. නව පාසල් වාරයේදී මාපියන් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් අධ්‍යාපනය ලබා දීමේ පාසල් ක්රමෙව්දයේ සිදුවන වෙනස්කම් ගැනත් මාපිය දූදරුවන් දැනුවත් කිරීමට සුදුසුම පුද්ගලයකු වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාය. ඉදිරි අධ්‍යාපන සැලසුම් ගැනත් දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය නොවන ලෙස ආරක්ෂා කරගන්නා ආකාරයත් පිළිබඳ ඔහු මෙලෙස අදහස් දැක්වීය.
* මැයි 11 වැනිදා සිට පාසල් විවෘත කරනවාද?
මැයි 11 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණත් පවතින තත්ත්වය අනුව එය තව ටිකක් ප්‍රමාද වෙන්න ප්‍රළුවන්. වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත දරුවන්ට රෝග අවදානම අඩුවුණාම පාසල් විවෘත කරනවා.
* සමහර ජනප්‍රිය පාසල්වල එක් පන්තියක සිසුන් තිස් පහක් හතළිහක් පමණ සිටිනවා. නව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හරිම වැදගත්. විශාල සිසුන් සංඛ්‍යාවක් එකම පන්තියක මේ උපදෙස ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
සිසුන් ගණන අඩු නිසා ග්‍රාමීය පාසල්වල දරුවන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම පහසුයි. ඒත් නගරයේ තත්ත්වය වෙනස්. ඒ නිසා අපි විකල්ප කිහිපයක් යොදා ගැනීමට සිතා ගෙන ඉන්නවා.
මුලින්ම අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව වැනි විභාගවලට මුහුණ දෙන දරුවන්ට පාසල් විවෘත කරනවා. ඒ දරුවනුත් එකම දවසේ පාසලට ගෙන්වන්නේ නැහැ. කණ්ඩායම්වලට බෙදලා දින වෙන්කරලා කැඳවනවා. පෙරවරු අටේ සිට පස්වරු තුන දක්වා දවස් හතේම පන්ති පවත්වන්න තීරණය කරලා තියෙන්නෙ. දවසේ කාලසටහන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එක ගුරුවරයකුට දවස් හතම එන්න සිදුවන්නේ නැහැ. දවස් බෙදාගෙන එන්න වෙනවා. ඒ ඒ පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් සුහදව කතාබහ කරගෙන කාලසටහන පිළියෙල කරගත යුතුයි. පසුව කඩඉම් විභාග නැති 6,7,8 වැනි පන්තිවල සිසුසිසුවියන්ට පාසල විවෘත කරනවා.
එයත් සිදුවන්නේ කණ්ඩායම් වශයෙන්.
*රෝගයේ බලපෑම අද හෙට අවසන් නොවන නිසා දුරස්ථභාවය වගේම මුහුණු ආවරණ හෙවත් මාස්ක් පැලඳීම ද අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද?
අපේ රටේ පාසල් යන දරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතළිස් තුනක් පමණ වෙනවා. එපමණ පිරිසකට මුහුණු ආවරණ සැපයීම සංවර්ධනය වෙමින් පවතින ලංකාව වගේ රටකට පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා මං මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට මුහුණු ආවරණ නිවෙසින් ලබා දෙන්න කියලා. අමෙරිකාව වැනි දියුණු රටවල් පවා මේ රෝගයේ බලපෑම තව වසර දෙකක්වත් පවතින බව පවසනවා. ඒ නිසා දරුවන්ට සබන් ගා අත සේදීම වගේ යහපත් සෞඛ්‍ය පුරුදු ගෙදරදීම හොඳීන් පුරුදු පුහුණු කරවලා පාසල් එවන්න. කොවිඩ් - 19 රෝගයෙන් විතරක් නෙවෙයි බෝවන රෝග ගණනාවකින් දරුවා රැක ගන්න පුළුවන්.
* අන්තර්ජාල පාසල් මේ කාලයේදී සාර්ථකව ක්‍රියාත්මක වෙනවාද?
කොහොමටත් අන්තර්ජාල පාසල් බොහෝ පාසල්වල ක්‍රියාත්මක කෙරෙනවා. වට්ස්ඇප් මඟින් පාඩම් හුවමාරු කරගන්නවා. ඒත් අන්තර්ජාල පහසුකම් නැති පාසල්, නිවෙස් බොහොමයක් අපේ රටේ තියෙනවා. සමහර තැන්වලට සිග්නල් ( අන්තර්ජාල සංඥා ) නැහැ. පරිගණක, ස්මාට්ෆෝන් නිවෙස්වල නැති දරුවන් සිටිනවා. සියයට පනහක්ම ඉන්නේ ඒ වගේ දරුවන්. මේ දරුවන්ට ප්‍රමුඛතාව ලබා දීමට සිදුවෙනවා. මුද්‍රිත පාඩම් ආදී විවිධ ක්‍රම එවැනි දරුවන් වෙනුවෙන් යොදා ගන්න වෙනවා.
* මේ වැඩපිළිවෙළට මාපියන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබේවිද?
අම්මලා තාත්තලා විවිධ අදහස් දක්වාවි. දැනටත් එහෙමනෙ. එක මාපියන් කට්ටියක් ඇයි පාසල් විවෘත නොකරන්නෙ කියලා අහද්දී තවත් කට්ටියක් පාසල් විවෘත කරනවට විරුද්ධයි. හමුදාවට පාසල් දුන්නෙ ඇයි? වගේ විවිධ ප්‍රශ්න. ඒත් අපි මේ හැම දෙයක්ම කරන්නෙ පාසල් දරුවන් වෙනුවෙන්. දැවැන්ත අභියෝග රැසකට අපි මුහුණ පාලා ඉන්නෙ. රැස්වීම් පැවැත්වීමට නොහැකි නිසා අපි කලාප අධ්යක්ෂවරුන් කැඳවමින් සෑම දරුවකුටම සාධාරණයක් වන සැලසුම් ක්‍රියාත්මක කරනවා.
* අගෝස්තු මාසයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වේවිද?
දුරස්ථභාවය විභාග පැවැත්වීමේදී කොහොමත් ක්‍රියාත්මක කෙරෙනවා. ඒනිසා ගැටලුවක් පැන නඟින්නේ නැහැ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්
එන්. එච්. එම්. චිත්‍රානන්ද