යොවුන් දූ දරුවන් පූදින්න අරඅඳින මල් කැකුළු වගේ

මාර්තු 3, 2021

යෞවනයේ හිඳින දූදරුවන් පිපෙන මල් කැකුළු හා සමානයි. මේ මල් කැකුළු යහමඟට ගන්න නම් මල් පෙති නොතැළී, නොකැඩී දිගහැරෙන්නා සේ ඔබේ දරුවාටත් සුන්දරව විකසිත වන්නට අවැසි පරිසරය ඔබ නිර්මාණය කළ යුතුයි.

ඒ නිසාම යොවුන් වියේ දූදරුවන් ඉන්න මවුපියන්ට වැදගත් කරුණු කිහිපයක් අද ඇප් කතාබහට මුල් වෙනවා. ගැහැනු දරුවන් ගොඩක් වෙලාවට තමන්ගේ සිරුරේ සිදුවන වෙනස් වීම් මව සමඟ වුවත් බෙදා ගැනීමට අකැමැතියි. මේ දිනවල දරුවන් නිවෙසේ ඔබ සමඟ ඉන්නා කාලයයි. වැඩිවියට පත් වූ දරුවන්ව ඔබ ළඟට ගෙන ඇගේ සිරුරේ වන වෙනස්වීම් ගැන විවෘතව සාකච්ඡා කරන්න.

පිරිසුදුකම

විශේෂයෙන්ම සිරුර පිරිසුදුව තබා ගැනීම අතිශය වැදගත් බව ඔවුන්ට පවසන්න. යට ඇඳුම් නිතරම සෝදා පිරිසුදුකර වෙලා භාවිතයට ගන්න කියා දෙන්න. ශරීරයේ සමහර තැන්වල රෝම වැවෙන නිසා ඒවා ඉතා පිරිසුදුව තබා ගත යුතු වෙනවා. එසේ නොමැති විට දහදිය දුර්ගන්ධයෙන් පීඩා විඳීමට සිදුවන්නේ තමන්ටමයි. ඒ නිසා මුහුණ, ශරීරය, හිස පිරිසුදු කර ගැනීමට ඇයට සුදුසු නිෂ්පාදන භාවිත කරන හැටි කියාදෙන්න. අරපිරිමැස්මෙන් යුතුව එම නිෂ්පාදන භාවිත කිරීමටත් උපදෙස් දීම වැදගත්.

පුංචි කාලේ සිටම දරුවන් තමන්ගේ දේවල් පිරිසුදුව, අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන්න පුරුදු පුහුණු කිරීමෙන් ඔබට ඇය යහපත් පුරවැසියෙක් ලෙස සමාජ ගත කළ හැකි වෙනවා.

වැඩිහිටියන් බවට පත්ව සිටින අයගෙන් අප දකින අඩු පාඩුවක් තමයි තමන් පිළිබඳ දක්වන නොසැලකිල්ල. එලෙස නොසැලකිලිමත් වීමෙන් ගොඩක් වෙලාවට තමන්ට ලැබෙන තියෙන අවස්ථාවන් විශාල වශයෙන් මඟහැරී යනවා. ඉතා ඉහළ නිලතල දරණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ නිසා අපහසුතාවන්වලට පත්වෙන අවස්ථාවන් දැක තිබෙනවා. සමහර කාන්තාවන් ඉතා පෞද්ගලිකව තමන්ට ඇති ගැටලු ගැන පවසා තිබෙනවා. තමන්ගෙ කටින් දුර්ගන්ධයක් එන බව තම කාර්ය මණ්ඩලය කතා වෙන බව පවසනවා.

තමන් මොනතරම් ලස්සනට ඇඳ පැලඳගෙන සිටියත් දහදිය දුර්ගන්ධයක් අන් අයට දැනෙන බව පවසා තිබෙනවා. හොඳීන් ෂැම්පු දා සේදුවත් දහදිය මිශ්‍ර වූ දුර්ගන්ධයක් ඔළුවෙන් තමන්ට ද දැනෙන බව පවසා තිබෙනවා. යටි පතුල්වල ඉරිතැලී පැලී ගිය දේවල් ගැන තමන් නැති තැන කතා වෙන හැටි ආරංචි වෙන බව ද පවසා තිබෙනවා.

අඳීන ඇඳුම්වලින් ද පලඳීන ආභරණවලින් ද අප තුළ ඇතිවන මෙවැනි ඍණාත්මක ගැටලු වසා ගත නොහැකි බව පුංචි කාලයේම ඔබේ දියණියට, පුතාට පවසන්න.

කුඩා අවධියේ සිට අප පුරුදු පුහුණු නොවීමෙන් වැඩිවියට පත්වීමේ දී මෙවන් වූ ගැටලුවලට තනිව මුහුණ දීම ඉතා අපහසු කාර්යයක්. පිරිසක් ඉදිරියේ, තම සේවකයන් ඉදිරියේ මෙලෙස අපහසුතාවන්වලට පත් වන්නේ කාන්තාවන් පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද අනේකවිධ පීඩාවන් ඇතිවෙනවා. තමන් මොන තරම් හොඳීන් අධ්‍යාපනය ලැබුවත්, උගත්කමක් තිබුණත් උපාධි කීපයක් ලැබුවත් සමාජ ගතවීමේ දී ප්‍රියතාවක් නොමැතිනම් ඔබව දැකීම අප්‍රසන්න නම් ඔබට සමාජයේ කොන් වීමට සිදුවෙනවා.

පාසල් යන දූ දරුවන් අත සේදීමට, දත් මැදීමට පුරුදු වන්නාසේම තම ශරීරයේ අනෙක් සියලූ තැන් ද පිරිසුදු කිරීමට උපදෙස් දීම මවකගේ වගකීමක් වෙනවා. පාසලේ දී වුවත් සමාජයේ යම් ඕනෑම තැනක දී වුවත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට මේ චර්යාවන් අතිශය වැදගත් වෙනවා.

තමන් ඉතා පිරිසුදුව සිටීමටත්, තමන් අඳීන සියලු ඇඳුම්, තමන්ගේ නිදන කාමරය, තමන් යන වැසිකිළි ආදී සියල්ල පිරිසුදු කිරීමට ඇයව පුරුදු පුහුණු කිරීම අධ්‍යාපනය උගත්කම ලබා දෙනවා හා සමානව වටිනා බව ඔබ අවබෝධ කරගන්න.

නිරෝගීමත් බව

දරුවකුගේ නිරෝගීමත් බවත් මේ හා සමාන ම වටිනවා. පාසල් අවධියේ සිටම හොඳ පෝෂණයකින් ඇයව ශක්තිමත් කළ යුතුයි. ඔබ නිවෙසේ දී පිළියෙල කරන ආහාර ගැන ඉතා සැලකිලිමත් වීම වටින්නේ ඒ නිසයි. මවුවරුන්ගේ පහසුව තකා ක්ෂණික ආහාරවලට පුරුදු වීමෙන් දරුවා තරුණ වියට එළැඹීමේ දී විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. පුළුවන් තරම් වතුර පානය කිරීමට පුරුදු කරන්න.

නිවෙසේ උයාපිහා ගන්නා ආහාරවල වටිනාකම සහ සෞඛ්‍ය සම්පන්න බව ඇයට අවබෝධ කර දෙන්න. ඔබ ගෙදර දී හදන පිරිසුදු ආහාර පමණක් ගැනීමට ඇයව පුරුදු කරන්න. මෙමඟින් අදහස් කරන්නේ බත් පමණක් ගිල්ලවීම පිළිබඳ නොවේ. ගෙදර දී වුවත් සරල කෙටි කෑම පිරිසුදුව, සෞඛ්‍ය සම්පන්න ආකාරයට ඔබට පිළියෙල කර ගැනීමට පුළුවන්. අපේ රටටම ආවේනික වෙච්ච බොහෝ පලා වර්ග, පලතුරු වර්ග නිතර නිවෙසට ගෙනත් පිළියෙල කරන්න.

ඒවා එකින් එක හිමින් දරුවාට ද නිවෙසේ අනිත් අයට ද ආහාරයට පුරුදු කරන්න. පැණි බීම පුළුවන් තරම් අඩු කරන්න. ගෙදර දී පිළියෙල කරගත හැකි බොහෝ පාන වර්ග ගැන ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන්. තරුණී පුවත්පතේ ද බොහෝ විට අපේ රටේ ගුණාත්මක බවින් යුතු ආහාර ගැන නිතර කතා කරනවා.

අද ඔබේ දරුවා අවුරුදු දහයෙ, දොළහෙ කෙනකු වෙන්න පුළුවන්. ඇය තව වසර 40 කට ශාරීරිකව හා මානසිකව හොඳින් සූදානම් කිරීම මවකගේ වගකීමක් නොවේ ද?

හැම මවකටම පුළුවන් නම් තමන් ගැන, තම මව ගැන දැන් සිටින තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන, තමන් නිරෝගීමත් නම්, ඒ නිරෝගීමත් බව ඇතිවීමට තමන් ගෙනා වත්පිළිවෙත් මොනවාද? ඒ වගේම තමන් ද සෞඛ්‍ය සම්පන්න අතින් ගිලිහී නම් ඒ සඳහා තමන් අද දක්වා ගෙනා වත් පිළිවෙත් මොනවාද? ඔබට මඟහැරුණු දේ මොනවාද? යන්න ඔබම සිතා බලන්න. ඒ ආහාර රටාව, ඒ ආකාරයේම දිවිපැවැත්මක් නම්, අපි කියනවා තඪටඥඵබරතඥ කියා. ඒ විදිහට නම් ඔබ අදත් දරුවන් සමඟ ගත කරන්නේ හොඳ මොකක්ද නරක මොකක්ද කියා ඔබටම තේරුම් ගන්න පුළුවන්.

පවුලේ කෙනකු බෝ නොවන රෝගවලින් පෙළෙන්නේ නම් ඒ සඳහා හේතු වූ කාරණා මොනවාද කියා ඔබ ඔබේ දරුවන්ට පහදා දෙන්න. එහි අවදානමක් ඉදිරියේ දී දරුවන්ට ද තිබෙන්න පුළුවන් බව ඔබට වෛද්‍යවරයා ගෙන් අසා දැන ගන්න පුළුවන්.

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට, හොඳ රැකියාවක්, හොඳ ව්‍යාපාරයක් ආරම්භ කර දීමට මාපියවරුන් විශාල කැපවීමක්, මහන්සියක් දරනවා. ඒ හා සමානව ඔබේ දරුවාගේ මනසට ඉහත කී කරුණු පුංචියට හෝ ඇතුළු කරන්න.

 

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා