ප්ලාස්ටික් පරිසරය පමණක් නොව ඔබේ දරුවාගේ ජීවිතයත් විනාශ කරයි

ජුනි 6, 2022

දරුවකු මෙලොවට බිහිවන්නට පෙර සිටම අහිතකර රසායනිකයන් සමඟ සටනක නියැළෙයි. හුස්ම පොදක් ගත්තත් පෙනහලු ඔස්සේ ශරීරගත වන්නේ විස රසායනිකයන් ය.

 

මව් කිරෙන් පෝෂණය වන දරුවා ඒ කාලසීමාව තුළ දී බොහෝදුරට ලෙඩ දුක්වලින් ආරක්ෂා වී සිටියි. අමතර ආහාර ආරම්භයත් සමඟින් ඒ තත්ත්වය තරමක් වෙනස් ස්වරූපයක් ගන්නට පුළුවනි.

අමතර ආහාර දීමේදී, ළදරු කිරිපිටි, වතුර දීමේ දී ඒ සඳහා කිරි බෝතල්, කෑම කවන බඳුන් ආදිය පාවිච්චි කිරීමට සිදුවේ. මෙහිදී ලෙහෙසිය, පහසුව, සරලබව, මිල ගණන්.... ආදී කරුණු සලකා බලා ප්ලාස්ටික් උපකරණ භාවිතයට ගනියි. එහෙත් ඔබ ලෙහෙසියට, පහසුවට මුල් තැන දෙමින් භාවිත කරන ළදරුවන්ගේ භාණ්ඩ විස රසායනිකයන් ගෙන් පිරුණු අන්තරායකර දේ බව දන්නවාද?

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අයිපෙන් (IPEN) ආයතනය සිදු කරන ලද පර්යේෂණයේ දී ළදරුවන් සඳහා වන කිරි බෝතල් සහ ආහාර බදුන් (Feeding Cups) වල බිස්ෆීනෝල් A නම් රසායනිකය අඩංගු විය හැකි බව තහවුරු විය. මේ සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම මෙම රසායනිකය අඩංගු විය. මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන් කර තිබුණ ද විද්‍යාගාර පර්යේෂණයේ දී එය සාවද්‍ය බව තහවුරු විය.

 

මොකක්ද මේ බිස්ෆිනෝල්

බිස්ෆිනෝල් A (Bisphenol A - BPA) යනු පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, පිරිමින් සහ කාන්තාවන් කෙරෙහි ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇති කරන රසායනිකයකි. බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යානුකුලව හඳුනාගෙන ඇති අතර යුරෝපා සංගමය, මෙය හෝර්මෝන ක්‍රියාවලියට බාධා කරන රසායනිකයක් ලෙස හඳුනාගෙන ඇත.

 

ලේබල් පිළිබඳ විශ්වාසය

භාණ්ඩයක් මිලට ගනිද්දී එහි සඳහන් ලේබලය, එම බඳුනේම සටහන් කර ඇති විවිධ සංකේත ආදිය කෙරෙහි සියයට සියයක් ම විශ්වාසය තබන්නටයි අප පුරුදුව සිටිනුයේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක එවැනි සංකේතයක් පිළිබඳ වුවත් සැක සහිත ලෙස බලන්නයි සිදුව ඇත්තේ.

ඉහත පර්යේෂණයට අනුව ඇතැම් භාණ්ඩවල BPA රහිතව බව ලේබලයේ සඳහන් කර තිබුණත් එම රසායනිකය අඩංගු බව තහවුරු විය. මව්පියන් තමන්ගේ දරුවන්ට යහපත් දේ ලබා දෙන්න පෙලඹුණත් වෙළෙඳ සමාගම් ඔබ රවටා ඇතිබව දැන් හොඳින් ම අවබෝධ වනවා නේද?

අන්තරායකර රසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති රීති පද්ධතියක් මෙන්ම ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වනබව තහවුරු කිරීමට නිසි අධීක්ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය බව ඔබටම වැටහෙනවා ඇති.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාව යන රටවල ළදරු නිෂ්පාදන නියැදි ඔස්සේ ‍ෙම් රසායනාගාර පර්යේෂණය සිදු කර තිබේ. ශ්‍රී ලංකාවෙන් ලබාගත් සාම්පල 10 අතරින් 3කම BPA අඩංගු බව තහවුරු වූ අතර එක් එක් සාම්පලයක ලේබලයේ BPA Free ලෙස ද සඳහන්ව තිබිණි. මෙය කෙතරම් හානිකර රසායනිකයක් වුවද මේ සඳහා අවශ්‍ය නෛතික මට්ටම ලංකාවේ නොමැත.

මේ කිසිසේත්ම ආවාට ගියාට සිතිය යුතු දෙයක් නොවේ. එකී පර්යේෂණයෙන් ලද නිගමනයන්ට අනුව,

* ළදරුවන්, දරුවන්ගේ භාණ්ඩ ඇතුළුව බිස්ෆිනෝල් අඩංගු අමුද්‍රව්‍යවලින් සාදන ද්‍රව්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට

* බිස්ෆිනෝල් රහිත බව ලේබල්කරණය සඳහා නෛතික ලෙස බැඳීමක් ඇතිකරන නීති සම්පාදනය කිරීම හරහා වැරැදි ලෙස ලේබල්කරණයන් වැළැක්වීම.

* බිස්ෆිනෝල් අඩංගු අමුද්‍රව්‍යවලින් සාදන භාණ්ඩ සඳහා විකල්ප අමුද්‍රව්‍ය යොදා ගැනීමට සහය දීම.

* භාණ්ඩවල ප්‍රමිතිය විමර්ශනය සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම.

* බිස්ෆිනෝල් අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම හරහා මේවා නව භාණ්ඩ තුළට ඇතුළුවීම වැළැක්වීම කළ යුතු වේ.

තත්ත්වය මෙසේ නම් ළදරුවන්ගේ, දරුවන්ගේ භාවිතය සඳහා හැකි තරමින් වීදුරුවලින් නිම කළ ළදරු බෝතල්, ෆීඩිං කප් යනාදිය භාවිතයට පුරුදු විය යුතුයි. ප්ලාස්ටික් භාවිතයෙන් එහෙම පිටින්ම ඈත්විය යුතුයි.

වීදුරුවලින් තැනූ ළදරු නිෂ්පාදන භාවිතය තරමක් අපහසු විය හැකියි. කෙටිකාලීන විය හැකියි. එහෙත් හයක් හතරක් නොදන්නා ඔබේ කිරිසප්පයාට දැන දැනම විස ශරීරගත කරනවා ද නැද්ද යන තීරණය ඇත්තේ ඔබ අතයි. වීදුරු මෙන්ම වර්ණ නොගැන්වූ පෝසිලේන් නිෂ්පාදන ද භාවිතයට ගත හැකියි.

මේ පිළිබඳ පර්යේෂණය සඳහා දායක වූ පරිසර යුක්ති කේන්ද්‍රය යනු 2004 වසරේ සිට ක්‍රියාත්මක වන පරිසර සාක්ෂරතාව වර්ධනයට, පරිසර, නඩු කර මෙන්ම නෛතික උපදේශකත්වයේ යෙදෙන ප්‍රජාව තුළ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කරන ජාතික මට්ටමේ පරිසර සංවිධානයකි.

BPA පිළිබඳ පර්යේෂණ සිදු කළ IPEN යනු හානිකර රසායනිකවලින් මිනිසාට සහ පරිසරයට ඇති හානිය වැළැක්වීමට කටයුතු කරන ජාත්‍යන්තර ජාලයකි.

 

උපදෙස් -

පරිසර යුක්ති කේන්ද්‍රයේ

ව්‍යාපෘති සැකසුම් සහ කළමනාකරණ

නිලධාරිනී චලනි රූබසිංහ