සැහැල්ලුවෙන් ඉගෙන ගන්න ඇති අවස්ථාව අපේ දරුවන්ට අහිමි ඇයි?

නවසීන්ත අධ්‍යාපන ක්‍රමයත් අපේ අධ්‍යාපන ක්‍රමයත් අතර වෙනස
ජුනි 6, 2022

ඇය නිෂිකා ජයසිංහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන, දැනට නවසීලන්තයේ වෙසෙන ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි. සිය දර්ශනපති පාඨමාලාව හැදෑරීමට නවසීලන්තයට ගොස් සිටින ඇගෙන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් නවසීලන්ත අධ්‍යාපන ක්‍රමයත් අතර වෙනසක් ඇත්දැයි විමසූවෙමු. ඒ හෙට දවසේ නවසීලන්තය වෙත දරුවන් සමඟ යාමට සිතන අම්මාවරුන්ටත් තරුණ දරුවන්ටත් තීරණ ගැනීමේ දී වැදගත් වන නිසාය. මේ අපේ පැනයට ඇගෙන් ලැබුණු පිළිතුරයි.

අධ්‍යාපනයේ වගකීම් දරන නිල දරුවනි, අපේ දරුවන්ගේ හෙට දවස කොයිබට ද? ඔබ ගන්නා තීරණ මතින් නිර්මාණය වන්නේ කුමනාකාර දරුවන්දැයි මඳකට සිතා බලන්න. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු කාලයකි. එය අපේ රටේ හෙට දවස තීරණය කරන ප්‍රබලම සාධකයකි. එසේ නම් තවත් ප්‍රමාද වන්නේ මන්ද? අද අද ම මේ ක්‍රමය වෙනස්කර දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්නට පියවර ගන්න.

 

 

“වර්තමානයේ බොහෝ මාපියන් තම දූ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබාදීමට උනන්දුවක් ඇතිවී තිබීම ප්‍රකට කරුණක්. එසේ විදෙස් අධ්‍යාපනය ලබාදීම අරමුණු කරගන්නා අයට හෝ ඒ පිළිබඳ උනන්දුවක් ඇති අයට වසර දෙකක මගේ විදෙස් අධ්‍යාපන දැනුම හා පළපුරුද්ද ඉතා වැදගත් වේ යයි සිතමි.

 

මා දැනට නවසීලන්තයේ එක්තරා විශ්ව විද්‍යාලයක දර්ශනපති (PHD) පාඨමාලාව හදාරමි. මගේ දරුවන් තිදෙනා හා සැමියා ද මා සමඟ මෙහි වාසය කරයි. නවසීලන්තයේ අධ්‍යාපනය පිළිබඳ කීමට ඉතා විශාල තොරතුරු රැසක් පවතී. එහෙත් වසර දෙකක කෙටි කාලයක් තුළ මා කෙසේ මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ දැනුවත් දැයි ඔබ පුදුම වනු නිසැකය. එහෙත් ඔබ නොදන්නවා වුවත්

 

 

මගේ දියණිවරු තිදෙනා සිටින්නේ පාසල් වියෙහි බැවින් මා පාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂයෙන් දැනුවත් වීමි. ඒ පිළිබඳ තොරතුරු එක් රැස් කළෙමි. මගේ බාලම දියණිය පෙර පාසල් වියෙහි සිට ප්‍රාථමික අංශයෙහි ඉගෙනුම ලබන බැවින් මා පෙර පාසල් ක්‍රියාකාරකම් සහ ප්‍රාථමික වසරවල ක්‍රියාකාරකම් මොනවාදැයි පැහැදිලි කරන්නම්."

 

සැහැල්ලුවෙන් හා සතුටින් ඉගෙනුම

“මෙහි ප්‍රාථමික හා ද්විතියික වසරවල දරුවන් ඉතා සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබයි. පාසල ඔවුනට ඉතා ප්‍රියජනක ස්ථානයකි. ලංකාවේ මෙන් ශිෂ්‍යත්වය අරමුණු කරගෙන උදේ සිට රාත්‍රී නින්දට යනතුරු දරුවන්ට සිංහල, ගණිතය, ඉංග්‍රීසි සහ පරිසරය උගන්වන්නේ නැත. ඒ වෙනුවට දරුවා වටපිටාව, පරිසරය හා ක්‍රියාකාරකම්වලින් බොහෝ දේ උගනියි. මට මතක් වන්නේ මගේ ළමා වියයි. අපි පරිසරයෙන් බොහෝ දේ උගත්තෙමු. ඇළ, දොළ හා ළිං පාසල් ඇරුණු විට අපි නිතර ගැවසෙන තැන්ය. දං කැලය මට අමතක නොවේ. තාත්තා කන්න දෙක වී වගාකරන කාලවල දී උදේ සිට කුඹුරේ ඉන්නා මඩකරි අල්ලා ඇළට දමන හැටි අද ද ඉතා සතුටින් මතක් කරමි. ඒ පරිසරය අපේ ජීවිත බොහෝ සේ ආලෝකවත් කළේය.

එම අත්දැකීම නවසීලන්තයේ ප්‍රාථමික වසරවල දරුවන් භුක්ති විඳින ආකාරය දුටු විට මට ඉතා දුකක් දැනුණේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු දැකීම නිසාය. දරුවන්ට ළමා කාලය අහිමි කරන ක්‍රමවේදය නැති නො කළහොත් ලංකාවේ තවදුරටත් බිහිවන්නේ එහෙයියන් හෝ අනුන් යටතේ සේවය කරන සේවකයන් පිරිසක් පමණි. නව චින්තකයන් බිහි නොවීමේ අවදානමක් පවතී. පොතේ ගුරුන් රාශියක් බිහිවෙයි.

නවසීලන්තයේ මධ්‍යම මට්ටමේ අධ්‍යාපනය 7 සහ 8 ශ්‍රේණිවල දී ලබාදෙනු ලබයි. එම වසරවල දී දරුවාට අවශ්‍ය විවිධ වර්ගයේ කුසලතා ඔප්නැංවීමේ අවස්ථා ලබාදෙයි. සෑම විටම ඉවුම් පිහුම්, මැටි වැඩ, වඩු වැඩ, මැහුම් ගෙතුම් ක්‍රම හා අනෙකුත් සෞන්දර්යය කුසලතා ඔප් නැංවීමට අවස්ථාවක් ලබාදෙයි. මට මතක් වන්නේ 1980 ගණන්වල දී අප රටේ ද එවැනි අධ්‍යාපන ක්‍රමයක් පැවැති බවයි. මා අධ්‍යාපනය ලැබූ කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ මැටි වැඩ කාමරය, මැටි මිස්, රංජනි මිස් මම අද ද ආදරයෙන් මතක් කරමි. එකල දරුවන් වූ අපගේ කුසලතා වර්ධනය කිරීමට ක්‍රමවේද පැවතුණු බව නොකිව මනාය. මධ්‍යම මට්ටමේ අධ්‍යාපන වසර මඟින් දරුවා ද්විතියික මට්ටමේ අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීමට මාර්ගය සලසයි. එනම් ගණිතය, උප භාෂාව හා අනෙකුත් විෂය කරුණු ඉගැන්වීම ඉතා සුළු වශයෙන් පවතී. එම වසරවල දී ත් දරුවා ඉතා සැහැල්ලු ලෙස සිය අධ්‍යාපන කටයුතුවල නියැළෙයි. මගේ දරුවන් අමතර පන්ති යන්නේ නැත. පාසල ඇරුණු පසු ගෙදර පැමිණ කිරීමට ගෙදර වැඩ නැත. දරුවන් ඉතා සැහැල්ලුවෙන් හා කැමැත්තෙන් පාසල් යයි."

 

වේගවත් ඉගෙනුම් අවධියක්

“ද්විතියික අධ්‍යාපනය ආරම්භ වන්නේ 9 ශ්‍රේණියේ පටන්ය. මේ වසරට පැමිණෙන දරුවා මූලික ගණිත ක්‍රම එනම් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හා බෙදීම දැනගත යුතුය. 1 සිට 9 වරක් දක්වා චක්කරය දැනගත යුතුය. එම දැනුම ප්‍රමාණවත්ය. ඉන්පසු ඉතා වේගවත් ඉගෙනුමක් මඟින් විවිධ විෂයයන් හදාරනු ලබයි. මේ අවධිය වන විට දරුවා උගන්වන විෂය කරුණු ග්‍රහණය කරගැනීමට සමත් අවධියක සිටියි. ඉගෙනුමේ අගය කුමක්ද යන්න වැටහෙන අවධියක සිටියි. දරුවාට අවශ්‍ය වන්නේ ආහාර තාක්ෂණය නම් එය ඉගෙනීමට සහ ඉදිරියට උසස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරා යොමු විය හැකියි. දරුවාට අවශ්‍ය විෂයය ක්ෂේත්‍රය පාසලේ ද්විතියික මට්ටමේ දී තෝරා ගැනීම සිදු කළ හැකියි. එය අප රටේ උසස් පෙළ විෂය පථයන් තෝරා ගැනීමට සමානව සිදු වෙයි. ද්විතියික අධ්‍යාපන ක්‍රමවේදය බොහෝ දුරට රටවල් දෙකෙහි සමාන ලකුණු පෙන්නුම් කරයි.

එහෙත් ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලයට යෑමට 11 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වසර තුනක කාලය තුළ ලකුණු රැස් කළ යුතුය. එමඟින් විශ්ව විද්‍යාලයට යෑමට අවසාන වසර වන විට යම්කිසි අවම ලකුණු මට්ටමක් රැස් කර ගත යුතුව ඇත."

 

රැකියාවල නිරත වෙමින් උසස් අධ්‍යාපනය

“මෙහිදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ද යමක් කිව යුතුය. එයට මා සුදුසු බව ඔබට කිව හැක්කේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම සහ දෙවැනි වසරවල ඉගැන්වීම සඳහා මා විසින් දායක වන බැවිනි. (මා ඉගෙනුම ලබන අතර) බොහෝ විට පාසල් අවසන් වූ විගස ශිෂ්‍යයන් කොටසක් උසස් අධ්‍යාපනයට යොමු වෙයි. තවත් කොටසක් රැකියාවන්හි නිරත වෙයි. ඔවුන් වසර කිහිපයක් රැකියා කර නැවත අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට පැමිණිය යුතුය. ශිෂ්‍යත්වයක් හැරුණුකොට ශිෂ්‍යයා පාඨමාලා ගාස්තු ගෙවිය යුතුය. ඒ සඳහා ණය මුදලක් බැංකු මඟින් ලබාදෙයි. එම ණය, අධ්‍යාපනය අවසන්කොට රැකියාවේ නිරත වෙමින් ආපසු ගෙවිය හැකියි. යමකුට අවශ්‍ය නම් අධ්‍යාපනයේ උසස් විභාග දක්වා ගමන් කළ හැකියි. බොහෝ ශිෂ්‍යයෝ අර්ධ කාලීන රැකියාවල නිරත වෙමින් අධ්‍යාපනය ලබති."

“ශිෂ්‍යයා ඉතා පහසුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි. බොහෝ විට වසර අවසාන ඇගැයීම වෙනුවට නිබන්ධන කොටස් වශයෙන් ඇගැයීම් සිදුකරයි. දරුවාගේ ලිවීම, කියවීම හා අවශ්‍ය දැනුම මනාව වර්ධනයට මෙම ක්‍රමය ඉවහල් වන බව මගේ මතයයි. එපමණකුදු නොව සෑම විටම ශිෂ්‍යයා ප්‍රායෝගික පරිසරය, උදාහරණ, පර්යේෂණ මඟින් අධ්‍යාපනය වර්ධනය කර ගනියි.

ඉහත දැක්වූ සියල්ල මා ලද නිරීක්ෂණ, පරීක්ෂණ හා මාගේ දැනුමේ ප්‍රමාණයට සැපයූ තොරතුරුයි. මට හැඟෙන ලෙස අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවතින යම් යම් අඩුපාඩු සැකසිය යුතුය. ඒ සඳහා සත්‍ය ලෙස පර්යේෂණ කළ යුතුය. උදාහරණයක් ලෙස බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අවසාන වසර පර්යේෂණ නිබන්ධනයක් අවසන් කරයි.

එය පොතකට, පුස්තකාලයකට සීමා නොවී ඒවා අධ්‍යාපන ක්‍රමය නිවැරැදි දිශාවකට යොමු කිරීමට යොදා ගත හැකියි. එය මුදල් වියදම් නොකර සිදු කළ හැකි දෙයක් වන අතර නිසි සම්බන්ධීකරණයක් තුළින් අදාළ ආයතන මඟින් තීරණ ගත යුතුය."

 

ළඟම පාසල හොඳම පාසල

“ළඟම පාසල හොඳම පාසල යන්න නිතර පැවසුව ද එය එසේ සිදු නොවේ. දරුවා ඉපදීමටත් පෙර බොරු උප්පැන්න, පදිංචි සකස් කර අපේ දරුවන්ගේ අනාගතය රැගෙන යන්නේ කොයිබට ද? නවසීලන්තයේ සෑම දරුවකුම ළඟම පාසලට යයි. සියලු පහසුකම් එහි තිබේ. හොඳම ගුරුවරුන් සිටී. එවැනි තත්ත්වයක් ලංකාවේ ඇති කළ යුතුය. හැම පාසලක්ම රෝයල් එකක් /විශාකාවක් කළ හැකි නම් ඔබ කොළඹ විදුහල් කරා දරුවා නොයවනු ඇත. දරුවාගේ ළමා කාලය පාසල් බස් රථයකට කොටු වී තිබීම ඉතා දුක්ඛදායකය.

අප රට ඉතා වාසනාවන්ත රටකි. ඔබ, ඔබේ දරුවාට උගන්වන්න මහන්සි ගන්න. එසේම දරුවාගේ යුතුකම් වගකීම් මොනවා ද යන්න උගන්වන්න. කරුණාව, මුදිතාව හා උපේක්ෂාව උගන්වන්න. හොඳ ආකල්ප ඇතිකරන්න. එවිට ඔබේ දරුවා ඔබ නැතිව ද ලොව ඉතා පහසුවෙන් ජීවත් වනු ඇත."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.