මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කාලසටහනේ වෙනසක්

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා
දෙසැම්බර් 12, 2022

 

දෙසැම්බර් 18 ඉරිදා දිනයේදී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 ක විභාගය පැවැත්වෙනවා.

ඕනෑම සාර්ථක ජයග්‍රහණයක පදනම වන්නේ අවබෝධය හා දැනුවත්භාවයයි. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා කියමනක් තියෙනවා. මේ කියමන විභාගයක් සමත් වෙන්න බෙහෙවින්ම වැදගත්. අප මේ ඔබට මඟ පෙන්වන්නේ එවැනි විභාගයක් සමත් වෙනන් වැදගත් වන නිවැරැදි නිසාය. පහ වසර විභාගය කියන්නේ පුංචි දුවා දරුවන් ජීවිතයේ මුහුණ දෙන පළමුවැනි කඩයිම් විභාගය.

මේ විභාගයට දරුවන්ට වඩා වැඩිම උනන්දුවක් තියෙන්නේ මව්පියන්ගේ. ශිෂ්‍යත්ව විභාගයට මේ තරම් උනන්දුවක් තියන නිසාම අප ඒ ගැන විමසීමක් කළේ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතාගෙන්. ඔහු පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා. ඒ තොරතුරු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට වගේම මව්පියන්ටත් වඩාත් වැදගත්.

 

“මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 18 ඉරිදා දිනයේදී. දිවයින පුරාම එකම දිනයකදී විභාග මධ්‍යස්ථාන 2894 දී පවත්වන මේ විභාගය සඳහා දැන් සියල්ල සූදානම් කර අවසන්. විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයන්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත තැපැල් මඟින් මේ වනවිට යවා අවසන්. මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරු එම ලේඛන ලබා ගැනීමේ ක්‍රමවේදයක් අප අමාත්‍යංශය මඟින් යොදා තිබෙනවා.

 

අපි මෙවර මේ විභාගය පවත්වන කාලසටහනේ වෙනසක් සිදු කර තිබෙනවා. එය තමයි මේ විභාගයේ විශේෂය සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේදී මුලින්ම අප ලබා දෙන්නේ වරණ තුනකින් යුතු පළමුවැනි ප්‍රශ්න පත්‍රය. ඉන්පසුව තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රය ලබා දෙන්නේ. නමුත් මෙවර එය වෙනස් කර මුලින්ම අප දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින්ම ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මුලින්ම දරුවන්ගේ අතට ලැබෙන්නේ පැයකුත් මිනිත්තු 15 කින් යුතු දෙවැනි ප්‍රශ්න පත්‍රය. එහි බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60ක් සමන්විතයි. ඒ ප්‍රශ්න පත්‍රය උදෑසන 9.30 සිට 10.45 දක්වා පැවැත්වෙනවා.

 

ඉන්පසුව තමයි පළමු ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. එය පැයක කාලයක ප්‍රශ්න පත්‍රයක්. උදෑසන 11.15 සිට 12.15 දක්වා පැවැත්වෙන එම ප්‍රශ්න පත්‍රයට වාරණ තුනකින් සමන්විත බහුවර්ණ ප්‍රශ්න 40ක් ඇතුළත්. මේ විභාගය මේ ආකාරයට අපගේ දෙපාර්තමේන්තුව විසින් ඉතාම හොඳින් සාර්ථකව කිසිම ගැටලුවකින් තොරව මේ ආකාරයට පවත්වනවා. අපි හිතනවා දරුවන්ට කිසිම ගැටලුවකින් තොරව මේ විභාගයට හොඳින් මුහුණ දීලා ඉතාම හොඳින් විභාගය සමත් වෙන්න පුළුවන් කියලා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා දරුවන්ට ලබා දෙන උපදෙස එබඳුය. වසර ගණනාවක් පුරා දැයේ දුදරුවන්ට මඟ පෙන්වූ තරුණී මේ උපදෙස් ලබා දෙන්නේ ඔබේ දරුවාගේ නිසැක ජයග්‍රහණය වෙනුවෙනි.

මෙලෙසින් ඉතාම හොඳින් සැලසුම් කර පවත්වන විභාගය සඳහා මව්පියන්ගේ ඇත්තේ විශාල උනනදුවකි. ඒ නිසාම බොහෝ මව්පියන් ද විභාගය පැවැත්වෙන දිනයේ විභාග ශාලාව අසලට පැමිණ දරුවන් දිරි ගැන්වීමට මහත් උනන්දු වෙයි. දරුවන්ට විභාගයෙන් සමත් වීම සඳහා ප්‍රයෝජනවත් වෙතැයි සිතන පාසල් උපකරණ (කවකටු පෙට්ටි, පෑන් වර්ග, මකන, පාට පැන්සල්) විශාල මුදලක් දී එදින දරුවන්ට නැවත විභාග ශාලාවට රැගෙන යන්නට ගෙනත් දෙයි. එසේම විවිධ කෑම වර්ග පේස්ට්‍රි වර්ග, බීම වර්ග දරුවන්ට අරන් දෙන්නේ වැඩි ආදරය නිසාමය.

 

ඇතැම් මව්පියන් විභාගය පිළිබඳ නිසි වැටහීමක් නොමැතිව දරුවන්ට ධරාගත නොහැකි තරම් ආහාරපාන කවා විභාග ශාලාවට ඇතුල් කරයි. තවත් සමහර මව්පියන් දරුවන්ට අලුත් ඇඳුම්, සපත්තු වැනි දේ ලබා දෙන අවස්ථා වෙයි. මේ සියල්ලම කරන්නේ ඔබේ ආදරණීය දරුවාට සෙනෙහසිනි.

 

එහෙත් එවැනි අලුත් පාසල් උපකරණ, කෑම බීම, ඇඳුම් පැළඳුම් දරුවන්ට ලබා දීමෙන් සිදුවන්නේ ඔබ නොසිතන දෙයකි. මෙහි දරුවන්ට විශාල පීඩනයකි. එසේම දරුවන්ට විභාගය පිළිබඳ ආතතියක් ද ඇති කරයි. ඉතාම සැහැල්ලුවෙන් දරුවා හුරු පුරුදු ලෙසින් මේ විභාගයට තමාගේ දැනුම මැන බැලීමට අවස්ථාව හා අවකාශය සැලසීම ඔබගේ යුතුකමකි. එක්වරම මෙවැනි විශේෂත්වයක් දැක්වීමෙන් දරුවා විභාගය පිළිබඳ බියක් ඇති කර ගනියි. ඒ නිසාම තැති ගැනීමෙන් ඉතාම හොඳින් පහසුවෙන් විභාගයට ලිවීමට තිබූ අවස්ථාව පවා මඟ හැරී දරුවාට විභාගය සමත්වීමට තිබූ අවස්ථාව මඟහැරී යන්නට ඉඩ නොතබන්න. ඔබ දරුවාට කරන ලොකුම ආදරයයි.