A/L ඉවරයි දරුවෝ මරන් කන්න එපා

මැයි 5, 2025

 

මේ දවස්වල හැමෝම කතා කරන්නේ උසස් පෙළ ගැන. මෙවර උසස් පෙළ විභාගයෙන් 177,5888 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබද්දී විෂයයන් තුනම අසමත් දරුවන් 29,244 දෙනකු ඉන්නවා. හැමෝම සමත් වුණ අය ගැන කතා කරද්දී අසමත් අය වෙනුවෙන් කවුරුත් කතා කළේ නැහැ.

 

ඒ ප්‍රවෘත්ති නිවේදනවලදී ඉහළ ළකුණු ලබා ගත් අය අපි පාඩම් කරේ මෙහෙමයි, මම සාමාන්‍ය විදිහට පාඩම් කළා, මම පන්ති ගියේ නැහැ, මගේ මවුපියෝ මට උදවු කළා කියලා, ඒ දිනපු අය ජයග්‍රහණය කරා ගියේ කොහොමද කියලා විවිධ අදහස් ඉදිරිපත් කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට අර්බුද ගොඩකට අපේ දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි අමතක කරන්න නරකයි උසස් පෙළ විභාගයට පෙනී සිටි ගොඩක් ළමයි කොවිඩ් වසංගතය වගේම ආර්ථික අවපාතයටත් මුහුණ දීපු අය. ඒ දරුවන් ඔන්ලයින් හරහා තමයි ගොඩක් අධ්‍යාපන කටයුතු කළේ. ඒ නිසා සාමාන්‍ය ළමයට වඩා මේ දරුවන් තුළ පොඩි මානසික වෙනසක් තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදය නිසා දරුවන්ට හරියාකාර අධ්‍යාපනයක් දෙන්න බැරි වුණා.

 

තව මම දකින නරක දෙයක් තියෙනවා ප්‍රතිඵල ආවම කිසිම සම්බන්ධයක් නැති නෑදෑයෝ, යාළුවෝ රිසල්ට් කොහොමද රිසල්ට් කොහොමද කිය කියා කෝල් කරනවා. මම නම් පුරුද්දක් විදිහට කාගෙන්වත් අහන්නේ නැහැ රිසල්ට් ගැන. මොකද ඒක තමන්ට අවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද ඒ ළමයින්ට අපි පැන්සලක්වත් අරන් දීලා නැත්නම්, ඒ ළමයින්ට උදවු කරලා නැත්නම්, ඒ ළමයි වෙනුවෙන් දෙයක් කරලා නැත්නම් අපිට අයිතියක් නැහැ එහෙම අහන්න. ඒකෙන් වෙන්නේ ළමයා තවත් මානසිකව වැටෙන එක. ඒ වගේ දේවල් මීට පස්සේවත් අපේ අය අතර නැති වෙන්න ඕනේ.

 

 

මේ මෑතකදී මගේ සායනයට ළමයි පිරිලා ඉතිරිලා යන තරමට ළමයි ඇවිත් හිටියා. ඒ හැමෝම වගේ ඇවිත් හිටියේ අම්මලගේ ප්‍රශ්න නිසා. ඒ හැම ළමයෙක්ම වගේ මට කිවුවේ අපේ අම්මා හැම වෙලාවෙම, අමුත්තෙක් ගෙදරට ආවම තේ එක අල්ලද්දිත් කියනවා සේරම වතුරේ ගියානේ. දැන් ඉතින් අපි ඉඳලා වැඩක් නැහැ කියලා. මේ කියන්නේ තමන්ගේ දරුවා විභාගය පාස් වුණේ නැති එක ගැන. හැබැයි ඒ සමහර දරුවන්ට ඩෙන්ටල්, පශු වෛද්‍ය වගේ අංශවලින් කැම්පස් යන්න ලකුණු තියෙනවා. ඒ අම්මලට ඕනේ තමාගේ දරුවව ලොකු ඩොක්ටර් කෙනෙක් කරන්න. දරුවෝ ඉස්සරහ ඒ දේවල් කියද්දී දරුවා අතිශය මානසික කඩාවැටීමකට ලක් වෙනවා. නිතර නිතර මේ ඍණ දේවල්ම ඇහෙනකොට ළමයා හිතනවා ඇත්තටම මම ජීවත් වෙලා මොකට ද? මගේ වටිනාකමක් කාටවත්ම නැහැනේ කියලා. තමන්ට ලබාගන්න බැරි වෙච්ච සිහිනවලට තමන්ට ළඟාවෙන්න බැරි සිහිනවලට දරුවන්ව තල්ලුකරගෙන යන අම්ම, තාත්තා අද ඉන්නේ. A සාමාර්ථ 3ක් අරගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ දරුවන් ඉන්නවා. ඉතින් ඒකෙන් අදහස් කරන්න බැහැ ඒ ළමයි දක්ෂ නැහැ කියලා. ඒක හරියට මාළුවෙක්ට ගහට නඟින්න කියලා, ඒ මාළුවට ගහට නඟින්න බැරි වුණාම ඒ මාළුවා දක්ෂ නැහැ කියනවා වගේ. ඉතින් මේ ළමයා වෙනුවෙන් කොහේ හරි තැනක් ඇති, කොහේ හරි දෙයක් ඇති, ඒ ළමයට කරන්න පුළුවන් මොකක්ම හරි දෙයක් ඇති.

 

දරුවා උසස් පෙළ අසමත් වුණත් එයාට යන්න පුළුවන් ගොඩක් මාර්ග අද විවෘත වෙලා තියෙනවා. රජයෙන් කරන වෘත්තීය පුහුණු තියෙනවා. රජයෙන් ලබා දෙන මාර්ගෝපදේශන සේවා තියෙනවා. හැම තිස්සෙම මතක තියාගන්න විභාග පාස් කරපු අය විතරක් නෙවෙයි ජීවිතය දිනලා තියෙන්නේ. ඒ වගේම විභාග ෆේල් වෙච්ච හැමෝම පැරදිලා නැහැ. මොකද ඉගෙන ගත්තේ නැති අය කොහොමද අද වෙද්දි ශූර ව්‍යාපාරිකයෝ වෙලා තියෙන්නේ. අත්සන් කරන්නවත් බැරි මිනිස්සු කොහොමද ලෝකය දිනලා තියෙන්නේ. ඒ නිසා ලෝකයේ අවස්ථා අසීමිතයි. ඒ නිසා ඒ අසීමිත අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න යොමු කරවන්න. නමුත් මවුපියෝ ඒවාට යොමු කරවන්නේ නැහැ. ළමයව හැම වෙලාවෙම පහත් කරන එක විතරයි කරන්නේ.

යොවුන් විය කියන්නේ හරිම භයානක කාලයක්. කුණාටු කාලයක්. විභාග අසමත් වීමත් එක්ක මේ දරුවන් මානසික වශයෙන් ලොකු ගැටුමක ඉන්නේ. ඒ අතරේ සමහර විට දලු දාපු නැති පෙම් කතා, එහෙම නැත්නම් කඩින් කඩ කඩා වැටුණු ප්‍රේම කතාවලිනුත් මේ දරුවන් මවුපියන්ට නොකියා පීඩා විඳිනවා ඇතිනේ. ඒ හැමදේම එක්ක දරුවට දරුවාව එපා වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක මවුපියෝ කියන්න ඕනේ.. පුතේ ඕවා හිතන්න එපා මගේ පුතාට ගොඩයන්න තව චාන්ස් එකක් ඇති, වැහුණු දොර දිහා බලාගෙන අඬ අඬ හිටියොත් අපිට අනිත් දොරවලුත් පේන්නෙ නැති වෙනවනේ.

 

ඒ නිසා අපි මෙහෙම කරමු. අපිට දැන් මුලට ගිහින් ආරම්භය වෙනස් කරන්න බැහැනේ. හැබැයි මෙතැන ඉඳන් පටන් ගත්තොත් අපිට අවසානය වෙනස් කරන්න පුළුවන්.

මට ඇහිලා තියෙනවා සමහර අම්මලා කියනවා මීට වඩා හොඳයි හරකෙක් හැදුවනම්, මීට වඩා හොඳයි පොල් පැළයක් හිටෙවුවනම්, කිකිළියෙක් හැදුවනම් බිත්තර හරි දානවනේ කියන. ඒවා බොහොම නරක කතන්දර. විභාගෙත් අසමත් වෙලා මෙහෙම කතන්දරුත් අහන්න වෙද්දී ඒ දරුවා තුළ ඇතිවන මානසික තත්ත්වය කොහොම වෙයි ද? ඒ දරුවා අනිත් අයත් එක්ක කතා කරන එක නවත්වනවා.

 

කාමරයෙන් එළියට එන එක නවත්වනවා. නාන, කන, බොන එක පවා අත්හරිනවා. ළමයට ළමයාව එපා වුණාම ආයේ ගොඩගන්න අමාරුයි. ඉතින් උසස් පෙළ අසමත් වුණා කියලා ළමයගේ මුළු ජීවිතයම විනාශ වෙලා යන්නේ නැහැ. යන්න පුළුවන් ඕන තරම් මාර්ග තියෙනවා. නැත්තම් මේ මුළු ලෝකයේම මිනිසුන් වෛද්‍යවරු වෙලා ඉන්න එපැයි. ඇයි මේ හැම අම්මෙක් තාත්තෙක්ම ඉන්ජිනේරුවරු වුණේ නැත්තේ. ළමයා කියන්නේ මේ අම්මලා තාත්තලගෙම ජාන. ළමයෙක් හැදෙද්දී ජාන සහ පරිසරය කියන එක බලපානවා. ඉතින් ඔයාලා ඒ නිදහස් පරිසරය ළමයට හඳලා දුන්නද? ගෙදර නිදහස් පරිසරයක් තිබ්බද? බීලා කෑ ගහ ගහ රණ්ඩු වෙවී හිටපු පරිසරයක්ද තිබුණේ.

 

එහෙම පරිසරයක් නම් තිබුණේ ළමයාගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එක නරකයිනේ. යාපනයේ වෛද්‍යවරයකුගේ නිවුන් දරුවන් දෙදෙනෙක් ජීව විද්‍යාව අංශයෙන් ඉහළම ලකුණු ලබා ගෙන තිබුණා. ඒ වෛද්‍යවරයා තුළ ඇති දැනුම ජාන ඒ හැමදේම ඒ දරුවන් දෙදෙනාටත් ඇවිල්ලා ඇති. ළමයාගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙද්දී තමනුත් ඒ වෙනුවෙන් කොච්චර සහායක් දරුවාට දුන්නද කියලා හිතන්න. අනික මේ ඔබේ දරුවා. විභාගය ෆේල් වුණා කියලා දරුවව දරුකමෙන් අයින් කරන්න බැහැනේ. දරුවට දෙන ආදරය අඩු කරන්න එපා. දරුවා ඉගෙන ගත්තොත් විතරද දරුවට ආදරය කරන්නේ. දරුවා පෝසත් වුණොත් විතරද දරුවට ආදරය කරන්නේ. එහෙම නොවුනොත් ඒ ළමයා ළමයෙක් නෙවෙයි ද? ඒවා තමයි අම්මලා හිතලා බලන්න ඕනේ. ඒ නිසා මම හැම මවුපියෙක්ගෙන්ම කාරුණිකව ඉල්ලනවා දරුවගේ හැමදෙයක්ම රැඳිලා තියෙන්නේ මවුපියන් අතේ. ඉතින් ආදරයෙන් වැලඳ ගන්න ඕනෙම වෙලාවේ දරුවව අත්හරින්න එපා.

 

අලුත් සමාජය පුරුදු කරලා නැහැ හැඟීම් දරාගන්න. දුක, නැතිකම, බැරිකම මේ හැමදේම පුරුදුකරන්න ඕනේ. අපේ ජීවිතයේ තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඉතින් උසස් පෙළ කියන්නේ එක දෙයක් විතරයි. ඒක ගැන විතරක් හිතලා දරුවාගේ අනාගතය ගැන තීරණ ගන්න එපා. මුලින්ම ළමයත් එක්ක සන්සුන් වෙන්න සතියක් විතර. සතියක් විතර ගියාට පස්සේ නිදහස් දවසක හැන්දෑවක කෝපි එකක් බිබී පුතේ අපිට මොනවද කරන්න පුළුවන්. පුතා කරන්න කැමති මොනවද අකැමැති මොනවද? පුතා කියන්න පුළුවන් මම ජපන් ටෙක් එකට යන්න කැමතියි. මම හොටෙල් ක්ෂේත්‍රයේ ඉහළට යන්න කමති කියලා. ඒවට උදවු කරන්න. මම දන්න කෙනෙක් ඉන්නවා එයා හැමදේකින්ම අසමත් වුණ කෙනෙක්. මම එයාට මහුම් පාඨමාලාවක් කෙරෙවුවා. එයා අද වෙද්දි එක දවසට රුපියල් 50,000ක් පමණ උපයනවා. එයාට වෙනම සේවක පිරිසකුත් ඉන්නවා. එයා කරන්නේ සාරි ජැකට් මහන එක.

 

තව ළමයෙක් ඉන්නවා වූල් ජර්සි මහනවා, තව කෙනෙක් බිලිං අච්චාරු හදනවා. කේක්වලින් ජීවිතයම ගොඩගත් අය ඉන්නවා. ඒ වගේ අවස්ථා තියෙනවා ඕන තරම්. ඉතින් අලුත් පාරක යන්න නම් හිතන්න ඕනේ. ඒ නිසා දරුවා විභාගය අසමත් වුණා කියලා බය වෙලා ළමයට තරවටු කරලා හරි යන්නේ නැහැ. මොකද දරුවා විභාගය ලිවුවේ ෆේල් වෙන්න බලාගෙන නෙවෙයිනේ. දරුවත් දහසකුත් බලාපොරොත්තු තියාගෙනයි උසස් පෙළට පෙනී ඉන්නේ. ඉතින් යන්න ඕනේ හරි මාර්ගය පෙන්වන්න.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක