ආදරණීය පුතා,
විවාහ වෙන්න නියමිත වයසක් තියෙනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඒකට උත්තර කීපයක්ම එනවා. සාමාන්‍යයෙන් ඉස්සර ගම්වල ඒ කියන්නේ ඔය රෝම ලන්දේසි නීති එන්න කලින් අපේ ගම්වල විවාහ වෙලා තියෙන්නේ ගැහැනු ළමයා අවුරුදු දොළහෙදි, දහතුනේදී විතර. පිරිමියා ඊට ටිකක් වැඩිමල් කෙනෙක්. ගොවිතැන තමා ප්‍රධානම රස්සාව. හේනෙ කුඹුරේ වැඩ කරන්න දෙන්නම යනවා. ළමයි දහයක් දොළහක් හදනවා. ඒක තරම් සතුටක් ඒ ජෝඩුවට නෑ.
මේක බලාගෙන ඉන්න බැරිව ගිය හින්දාද කොහෙද රෝම ලන්දේසි නීතිය ආවා. ඒකෙදි විවාහ වෙන්න නියමිත වයස් සීමාවන් පනවලා සිංහල රටේ මිනිස්සු ගෑනු කොටුකරා එක රාමුවකට. ඒත් ඉතින් බොහෝ ගම්වල මිනිස්සු අර ඉස්සර විදිහටම තමා පවුල් කන්න ගත්තෙ. ඒකනෙ අර එකවර පවුල් විස්ස තිහ නීත්‍යනුකූලව ලියාපදිංචි කරන්න ගත්තෙ. ඒ කියන්නේ ආණ්ඩුවේ රස්සාවක් කරන්න ඉල්ලුම් කරනවා නම් අම්මා, තාත්තා විවාහ වෙලා ඉන්න ඕනේ. ඔය විදිහේ එක එක ඒවා දාලා අපේ මිනිස්සුන්ව හිර කරද්දි උඩරට විවාහ නීතිය වෙනම එකක් කරගත්තා. ඒ විතරක් නෙවෙයි දික්කසාදය වුණත් හරිම ලේසි කර ගත්තා. ඒ ඉතින් එහෙ අයනෙ රට ඔය ආපු එක එක පරදේශක්කාරයන්ට හප කරන්න ගිවිසුම් ගැහැව්වෙ.
කොහොම වුණත් මට මේ දැන් මතක් වුණේ පුතා අවුරුදු විසිඑකේදී ඉගෙන ගනිමින් රස්සාවක් කරන්න මාර්ගය හදා ගනිද්දි ඔයාගේ ඥාති සහෝදරයෙක් අවුරුදු විසි එකේදී කසාද බඳින්න ගෙවල්වලිනුත් අවසර අරන්. ගෑනු ළමයාගේ ගෙදරින් කොහොමද දන්නේ නෑ. පිරිමි ළමයාගේ ගෙදරින් අවසර දීලා අර ගෑනු ළමයා දැන් නිතරම ඉන්නෙ මේ ගෙදර. පුතා ඔය වයසෙදි හොරෙන් ‘ලව්’ කරන කාලේ.
ඇත්තටම මම නම් හිතන්නේ විවාහය තීන්දු වෙලා වුණත් කෙල්ලයි, කොල්ලයි නිදහසේ ගෙදර කාමරවල උකුළු මුකුළු කර කර දවසම ඉන්නවා කියන්නේ ‘ආදරය’ පිළුණු වෙනවා කියලා. විවාහ වෙලා එකට ඉද්දි නැවුම් බවක් සිතුවිලිවල තියෙනවා. ආදරය කියන්නෙත් සුන්දර සිතුවිල්ලක්නෙ. ඒක අර මං කියන විදිහට ගෙවල්වලට හොරෙන් හම්බ වෙලා, කාටත් හොරෙන් ඉඟිබිඟිපාලා කතාබහ කරලා චොකලට් එකක් හුවමාරු කරගෙන රසවිඳිද්දි තියෙන්නේ පුදුම සුන්දරත්වයක්. එකක් තමා හෙණ ගටක් ඇතුව එපායැ කෙල්ලව හම්බ වෙන්න. කෙල්ලත් එහෙමනෙ ගෙදරට අහුවෙයිද බයෙන් ගටක් අරන්නෙ හම්බ වෙන්නේ.
පරස්තාවට ඉස්සර වෙලා රස්සාවක් ඕනෙ කියන එක මම විශ්වාස කරනවා. අන්න මවුපියන්ගෙන් උරුම වෙච්ච දේපොළක්, ව්‍යාපාරයක් තියෙනවා නම් කමක් නෑ. හැබැයි රස්සාවකුත් නැති එකෙක්ට කසාදයක් කරගන්න අවසර දීලා ගෙදරට ගෙන්නා ගන්නෙ ඒ කෙල්ල පොහොසත් වෙන්නත් ඇති. ඒක කපටිකම නේද.
ඔන්න එතකොට මට මතක් වෙන්නේ ඒක. මොකක්ද දන්නවාද. ඕනම කොල්ලෙක් විවාහ වෙන්න ඉන්න කෙල්ලට වඩා පොහොසත් වෙන්න ඕනේ. උගත් වෙන්න ඕනේ. රූපවත් වෙන්න ඕනේ. වයසින් වැඩි වෙන්න ඕනේ කියලා මතයක් තියෙනවා. එහෙම තියෙන්නේ පිරිමියාට ‘පිරිමියෙක්’ වගේ පවුල් ජීවිතය ගත කරන්න පහසු වෙන්න. නැත්නම් බිරියගේ අණට නතුවෙලා ජීවත් වෙන්න සිදු වෙනවා. මම මේ කියන්නේ දෙන්නට ගහ මරා ගන්න නෙවෙයි. වැඩිමල් නම් පිරිමියෙක් එකක් අත්දැකීම් වැඩියි. බිරිය වයසින් අඩු නිසා වැඩිමල් පිරිමියාට ගරුත්වයක් තියෙනවා. ධනයෙනුත්, රූපයෙනුත්, උගත්කමෙනුත් එහෙම වුණාම අන්න ඒ ගරුත්වය නිසා දෙන්නාට කතාබහ කරලා විවාහ දිවිය පවත්වාගෙන යන්න පහසු වෙනවා. මොනවා වුණත් දෙන්න සාකච්ඡා කරලා තීරණ ගන්නවා නම් ජීවිතය හරි පහසුයි.