Thursday, August 14, 2025
Epaper
Home විශේෂාංගඑයාර්බස් හදනලංකාවේ අපේ කෙල්ල

එයාර්බස් හදනලංකාවේ අපේ කෙල්ල

මේ ඇගයීම ගැන ලෝකයම කතා කළා

by Thanushika

ලොව සුපතළ ගු වන්යානා නිෂ්පාදන සමාගමක් වන එයාර්බස් ගු වන් සමාගමේ ඉංජිනේරු අංශයේ කාන්තාවන් ඇගයීමට ලක්කරන විශේෂ වැඩසටහනේදී ශ්‍රී ලාංකික තරුණියක් ද අගයා තිබුණා.

අමෙරිකානු එයාර්බස් සමාගමේ ඉංජිනේරු අංශයේ සේවය කරන කාන්තාවන් අතුරින් ශ්‍රී ලාංකික තරුණියකට ලැබුණු ප්‍රථම ඇගයීම එයයි. ඇය මෙරීෂා ෆොන්සේකා. එයාර්බස් සමාගමේ නිර්මාණ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන ඇය සිය අධ්‍යාපන කඩඉම් ජයගනිමින් වෘත්තීය දිවිය සාර්ථකත්වයට ඔසවා තබා ගත් අයුරු ගැන තරුණීට හඬ අවදි කළේ මේ විදිහට.

“ජූනි 23 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරුවරුන්ගේ දිනය නිමිති කරගෙනයි මට මේ ඇගයීම ලැබුණේ. අමෙරිකානු එයාර්බස් සමාගමේ විචිටා ඉංජිනේරු අංශයේ සියයට පහළොවක්ම වැඩ කරන්නේ කාන්තාවන්. ඒ නිසා ඒ දිනයේදී අමෙරිකානු එයාර්බස් සමාගමට විශේෂත්වයක් එකතු වුණා. ඒ අය අතරින් ඉන්න එකම ශ්‍රී ලාංකික කාන්තාව විදිහට මගේ සේවය ඔවුන් අගය කළා.

ඒ ඇගයීම ලැබුණේ කොහොම ද?

එයාර්බස් නිල සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සටහනක් තියලා තිබුණා. ඒකේ තිබුණේ “ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය එයාර්බස් සමාගමේ නිර්මාණ ඉංජිනේරුවරියක් විදිහට වින්ඩ් ඩිසයින් ටීම් එකේ වැඩ කරනවා. ඇයගේ පවුලේ උපාධියක් ගත් පළමු කෙනා ඇය කියලත්, කොපමණ බාධක ආවත් ඒවා ජයගෙන සාර්ථකව වැඩ කරන නිර්මාණ ඉංජිනේරුවරියක්” කියලා ඔවුන් මා ගැන සඳහන් කරලා තිබුණා.

ශ්‍රී ලාංකාවේ හැදී වැඩුණු ඔබ කොහොමද එයාර්බස් සමාගමත් එක්ක අත්වැල් බැඳගත්තේ?

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා උපාධිය කරන්න මම අමෙරිකාවට ආවේ 2017දී. එය අවසන් කළ පසු 2020දී ශාස්ත්‍රපති උපාධිය කරන්න පටන් ගත්තා. 2021 සීමාවාසික පුහුණුවට අයදුම් කරද්දී එයාර්බස් සමාගමේ සීමාවාසික පුහුණුව සඳහා සම්බන්ධ වෙන්න ලැබෙනවා. 2023දී ශාස්ත්‍රපති උපාධිය මම අවසන් කරනවා. ඒත් එක්කම මට එයාර්බස් සමාගමෙන් රැකියා දීමනාවක් ලැබෙනවා පූර්ණ කාලීන රැකියාවක් විදිහට එයට සම්බන්ධ වෙන්න.

මේ ආපු ගමන කොපමණ දුෂ්කර වුණා ද?

යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් උපාධිය ලබද්දි ඒ වෙලාවේ කොවිඩ් තිබුණේ. ඉතින් ඒ කාලේදී ගොඩක් අයගේ රැකියා නැති වුණා. ඒ කාලේ අපිට උපාධි පර්යේෂණ කරපු මහාචාර්යවරයා මට කිවුවා ශාස්ත්‍රපති උපාධිය තියලා කෙළින්ම ආචාර්ය උපාධිය කරන්න කියලා. එතකොට එයාට සම්පූර්ණ අරමුදල දෙන්න පුළුවන් කියලා. ඉතින් මම ඒක පිළිඅරගෙන ආචාර්ය උපාධිය කරන්න ගත්තා. ඒත් කොවිඩ් එක්ක තිබුණු ආර්ථික තත්ත්වය නිසා ඔහුට සම්පූර්ණ ශිෂ්‍යත්වයම දෙන්න බැරි වුණා. ඔහුට ඒ ආධාර මුදල් ලැබුණේ නැති නිසා. ඒ නිසා මට ආයේ තීරණය වෙනස් කරන්න වුණා. ආචාර්ය උපාධිය අත්හැරලා ශාස්ත්‍රපති උපාධිය කරලා එයාර්බස් එකත් එක්ක පූර්ණ කාලීනව සම්බන්ධ වෙනවා කියලා හිතුවා. ඒක අධ්‍යාපනය පැත්තෙන් මුහුණ දීපු දුෂ්කරතාවයක්. ඊට වඩා පවුල් ජීවිතය පැත්තෙන් මම ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා.

2022 අවුරුද්දේ මැයි මාසේ දී මම විවාහ වුණා. ශාස්ත්‍රපති උපාධිය කරද්දී දැනගන්න ලැබෙනවා මම ගැබිනියක් කියලා. අවසාන නිබන්ධනය ලියද්දිත් මම ගැබිනියක්. මගේ සැමියත් අ‍ෙමරිකාවේ හිටියේ නැහැ. මට ඒ කාලයේ තනියම වැඩ ටික කරගන්න වුණා. 2023 සැප්තැම්බර් බබා ඉපදෙන්නේ. බබාට මාස 5ක් වෙද්දී සැමියා අනතුරකට මුහුණපානවා. ඒ වෙද්දී බබාව බලාගත්තෙත් එයා. ඉතින් ඒක හරි අමාරු කාලයක් වුණා අපිට. ඒ වෙලාවේ මට එයාර්බස් සමාගම ලොකු සහයෝගයක් දුන්නා. මම වැඩ කරමින් හිටියේ ලොකු ව්‍යාපෘතියක. මේ සිදුවීම් එක්ක එයාලා මාව වෙනත් ව්‍යාපෘතියකට මාරු කළා.

මේ ගමනට මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

මම තමයි පවුලේ එකම දරුවා. තාත්තා ක්ලෙමන්ට් ජෝෂප් ෆොන්සේකා. අම්මා කහටපිටිගමගේ දෝනා ක්‍රීටා. අපේ ගෙවල් තියෙන්නේ ගණේමුල්ලේ. අම්මායි තාත්තායි මාව ඉගෙනීම පැත්තට යොමු කළා. මුලින්ම මම පාසල් ගියේ වරාගොඩ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ශ්‍රී ලංකාවේ ඉද්දී මම ඉංග්‍රීසි භාෂාවට ටිකක්වත් කැමැති නැහැ. මම 9 වසරෙදි කඳාන මැසනද් කොලේජ් එකේ ලන්ඩන් O/L වැඩසටහනකට මාස 2ක කාලයක් සහභාගී වුණා. එකෙන් ඉංග්‍රීසිවලට තියෙන බය ටිකක් නැති වුණා. මට සිංගප්පූරුවට ගිහින් එන්නත් ඒ කාලේදී අවස්ථාව ලැබුණා.

හීන දැක්කේ කවුරු වෙන්නද?

මම පහ වසරෙ ඉඳලා ගගනගාමියෙක් වෙන්නයි හීන දැක්කේ. ඉස්සර පත්තරේක කතාවක් ගියා සක්වළ සවාරිය කියලා. ඒකෙන් තමයි මට ඒ ආසාව ඇති වුණේ. සිංගප්පූරුවට ගියෙත් ඒ ආසාවට. නමුත් උසස් පෙළ ප්‍රතිඵල මදිවුණා සිංගප්පූරුවේදී අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඉගෙන ගන්න. ඊට පස්සෙ මම දෙහිවල American college of Higher Education ආයතනයට යනවා. ඒ ආයතනය හරහායි 2017 දී මම අමෙරිකාවට එන්නේ.

ඔබේ ගමනට සැමියාගෙනුත් සහයෝගයක් ලැබෙනවා.

සැමියා ජූඩ් විජයංග විජේසේකර. දුවගේ නම ජොඇනෑ සුපුන්සා විජේසේකර. දුවට දැන් වයස අවුරුදු 2යි. සැමියාට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉතාලියේදී තාරාකා භෞතික විද්‍යා ශාස්ත්‍රපති උපාධිය කරන්න. එයා ඒක අවසන් කරලා, පෝලන්තයේදී පූර්ණ ශිෂ්‍යත්වයක් යටතේ ආචාර්ය උපාධිය කරනවා. දැන් එයා අවසන් වසරේ ඉන්නේ. අපි තැන් දෙකක හිටියත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

එයාර්බස් වැනි ලෝකයම කතා කරන සමාගමක් එක්ක වැඩකරන්න නම් යන්න ඕනේ හරිම මඟ මොකක් ද?

එයාර්බස් කියන්නේ ලෝකයම කතා කරන ගුවන් සමාගමක්. එයාර්බස් සමාගම ගුවන්යානා පමණක් නෙවෙයි හෙලිකොප්ටර් නිර්මාණය කිරීමත් කරනවා. සාමාන්‍ය මගීන්ට වගේම හමුදාවටත් ඒවා සම්බන්ධයි. යුරෝපයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වෙලා චන්ද්‍රිකාත් නිර්මාණය කරනවා. මේක රටවල් 180ක් පුරා විහිදුණු සමාගමක්. ප්‍රධාන වශයෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, අමෙරිකාව වගේ රටවල් තමයි මූලස්ථාන වෙන්නේ. එයාර්බස් කියන්නේ ඉංජිනේරු අංශයට බර සමාගමක්. ඊට අමතරව නිෂ්පාදනය සම්බන්ධව වෙනම අංශයක් තියෙනවා. එතැනින් තමයි කොටස් ඔක්කොම එකතු කරලා ගුවන්යානය හදන්නේ. ඒවට කාර්මිකයන් ද සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ අංශවලින් ඉස්සරහට ගියොත් එයාර්බස් එකත් එක්ක වැඩ කරන්න ලේසියි.

අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මට මං ගැන ගොඩක් සතුටුයි. අවුරුදු 10 දී හිතපු එක්කෙනයි අද ඉන්න එක්කෙනයි සසඳලා බලද්දි මම ගගනගාමියෙක් නොවුණත් මම ඒ තැනට ඇවිත් ඉන්නේ කියලයි මට හිතෙන්නේ.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?